හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුව, වරද පිළිගැනීම හෝ අල්ලස් කොමිසම නියම කරන වෙනත් කොන්දේසි සම්පූර්ණ කිරීමේ එකඟතාව යටතේ ඉල්ලා අස්කර ගන්නා ලෙස විත්තිය විසින් කළ ඉල්ලීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පදවි ප්‍රාප්තිය නිමිති කර ගනිමින් පවත්වන ලද ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනයේ ගෙවීම් සම්බන්ධ කටයුතුවල දී ඇති වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණය නමැති වරද යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.
කෙසේ නමුත්, විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, විත්තිකරු දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ වරද පිළිගෙන වන්දියක් හෝ දඩයක් ගෙවීම මගින් හෝ කොමිසම නියම කරන වෙනත් කරුණු සම්පූර්ණ කිරීමේ එකඟතාවයට එකඟ වන බවත්, ඒ හේතුවෙන් එම නඩුව ඉවත්කර ගන්නා ලෙසත් අල්ලස් කොමිසම වෙතින් ඉල්ලා සිටිනු ලැබුවා.

එහි දී එම වගන්තිය දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන සීමිත කාරණා සම්බන්ධයෙන් පමණක් බලපැවැත්වෙන බව සඳහන් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර, විත්තිකරුට එම වගන්තිය යටතේ මෙවැනි ඉල්ලීමක් කිරීමේ හැකියාවක් නොමැති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා
ඒ අනුව, එම කරුණු දැක්වීම පිළිගත් මහාධිකරණ විනිසුරු ශාන්ත ගොඩවෙල පැමිණිල්ලේ සාක්ෂි විමසීමට නියෝග කළ අතර, ලබන මැයි 6 වන දින යළිත් මෙම නඩු කටයුත්ත කැඳවීමට ද නියෝග කරනු ලැබුවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පිංයකර ජයරත්න හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුවට අමතරව තවත් නඩු 4ක් පවරා තිබීම විශේෂත්වයක්.
ජිමුත් ඉදුසර – උපුටා ගැනිම – whatnews.lk







