ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීමට සහ ප්‍රමුඛතා දෙන්න කමිටුවක්
ජාතික සංවර්ධන ඉලක්ක හා ජාතික අවශ්‍යතා පදනම් කරගෙන රටේ ක්‍රියාත්මක වන විවිධ පර්යේෂණ, ඒවායේ ප්‍රමුඛතාව අනුව වර්ගීකරණය ප්‍රධාන අරමුණ කර ගනිමින් පළමුවරට මෙරට ජාතික පර්යේෂණ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රමුඛතා ලබාදීමට තාවකාලික කමිටුවක් පසුගිය 07 වැනිදා පිහිටුවීය. මේ කමිටුවේ සම සභාපතීත්වය විද්‍යා සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරු දරති. විවිධ ක්ෂේත්රවල ප්රමුඛපෙළේ විශේෂඥයෝ 20 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.
මේ කමිටුවේ අනෙකුත් ප්‍රධාන කාර්යය වන්නේ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, කර්මාන්ත සහ රජයේ ආයතනවල ක්‍රියාත්මක වන පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති ජාතික සංවර්ධන ඉලක්ක හා සමපාත කර ගැනීමයි. ජාතික අයවැයෙන් පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රය සඳහා වෙන් කෙරෙන මුදල් කාර්යක්ෂම ලෙස උපයෝගී කර ගැනීම සඳහා පර්යේෂණ ප්‍රමුඛතාව මත මුදල් වෙන් කිරීම දිරිගැන්වීමයි.

ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රය දීර්ඝකාලයක් තිස්සේ හුදකලා වූ, වෙන්වෙන් වශයෙන් පවතින විසිරුණු පද්ධතියක් ලෙස ක්‍රියාත්මක විය. එබැවින්, බොහෝවිට මෙරට ආර්ථිකයේ ප්රසාරණයට හෝ සමාජයේ අභිවෘද්ධියට සැලකිය යුතු බලපෑමක් කිරීමට එය අපොහොසත් විය. මේ කමිටුව පිහිටුවීමෙන්, පාර්ශ්වකරුවන් මගින් ආයතනික වාර්තා සහ ජාතික තලයේ සමීක්ෂණ හරහා බිම් මට්ටමේ සිට අමාත්‍යාංශ මට්ටම දක්වා දත්ත එක්රැස් කරමින්, වඩාත් කාර්යක්ෂම, උපායමාර්ගික සහ සමාජ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්රයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වේ. එසේම, දත්ත මත පදනම්ව තීරණ ගැනීම සහ මූල්‍ය වගවීම, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රය දක්වා ව්‍යාප්ත කිරීම මෙහි තවත් අරමුණකි.
මෙය මෙරට පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කිරීමකි.
උපාලි කරුණාරත්න – උපුටා ගැනීම – දිණමින







