Monday, May 6, 2024

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට පොල්පිතිගම ගැමියන්ගෙන් කැබිනට් හූවක් !

Must read

alu_yata_ gini_march_17_3පාවහන් පිටින් බුදුන් වැන්ද ටිකිරි බණ්ඩාගේ ඡායාරූප මුහුණුපොතෙන් ගැලැවෙයි.

හිස්වැසුම් සහ පාවහන් සහිතව පහන් දල්වා කම්බි කණුවක එල්ලූ ටින් බෙලෙක්කයක බුදුන් පුදන්නට ගිය වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා විසින් බුදුන්ටත් කළ නිගාව පිළිබද පසුගිය සතියේදී අඵ යට ගිනි පිටුවෙන් කළ හෙළිදරව්ව ගෙවුණු සතිය පුරාම කතාබහ කරන්නට බොහෝදෙනෙකුට මාතෘකාවක් සපයා දී තිබිණි. ටිකිරි බණ්ඩාගේ විකල් හැසීරීම පිළිබදව පළාත් සභාව පැත්තේද වැඩියෙන් කතාබහට ලක් වී තිබූ අතර පසුගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙන්ම පළාත් සභා රැස්වීමේදීත් තැන් තැන්වලදී එකතු වූ මන්ත‍්‍රීවරුන් ටිකිරි බණ්ඩාගේ බොරු උපාසකකම් උපහාසයට ලක්කරමින් කතාබහ කර තිබේ. එමෙන්ම අඵ යට ගිනි හෙළිදරව්ව කියැවූ බොහෝදෙනකු ටිකිරි බණ්ඩා විසින් එසැණින් මුහුණුපොතට ඇතුල් වී ටිකිරි බණ්ඩාගේ අමුතු බුදුන් වැදිල්ල සහිත ඡායාරූප සියැසින් දැක බලාගෙන තිබුණා පමණක් නොව ඒ බොහෝදෙනෙකු විසින් බොදු වත්පිළිවෙත් පිළිබදව ලුණු ඇඹුල් ඇතිවම ටිකිරි බණ්ඩාට කියාදෙමින් අදහස් දැක්වීම්ද පළකිරීමට අමතක කර නොතිබිණි. වැඩේ වැරදුණු බව දුටු ටිකිරි බණ්ඩා විසින් තකහනියේ මුහුණුපොතට රිංගා අදාළ ඡායාරූප සහ අදහස් දැක්වීම් මකන්නට කටයුතු කර තිබූ නමුත් ටිකිරි බණ්ඩා ඒ වනවිටත් බොහෝ ප‍්‍රමාද වී තිබිණි. අදාල ඡායාරූප මේ වන විට බොහෝදෙනකු විසින් තම ජංගම දුරකථන සහ පරිගණක තුළ සුරක්ෂිතව ගබඩාකරගෙන සිටිනවා පමණක් නොව ඒවා දැකිය යුතු තැන් කිහිපයක් වෙතම යොමුකරන්නටත් කටයුතු කර තිබිණි. ඒ නිසාම හිස්වැසුම්, පාවහන් පිටින් ටින් බෙලෙක් කබලක බුදුන් පුදා මහා අකුශලයක් සිදුකරගත් ටිකිරි බණ්ඩාට කළ කම් පළදෙන දිනය වැඩි ඈතක නොවන වයඹ ජනතාව දැන් කියති.

නි. ඇමැති අශෝක් ලංගම සුක්කානම අතට ගනී.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පසුගිය සිකුරාදා කුරුණෑගල උතුරු ඩිපෝවට ආවේ එහි සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගිවීමටය. කාර්මික දෝෂ හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ අටක් නවීකරණය කිරීමෙන් පසු යළි ධාවනයට එක්කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. උත්සවය අවසන්වීමෙන් පසුව ලංගම සේවකයින්ගේ අතින් නවීකරණය කෙරුණු බස්රථ එකින් එකට ගොඩවෙමින් ඒවා පරීක්ෂා කර බැලීමටද අශෝක් අමතක නොකළේය. ‘‘සර්, බස් එකක් එළවලත් බලන්න.’’ලංගම සේවකයෝ අශෝක්ට කීහ. සේවකයින්ගේ ඉල්ලීමට කන් දුන් අශෝක් නවීකරණය කර තිබුණු බස් රථයක රියදුරු අසුනට නැග එහි අසුන් ගත්තේය. බසයේ ගියර් පද්ධතිය සහ ක්ලච්, බ්‍රේක් වැඩකරන අකාරය පිළිබදව එහි රියදුරුගෙන් අසා දැනගත් අශෝක් බස් රථය ඉදිරියට පදවන්නට විය. බසය මීටර් කිහිපයක් ඉදිරියට ධාවනය කළ හෑන්ඞ් බ්‍රේක් එක දමා බසයෙන් බැසගත්තේය. ගමන් අවට රැස්ව සිටි ලංගම සේවකයින් සහ නිලධාරින් වෙත තම දෑත පෑ අශෝක් ‘‘ඔයගොල්ලන්ගේ බස් අතගාපුවාම ඔන්න තියෙන කුණු ’’යැයි කීවේ පිරිස සිනාසයුරේ ගිල්වමිනි.

‘ගන්ධබ්බ වැඩ කරන්න එපා !‘ නාමල්, ටී. බී. ට කියයි.

තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අලි කොරිඩෝවන් වෙන්කිරීමේ ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් පසුගිය 29 වැනිදා සංවිධානය කර තිබුණේ පොල්පිතිගම, කට්ටම්බේරියයාය ප‍්‍රදේශයේදීය. අලි කොරිඩෝ වෙන්කිරීමට එම ප‍්‍රදේශයේ ජනතාව දැඩි විරෝධයක් පළකිරීම නිසා ඇමැති ජයවික‍්‍රම පෙරේරා ඇතුලූ මැති ඇමැතිවරුන් ගෙන්වා 29 වැනිදා කට්ටම්බේරියයාය ප‍්‍රදේශයේදී ගොවීන් සමග සාකච්ඡාවක් සිදුකරන බැවින් ඊට සහභාගි වන ලෙසට ඊට පෙර දිනයක පැවැති පොල්පිතිගම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී එහි සම සභාපති ඇමැති ටී. බී. ඒකනායක විසින් දේශපාලන අධිකාරියට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද ආරාධනා කර තිබිණි. ඒ අනුව ජවිපෙ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්නද එදින නියමිත වේලාවටම කට්ටම්බේරියයායට පැමිණියේය. නාමල් එනවිටත් ගොවීන් විශාල ප‍්‍රමාණයක් එතැනට රැස් වී සිටියහ. පිරිස මැති ඇමැතිවරුන් එනතෙක් මග බලාසිටි නමුත් පැය, දෙක ගෙවී ගිය නමුත් කිසිවෙකුත් එහි නොපැමිණියහ. ප‍්‍රමාදය ඇයිදැයි විමසන්නට නාමල් විසින් ඇමැති ජයවික‍්‍රමට ඇමැතුමක් ලබාගත් නමුත් ඔහුගේ දුරකථනය ක‍්‍රියාවිරහිත වී තිබිණි. ඒ අතරේ ගොවි මහතෙකු විසින් ඇමැති ටී. බී. ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන නාමල්ට කතාකරන්නට දුන්නේය. නාමල් ටී. බී. සමග කතාකළේ රැස්ව සිටි සියලු දෙනාටම ඇසෙන පරිදි ස්පීකර් ෆෝන් මාදිලිය ක‍්‍රියාත්මක කරගෙනය. ‘‘ඇමැතිතුමා එදා සම්බන්ධීකරණ රැස්වීමේදි ඔබතුමා අපිට කිව්වනේ සාකච්ඡාවකට අද මෙතැනට එන්න කියලා. දැන් අපි ඇවිත් ඉන්නවා. නමුත් ඔබතුමාලවත්, රජයේ නිලධාරීන්වත් මෙතැනට ඇවිල්ලා නැහැ.’’නාමල් කීය. ‘‘අපි අද ඔය වැඩේට එන්නේ නැහැ කියලා ගොවි සංවිධානයට පණිවිඩයක් දීලා තියෙනවා. ’’ටී. බී. කීය. ‘‘නමුත් අපිට එහෙම පණිවිඩයක් ලැබුණේ නැහැ. දැන් මෙතැනට විශාල පිරිසක් ඇවිත් ඉන්නවානේ. සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට ඔබතුමා තමයි අපිව කැදෙව්වේ. ඒ කැදවීමට ගරුකරලා තමයි අද අපි ආවේ. දැන් ඔබතුමා කියනවා අද එන්නේ නැතිලු. බලන්න මේ වගේ වැඩවලින් කීදෙනෙක් නිකම් රස්තියාදු වෙනවද කියලා ? ’’නාමල් කීය. ‘‘අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපි එන්නේ නෑ කියලා ගොවි සංවිධානෙට පණිවිඩේ දීලා තියෙනවා. ’’ටී. බී. යළිත් කීය. ටී. බී. ගේ නොසැලකිලිමත් ප‍්‍රතිචාරයට නාමල්ට යකා නැග්ගේය.‘‘එහෙම එන්න බැරි නම් ඔබතුමාට හරි, ඔබතුමාගේ නිලධාරියෙකුට හරි අපිට කතාකරලා කියන්න තිබුණා මේ වැඩේ වෙන්නේ නෑ කියලා. එහෙම වුණානම් අපි මෙහෙම රස්තියාදු වෙන්නේ නැහැනේ. ඔබතුමා තනිකර පිස්සුනේ කෙළින්නේ. නිකම් ගන්ධබ්බ වැඩ කරන්න එපා ඇමැතිතුමා. කෙළින් ඉදගෙන වැඩකරන්න. දැන් ජයවික‍්‍රම ඇමැතිතුමාගේ ෆෝන් එක වැඩකරන්නෙත් නැහැ. මම මේක ගැන බලාගන්නම් සම්බන්ධීකරණ කමිටුවේදී. මෙතැන පැය ගාණක් මිනිස්සු රස්තියාදු කරවලා තියෙනවා. ඒකේ වගකීම තමුන්නාන්සේලා ගන්න ඕනෑ. මීට වඩා දෙයක් මට ඔබතුමාලත් එක්ක කතා කරන්න නැහැ. ’’යැයි කී නාමල් දුරකථනය විසන්ධි කළේය. අනතුරුව නාමල් රැස්ව සිටි පිරිස ඇමැතුවේය. ‘‘අද මෙතැනට එන්න හිටියා කැබිනට් ඇමැතිවරු. රාජ්‍ය ඇමැතිවරු. නියෝජ්‍ය ඇමැතිවරු. ඒ කවුරුත් මෙතැනට එන්නේ නැතිව මිනිස්සුන්ට පොලූ දැම්මා. ඒ නිසා ඒකට විරෝධය පළකරන්න දෙන්න හොද හූවක්. රැස්ව සිටි දහසකට ආසන්න පිරිස එකහඩින් හූ හඩ නැගූහ. ‘‘ඒක මදි. ඒක මදි. ඒක නිකම් ගන්ධබ්බ හූවක්. ගන්ධබ්බ හූ හරියන්නේ නැහැ. දෙන්න හොද කැබිනට් හූවක්.’’යැයි නාමල් කියද්දී රැස්ව සිටි පිරිස එවර නැගූ හූ හඩෙන් පළාතම දෙදරුම් කෑවේය.  මෙම සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් නැරඹිය හැකිය. https://www.wayambatoday.com/?p=5281 

අලවතුවලට වාහනය මාරුවෙයි.

නිවාස සහ ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස කුරුණෑගලට ආවේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. ඒ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති සැමට සෙවණ විසිරි ජාතික නිවාස වැඩසටහන යටතේ මූල්‍යාධාර චෙක්පත් ප‍්‍රදානයකට සහභාගිවීමටය. සජිත් සමග ඇමැති එස්. බී. නාවින්න, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල, නලින් බණ්ඩාර මෙන්ම මහ ඇමැති ධර්මසිරි දසනායකද සහභාගි වී සිටියහ. උත්සවය පැවැත්වුණේ කුරුණෑගල වුවත්, කුරුණෑගල එජාප සංවිධායකවරයා වන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ උත්සවයේ දක්නට නොලැබීම කාගේත් සිත්වල ඇති කළේ කුහුළකි. කලක් තිස්සේ සජිත් සමග සමීපව වැඩ කළ අශෝක් උත්සවයේ නැතිවීම පිළිබද විමසිලිමත් වූ අයට විවිධාකාර පිළිතුරු ලැබෙන්නට වූ නමුත් අශෝක් සජිත්ගේ වැඩේ මෙගහැරයාම ගැන පිළිගත හැකි මට්ටමේ පිළිතුරක් ලැබී නොතිබිණි. අශෝක් විසින් සජිත්ගේ උත්සවය ‍මගහැර ගොස් තිබුණේ විවාහ මංගල්‍යයකට සහභාගිවීමට තිබූ නිසා බව එහෙන් මෙහෙන් කියැවුණු නමුත් මහ ඇමැති ධර්මසිරි දසනායක නම් තම සමීප ඥාතියෙකුගේ විවාහයක නැකැත් පවා වෙනස්කරවාගනිමින් සජිත්ගේ උත්සවයට සහභාගිවී සිටියේය. ධර්මසිරි ඒ බව තම කතාවේදී සජිත් වෙත මතක් කරන්නටත් අමතක නොකළේය. ‘මට අද තිබුණා මගේ ඉතාම සමීප ඥාතියෙකුගේ විවාහයකට අත්සන් කරන්න. නමුත් ඊට වඩා මට ඔබතුමාගේ මේ උත්සවයට එන එක වැදගත් වුණා. මගේ ඥාතියාගේ විවාහයට අත්සන් කරන්න යෙදිලා තිබුණේ උදේ දහයයි තිස් හතට. මම කිව්වා මට සජිත් ඇමැතිතුමාගේ උත්සවයකට යන්න තියෙන නිසා ඒ වෙලාවට නම් එන්න බැහැ ඒ නිසා දොළහට විනාඩියක් හරි තියලා අත්සන් කරන නැකැත හදලා දෙන්න, මම කොහොමහරි එන්නම් කියලා. ඊට පස්සේ එයා මට වෙලාව දුන්නා එකොළහයි පනස් හතට. ඒ නිසා මම දැන් කතාකරලා ඉවර වුණු ගමන් ඒ මගුල් ගෙදරට යනවා. ’’ධර්මසිරි කීය. කී ලෙසටම තම කතාව අවසන් කළ ධර්මසිරි සජිත්ට ආයුබෝවන් කියා උත්සවයෙන් නික්ම ගියේය. පැමිණි සිටි හයසිය ගණනක් වූ ප‍්‍රතිලාභීන් වෙත සජිත්ගේ අතින්ම චෙක්පත් ප‍්‍රදානය කිරීමත් සමග උත්සවයද අවසන් විය. උත්සවය අවසන් කර ගෙදර යන්නට ආ අලවතුවලට තමන් පැමිණි වාහනය මාරු වී අකරතැබ්බයකට මුහුණදෙන්නට සිදු විය. තරුණ බෞද්ධ සංගම් ශාලාවෙන් පිටතට පැමිණි අලවතුවල ඒ වන විට එම ශාලාව ඉදිරිපිට නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයේ දොර ඇර එහි වාඩිවෙන්නට සැරසුණු අතර ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී එය වැළැක්වූහ. ‘‘නෑ, නෑ. සර් ඕක නෙවෙයි. අපේ වාහනේ අතන තියෙන්නේ . ’’යැයි කියූ ආරක්ෂකයින් ඊට මදක් ඔබ්බෙන් නවතා තිබූ අලවතුවලගේ වාහනය පෙන්වූහ. ‘‘මේකත් සුදු පාටනේ. මට එකපාර අදුනගන්න බැරි වුණා. ’’ සිනාසෙමින් කී අලවතුවල තමන්ගේ වාහනයට නැග එහි අසුන් ගත්තේය.

මැති ඇමැති මනාප හබවලින් කණ්ඩායම් රැස්වීමත් රත්වෙයි.

මනාප මුල්කරගනිමින් එකම කණ්ඩායමේ අපේක්ෂකයින් අතර පවා ඇති වන ගැටුම් බහුලව දැකගත හැකිවන්නේ මැතිවරණ කාලවලදී වුවත් මැතිවරණ රහිත කාලවලදී පවා එවැනි ගැටුම් නැතැයි කියන්නට බැරිය. වෙනසකට ඇත්තේ එවැනි ගැටුම් හිත් ඇතුළේ පැසව පැසව තිබීම විනා මැතිවරණ කාලවලදී මෙන් ගුටිකෙළි දක්වා දුරදිග නොයාම පමණකි. වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන්ගේ හිත් ඇතුලේ කලක් තිස්සේ පැසවමින් තිබූ ගිනි කන්දක් පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීත් පුපුරා ගියේය. පිපිරීම ආරම්භ කරමින් වෙඩි නූලට ගිනි තිබ්බේ සභානායක චින්තක මායාදුන්න විසිනි. ‘‘සන්ධ්‍ය ඇමැතිතුමා අද අපේ ආසනයේ උත්සව වගයකට ඇවිත් තිබුණා. මට කිසිම දැනුම්දීමක්වත්, ආරාධනාවක්වත් ලැබිලා තිබුණේ නැහැ. නමුත් මමත් බලෙන්ම වගේ ගිහින් ඒ උත්සවවලට සහභාගි වුණා. නමුත් අපේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරු පුත්තලමට එනකොට නම් අනිවාර්යයෙන්ම අපිට කියනවා. මේ ඊයේ පෙරේදා දෙහිගම ඇමැතිතුමා ගංවතුර ආධාර බෙදන්න ගියා. මාවත් එක්කරගෙන තමයි එතුමා ගියේ. අපේ මහඇමැතිතුමා ආවත් එහෙමයි. වේඩරුව ඇමැතිතුමා ආවත් එහෙමයි. නමුත් අපේ පුත්තලමේ ඇමැතිවරු අපේ ආසනේකට යනකොට අපිට හොරෙන් ඇවිත් වැඩේ කරලා යන්න තමයි බලන්නේ. ’’චින්තක කීය. ඊළගට කතාකළේ මන්ත‍්‍රී අසංක නවරත්නය. ‘‘ඕක පොදු ප‍්‍රශ්නයක් චින්තක මන්ත‍්‍රීතුමා. ඔතන මනාප අර්බුදයක්නේ තියෙන්නේ. කුරුණෑගල ඇමැතිවරු තුන්දෙනා පුත්තලමට යද්දි එහේ මන්ත‍්‍රීවරුන්ට කතාකළාට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද කුරුණෑගල ඇමැතිවරුන්ට පුත්තලමෙන් ඡන්ද නැහැනේ. නමුත් කුරුණෑගල ඇමැතිවරු අපේ ආසනවලට එනකොට අපිට කියනවාද කියලා මෙයාලගෙන් අහන්නකෝ.’’අසංක කියදදී ආණ්ඩු පක්ෂ රැස්වීම සිනාහඩින් පිරී ගියේය. සිනා හඩ මැද්දේම අසංක තවදුරටත් කතාකරගෙන ගියේය. ‘‘මෙහේ ඇමැතිවරුත් අපේ ආසනවලට එද්දී අපිට කියන්නේ නැහැ. නමුත් පුත්තලමේ ඇමැතිවරු දෙන්නා අපේ ආසනවලට එනකොට අපිට අනිවාර්යයෙන්ම කතාකරනවා. ඕක නවත්වන්න බැහැ. ඒ නිසා ඕකට අපි රණ්ඩු කරගෙන වැඩක් නැහැ. ’’අසංකගේ කතාවෙන් ඇමැති දෙහිගමට රිදී තිබිණි. ‘‘හරි, හරි. එහෙනම් අපි මන්ත‍්‍රීවරුන්ට සල්ලි වෙන්කරලා දුන්නු ව්‍යාපෘතිවලටත් ඇමැතිවරු ගෙනල්ලා උත්සව තියන්න ලෑස්ති කරන්නකෝ. ඔයාලා එහෙම නම් අපිත් එහෙමයි. ’’දෙහිගම කීවේ එකට එක කරන ස්වභාවයකිනි.

ටිකිරි බණ්ඩාගේ දිව බොරු නොකියයි.

මහින්ද පිළත්, මෛත‍්‍රී පිළත් යන දෙපිළේම කකුල් තබාගෙන දවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලමක නිරත වී සිටින වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා සැබෑ ලෙසම පෙනී ඉන්නේ කොයි පැත්ත වෙනුවෙන්දැයි ඇගවෙන ආකාරයේ සිදුවීමක් පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදි දැකගත හැකි විය. එදින පළාත් සභා රැස්වීමේදී හදිසි සහ අත්‍යවශ්‍ය යෝජනා යටතේ විවාදයට ගැණුනේ උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් ෆෙඩරල් යෝජනාව හෙළාදැකිය යුතු බවට වූ යෝජනාවකි. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් අදාළ යෝජනාව පිළිබදව අදහස් දක්වාගෙන යද්දී ජවිපෙ මන්ත‍්‍රී නාමල් කරුණාරත්නගේ වාරයද එළැඹියේය. ‘‘මීලගට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා. ’’ටිකිරි බණ්ඩා මුලසුනේ සිට නාමල්ගේ නම නිවේදනය කළේ එලෙසිනි. ටිකිරි බණ්ඩාගේ ප‍්‍රකාශය අවසන් වනවාත් සමගම සභා ගැබ සිනාහඩින් පිරී ගිය අතර සිනාහඩ මැද්දේම නැගී සිටි නාමල් සිය කතාව ආරම්භ කළේය. සංවිධායකකම සහ සභාපතිකම රැකගැනීම පිණිස මෛත‍්‍රී පිලේ බව පෙන්නාගෙන සිටින නමුත් ටිකිරි බණ්ඩා තුළ තවමත් රජ කරන්නේ රාජපක්ෂලා බව අත්වැරදීමක ස්වරූපයෙන් එළියට පැන්න අදාල ප‍්‍රකාශය හරහා පැහැදිලිය. එය වඩාත් තහවුරු වන්නේ ටිකිරි බණ්ඩා විසින් මන්ත‍්‍රී නාමල් කරුණාරත්නගේ නම නාමල් රාජපක්ෂ යනුවෙන් මුලසුනේ සිට ආමන්ත‍්‍රණය කළ පළමු වතාවද මෙය නොවීමෙනි. ලියුම්කරුගේ මතකයේ හැටියට ටිකිරි බණ්ඩා විසින් මීට පෙර දෙවතාවකදී නාමල් කරුණාරත්නගේ නම නාමල් රාජපක්ෂ යනුවෙන් ආමන්ත‍්‍රණය කර තිබේ. යම් වරදක් නැවත නැවත සිදුවන්නේ නම් එය තවදුරටත් අත්වැරුද්දක් ලෙස හැදින්විය හැකි නොවන අතර නිතර නිතර සිදුවන එවැනි ‘අත්වැරදීම්වලට’පිරිසිදු සිංහලෙන් කියන්නේ කුමන්ත‍්‍රණ කියාය. !

උපුටාගැනීම – මව්බිම පුවත්පත- 2016 ජූනි 09 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article