Friday, April 26, 2024

යනකොට ඇමැති , එනකොට නොමැති !

Must read

ayg_2017_12_07_3

දොඩම්ගස්ලන්දේ – පොහොට්ටු යුද්දේ

දොඩම්ගස්ලන්දේ දේශපාලනය ගැන පසුගිය සති කිහිපයේදීම අඵ යට ගිනි පිටුවෙන් ඉඩක් වෙන්කරන්නට සිදුවූයේ එම ආසනයේ එජාප සහ ශ‍්‍රීලනිප කණ්ඩායම් තූළ ඇති වී තිබූ හැල හැප්පිලි හේතුවෙනි. එජාප සංවිධායක තනතුර වෙනුවෙන් එම්. එස්. පෙරේරා සහ නුවන් උදයංග අතර ගැටුමක් ඇතිවීමේ වාසිය සහ ශ‍්‍රීලනිප සංවිධායක ලෙස නිල්වලා විජේසිංහ නිශ්ක‍්‍රීය පිළිවෙතක සිටීමේ වාසියත් උපරිම ලෙස භාවිතා කරමින් පොදුජන පෙරමුණ දොඩම්ගස්ලන්ද තුළ බලය පතුරවමින් සිටින බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබිණි. මතුපිටින් එලෙස පෙණුනු නමුත් දොඩම්ගස්ලන්ද පොහොට්ටු කණ්ඩායම තුළත් ආරවුල් සහ ගැටුම්වලින් අඩුවක් නැති බව අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. ලැබෙන තොරතුරුවලින් කියැවෙන්නේ පොදුජන පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසන කැදවුම්කරු ලෙස නම් කර සිටින හිටපු මන්ත‍්‍රී ආර්. ඩී. විමලදාස සහ රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී පිරිසක් අතර ආරවුලක් ලියලමින් ඇති බවකි. එම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රියනාත් සේනපාල, අනුර පෙරේරා, ඒ. ඒ. සෝමසිරි සහ නිමල් රංජන් ඇතුලු රිදීගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුට ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු දැන් පහළවෙමින් තිබේ. ඒ අදාල මන්ත‍්‍රීවරුන් තරගවැදීමට අපේක්ෂා කරන මැතිවරණ කොට්ඨාශ තුළ, පොදුජන පෙරමුණු අපේක්ෂකයින් බව කියාගන්නා තවත් පිරිසක්ද වැඩකටයුතු ආරම්භ කර තිබීම හේතුවෙනි. අපේක්ෂකයින් බව කියාගන්නා ඇතැමෙක් විසින් අදාල කොට්ඨාශවල ගහක් ගලක් ගානේ තම රුව සහිත පෝස්ටර් අලවා ඇති අතර, තවත් සමහරෙක් කොට්ඨාශ තුළ රැස්වීම්ද සංවිධානය කරමින් සිටිති. මෙම වාතාවරණය සම්බන්ධයෙන් ආර්. ඩී. විමලදාස වෙත කෙලින්ම ඇගිල්ල දිගු කරන හිටපු මන්ත‍්‍රීවරුන් කියන්නේ මේ සියලු දෑ විමලදාසගේ උවමනා එපාකම් සහ අනුදැනුම මත සිදුවන බවකි. මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් අතර එවැනි ආරවුල් ඇතිව තිබියදී, පොදුජන පෙරමුණේ අතිරේක (සමානුපාතික) ලැයිස්තුව සකස්කිරීමේදීත් අකටයුතුකම් සිදුවන බවට දොඩම්ගස්ලන්දේ පොහොට්ටු සාමාජිකයින් වෙතින් මැසිවිලි නැගෙමින් තිබේ. උගත්, බුද්ධිමත් සහ සමාජ පිළිගැනීමක් සහිත වෘත්තිකයින් ඇතුළත් වන අයුරින් සමානුපාතික ලැයිස්තුව සකස්කරන ලෙසට නෙඵම් මාවත ප‍්‍රධාන කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති නමුත් දොඩම්ගස්ලන්දේ පොදුජන පෙරමුණු ලැයිස්තුව සකස්වන්නේ එම උපදෙස්‍වලට අනුකූලව නොවන බවට කසුකුසු නැ‍ගෙමින් තිබේ. වෛද්‍ය, නීතිඥ, ගුරු සහ කලාකරු වැනි වෘත්තිකයින්ගෙන් පිරවිය යුතු අදාල ලැයිස්තුවට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දොඩම්ගස්ලන්දෙන් ඇතුළත් කර සිටින්නේ කොට ව්‍යාපාරිකයින්, ට‍්‍රැක්ටර් රියදුරන් සහ බස් කොන්දොස්තරවරුන් වැනි පිරිස් බවට චෝදනා නැගෙයි. එබැවින් දොඩම්ගස්ලන්දේ වත්මන් දේශපාලනයට සම්බන්ධයෙන් විමසා බලද්දී එජාපයේ සහ ශ‍්‍රීලනිපයේ හැල හැප්පිලි පමණක් නොව පොහොට්ටු පිළත් පවතින්නේ පුපුරායාමට ආසන්න ගිනි කන්දක තත්වයෙන් පැහැදිලිය.

උපතිස්ස හිමියෝ දේශපාලනඥයින්ට දොස් තබති.

මැල්සිරිපුර නගර මධ්‍යයේ ඉදිකෙරුණු කඩපෙළක් විවෘත කෙරුණේ උදුවප් පොහොය යෙදුණු පසුගිය ඉරිදාය. මැල්සිරිපුර මාර්ග පද්ධතිය පුඵල් කිරීමේදී කඩා ඉවත්කෙරුණු තාවකාලික කඩ පෙළ වෙනුවට මැල්සිරිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් යොදාගනිමින් ස්ථිර කඩපෙළක් ඉදිකරන්නට මැදිහත් වී තිබුණේ හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක මන්ත‍්‍රී කමල් ඉන්දිකය. පළාත් පාලන මැතිවරණය කට ළගටම පැමිණ තිබීම නිසා අදාල කඩ පෙළ විවෘත කිරීම කළඑළි ඇතිව සිදුකිරීමට කමල් තීරණය කර තිබිණි. ඒ නිසාම කඩ පෙළ විවෘත කිරීම සදහා ශ‍්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායක වෙත කමල් විසින් ඇරැයුම් කර තිබිණි. ඇමැති දුමින්ද විසින් තම ආරාධනාව පිළිගෙන, දිනයත් වෙන්කරදීම නිසා ඉබ්බාගමුවේ සිට මැල්සිරිපුර දක්වාම නිලෙන් සරසවා දුමින්ද පිළිගන්නට කමල් විසින් කටයුතු කර තිබිණි. ඉබ්බාගමුව, පෙරියකඩුනැලව ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු නිවසකදී දුමින්ද වෙනුවෙන් දිවා ආහාරයත් සූදානම් කළ කමල් එහිදී තවත් ජන හමුවක්ද සූදානම් කර තිබිණි. කමල් විසින් තබා තිබූ දහසක් බලාපොරොත්තු සුන්කරමින් ඇමැති දුමින්ද අවසන් මොහොතේ දැනුම් දී තිබුණේ හදිසි රාජකාරියක් හේතුවෙන් තමන්ට එදින හිරියාලට පැමිණිය නොහැකි බවකි. මනාලයා නැති මගුල් ගෙදරක් බවට පත් වී කඩාකප්පල්වන්නට ගිය මැල්සිරිපුර කඩ පෙළ විවෘත කිරීමේ උත්සවයෙන් කමල්ගේ ජාම බේරාදුන්නේ ඊට සහභාගි වී සිටි ඇමැති ටී. බී. ඒකනායක විසිනි. දුමින්දගේ නොපැමිණීමට අමතරව මැල්සිරිපුර සුගතපාලාරාමාධිපති, අකාඩේ උපතිස්ස හිමියන්ගෙන් දොස් අහන්නටත් කමල්ට සිදුවිය. උපතිස්ස හිමියන් එහි වැඩම කළේ උත්සවය ආරම්භවනවාත් සමගය. පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව සභාව ඇමැතූ උපතිස්ස හිමියෝ මෙසේ කීහ. ‘‘මැල්සිරිපුර සංවර්ධනය වෙනුවෙන් අපිත් හුගක් මහන්සි වුණා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමැතියි මේ වගේ උත්සව සංවිධානය කරනකොට දේශපාලඥයින්ට විතරක් නෙවෙයි, අනිත් අය ගැනත් ටිකක් හිතලා මේ වගේ උත්සව යොදාගන්න කියලා. අද පසළොස්වක පෝය දවස. භික්ෂූන් වහන්සේලා විදිහට අපි අද දවසේ හුගාක් කාර්යබහුලයි. බැරිවෙලා හරි මෙතැනට එන්න බැරිවුණා නම් ඒකට බැණුම් අහන්න වෙන්නෙත් අපිටමයි. ඒ නිසා මින් ඉදිරිටවත් මේ වගේ උත්සව යොදාගනිද්දි අනෙක් අයගේ පහසුව ගැනත් කල්පනා කරලා ඒවා සැලසුම් කරන්න කියලා මම කාරුණිකව මතක් කරනවා. ’’අනුශාසනාව අවසන් කළ උපතිස්ස හිමියන් උත්සවයේ ඉතිරි කටයුතුවලට සහභාගි නොවී එතැනින් නික්මුණහ.

ඇමැති ලේකම්ලාටත් පළාත් සභාවෙන් ගුරු පත්වීම්.

වයඹ පළාත් ගුරු සේවය සදහා උපාධිධාරීන් 1200 දෙනෙකු බදවාගැනීම සිදුකෙරුණේ පසුගිය සදුදාය. කුරුණෑගල, වයඹ රාජකීය විද්‍යාලයේදී පැවැති පත්වීම් ප‍්‍රදානෝත්සවය සදහා ආණ්ඩුකාර අමරා පියසිලී, මහ ඇමැති ධර්මසිරි සහ හිටපු අධ්‍යාපන ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ ඇතුල පිරිසක් එක් වී සිටියහ. සන්ධ්‍ය විසින් වයඹ අධ්‍යාපන ඇමැතිධූරය හෙබ වූ සමයේදී මෙම ගුරු පත්වීම් පිරිනැමීම සදහා අඩිතාලම වැටී තිබූ නමුත් එහි කටයුතු අවසන් අදියරේ තිබියදී අධ්‍යාපන ඇමැති ධුරයෙන් සමුගැනීමට සන්ධ්‍යට සිදුවිය. ගුරු පත්වීම් වෙනුවෙන් සන්ධ්‍ය විසින් ගත් මහන්සිය අගය කිරීමටදෝ ගුරු පත්වීම් ලැබූ උපාධිධාරින් අමතන්නට සන්ධ්‍යටද අවස්ථාවක් ලැබී තිබිණි. තමන් ගුරුවරයෙකු ලෙස සේවය කළ අතීතයත්, වයඹ අධ්‍යාපන ඇමැතිකම ලැබීමෙන් පසුව ගුරු පත්වීම් ලබාදීම සදහා මුදල් සොයාගත් ආකාරය ගැනත් දීර්ඝව විස්තර කළ සන්ධ්‍ය රසවත් කතා කිහිපයක්ම කීවේය. ‘‘අතීතයේදී නම් මට ගුරු පත්වීමක් ගන්න එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයත් ගන්න වුණා. නමුත් අද මේ ගුරු පත්වීම් දෙද්දී අපි පක්ෂ පාට භේදයක් බැලුවේ නෑ. සුදුසුකම් මත රස්සාව දුන්නා. අද පත්වීම් ලබපු අය අතර එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ ලේකම්වරු පවා ඉන්නවා. මේ ගුරු පත්වීම් ටික දෙන්න සූදානම් කරමින් ඉන්නකොට තමයි මට අධ්‍යාපන ඇමැතිකම නැතිවුණේ. මම එදා ස්විට්සර්ලන්තයේ ගිහින් ආපහු එනකොට ඇමැතිකමින් අයින්කරලා. යනකොට ඇමැති. එනකොට නොමැති. ’’යැයි සන්ධ්‍ය කියද්දී සභාව සිනහවේ ගිලී ගියේය.

වයඹ අයවැය කොළපාට වෙයි.

2018 වර්ෂය සදහා වන වයඹ පළාත් සභාවේ අයවැය කෙටුම්පත මහ ඇමැති ධර්මසිරි විසින් පෙරේදා වයඹ පළාත් සභාවට ඉදිරිපත් කළේය. රුපියල් මිලියන 37 ක ලැබීම් ඇස්තමේන්තුවක් සහිත 2018 වර්ෂය සදහා අයවැයෙන් අපේක්ෂිත ආදායම් ලෙස රුපියල් මිලියන 9290 ක මුදලක් උපයාගැනීමට වයඹ පළාත් සභාව බලාපොරොත්තු වෙයි. ඉන් වැඩිම මුදල වන රුපියල් මිලියන 4950 ක මුදලක් ඉපයීමට බලාපොරොත්තු වන්නේ රජයේ ආදායම් මාරුකිරීම්වලිනි. එම මුදලට, මධ්‍යම රජය විසින් එකතුකොට පළාත් සභාව වෙත ලබාදෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හරහා රුපියල් මිලියන 3150 ක්, මුද්දර බද්ද හරහා රුපියල් මිලියන 1400 ක් සහ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු වශයෙන් රුපියල් මිලියන 400 ක්ද ඇතුළත්ය. මීට අමතරව අපේක්ෂිත ආදායම් යටතේ වාහන ආදායම් බලපත‍්‍ර ගාස්තු වශයෙන් රුපියල් මිලියන 1208ක්, මත්පැන් බලපත‍්‍ර ගාස්තු මගින් රුපියල් මිලියන 166 ක්, දේපළ පැවරීමේ මුද්දර ගාස්තු මගින් රුපියල් මිලියන 2000 ක්ද, උසාවි දඩ ලෙස රුපියල් මිලියන 400 ක් සහ වෙනත් ආදායම් ලෙස රුපියල් මිලියන 566 ක්ද පළාත තුළින් උපයාගැනීමට පළාත් සභාව බලාපොරොත්තු වෙයි.

2017 වෙනුවෙන් වයඹ පළාත් සභාවේ පුනරාවර්තන වියදම්වල එකතුව රුපියල් මිලියන 31578.2 ක් වන අතර එම මුදල සමස්ත අයවැයෙන් 83%ක් වෙයි. පුනරාවර්තන වියදම්වලින් වැඩිම මුදල වෙන්කර ඇත්තේ පළාත් සභාවේ පුද්ගල පඩිනඩි ගෙවීම්වලට වන අතර එම මුදල රුපියල් මිලියන 31281.4 කි. 2018 වයඹ අයවැය ලේඛණයෙන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට වන අතර එම මුදල රුපියල් මිලියන 675 ක් වෙයි. වයඹ පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 469 ක්ද, මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 400 ක්ද මෙවර අයවැයෙන් වෙන්කර තිබේ. වයඹ පළාත් සභාවේ 2018 සදහා වන අයවැයෙන් අඩුම මුදල වෙන්කර ඇත්තේ සමූපකාර සංවර්ධනය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් මිලියන 2 කි.

මෙවර අයවැය ඉතා සාරාංශ වශයෙන් සකස් කර තිබීම විශේෂත්වයක් වූ අතර සෑම ක්ෂේත‍්‍රයක් පිළිබදව පාහේ ලුහුඩින් කරුණු දක්වා තිබිණි. පෙර වසරවලදී පිටු 50 කට ආසන්න ප‍්‍රමාණයකින් අයවැය සකස් වී තිබූ නමුත් මෙවර අයවැය ලේඛණය පිටු 25 කට පමණ සීමා වී තිබිණි. මේ නිසාම මහ ඇමැති ධර්මසිරිට අයවැය ලේඛණය සභාවට ඉදිරිපත් කිරීමට ගතවූයේ පැයකුත් විනාඩි පහළොවකට මදක් වැඩි කාලයක් පමණි. 2018 අයවැය ලේඛණයේ පිටකවරයෙන් වැඩි ප‍්‍රමාණයක් තද කොළ පැහැයෙන් මුද්‍රණය වී තිබූ අතර ඊට යොදාගෙන තිබූ වයඹ සිතියමේ කල්පිටිය අර්ධද්වීපය සහිත කොටස සුදු පැහැයෙන් මුද්‍රණය කර තිබිණි. අයවැය පිළිබද පොදු සාකච්ඡාව අවස්ථාවේදී අයවැය ලේඛණය කොළ පාටවීම ගැන මන්ත‍්‍රී සන්ධ්‍ය රාජපක්ෂ උපහාසයෙන් යුතුව කතා කළේය. ‘‘මේ අයවැයේ පිටකවරෙට කල්පිටියයි, මුහුදයි යොදාගෙන තියෙනවා. සාමන්‍යයෙන් මුහුද නිල් පාටයි. නමුත් මේ පොතේ තියෙන මුහුද නම් කොළම කොළපාටයි. මුහුද කොළපාට වෙන්නේ දිලීර බෝ වුණාම කියලා තමයි අපි නම් දන්නේ. දැන් තියන්නේ නීල – හරිත ආර්ථිකයක් කියලනේ කියන්නේ. නමුත් මට නම් පේන්නේ වයඹ අයවැයෙන් නීල හැලිලා. හරිත විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. ’’සන්ධ්‍ය කීවේය.

පොදු සාකච්ඡාව අවස්ථාවේදී විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට එජාප මන්ත‍්‍රී අජිත් රෝහණ නැගී සිටීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ කටවල්වලට අමුතු පණක් ලැබුණු බවක් පෙණිනි. අජිත් රෝහණ වෙත උසුඵ විසුඵ කළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු ඔහුගේ අදහස් දැක්වීමට දිගින් දිගටම බාධා කළහ. ‘‘සභාපතිතුමනි, මට කතා කරන්න ඉඩ දෙන්න. ආණ්ඩු පක්ෂය මට බාධා කරනවා. ’’යැයි කියමින් අජිත් කිහිපවිටක්ම සභාපති ටිකිරි බණ්ඩාගෙන් පිහිටක් පැතු නමුත් ටිකිරි බණ්ඩා සභාව සන්සුන් කිරීමට උනන්දු වූ බවක් නොපෙණිනි. ඒ දුටු අජිත්ට යකා නැග්ගේය. ‘‘සභාපතිතුමනි, ඔබතුමා සභාව හසුරුවා ගන්නවත් දන්නේ නෑ. ඔබතුමාට සභාව හසුරුවාගන්න බැරි නම් ඔය පුටුවෙන් බැහැලා යන්න. අපි ඕක කරගන්න පුලුවන් කෙනෙක් ඔතැනට දාගන්නම්. ’’අජිත් කීවේය. ‘‘මෙතැන වැඩකරන විදිහ ගැන මට ඔබතුමා කියලා දෙන්න ඕනෑ නෑ.’’සභාපති ටිකිරි බණ්ඩාද මුලසුනේ සිටම කෝපයෙන් කීය. කලකෝලාහල මැද්දේම තම කතාව අවසන් කළ අජිත් සිය අසුනේ වාඩිවෙද්දී ‘‘බොහෝම ස්තූතියි අජිත්රෝහණ මන්ත‍්‍රීතුමාට ’’යැයි කී ටිකිරි බණ්ඩා කථික ලැයිස්තුවේ ඊළග මන්ත‍්‍රීවරයාගේ නම නිවේදනය කිරීමට සූදානම් විය. වහා සිය අසුනෙන් නැගී සිටි මන්ත්‍රි අජිත් ‘‘ඔය ස්තූතියවත් මට එපා.’’යැයි කියද්දී සභාව සිනා සයුරක ගිලී ගියේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 දෙසැම්බර් 07  වැනිදා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article