Friday, May 3, 2024

ඉංජිනේරු මොළයකින් සැලසුම් වූ වාරියපොළ තරුණයා පැහැරගැනීමේ සුල මුල මෙන්න ! (FULL STORY)

Must read

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා දෙන ලෙසට ඉල්ලමින් නාදුනන පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත‍්‍රියේ වාරියපොළ ප‍්‍රදේශයේදී පැහැරගත් තරුණයා අද (15 දා ) අලුයම නිකවැරටිය ඔරලෝසු කණුව අසලදී නිරුපද්‍රිතව මුදාහැර ගොස් සිටියදී ඔහුගේ ඥාතීන් සහ පොලිසිය එක්ව සොයා ගනු ලැබීය.

මෙලෙස පැහැරගැනීමට ලක් වූයේ වාරියපොළ, මැල්වත්ත පාරේ තුන්වැනි පටුමගෙහි පදිංචි වී සිටි මොහොමඞ් සරුක් මොහොමඞ් ආසික් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

තම පියා විසින් වාරියපොළ නගරයේ පවත්වාගෙන යන නිව් සිටි ස්ටෝර්ස් නැමැති වෙළදසැලේ සිට රාත‍්‍රි ආහාරය රැගෙන යාමට පා පැදියකින් නිවස වෙත එමින් සිටියදී , සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය 13 වැනිදා රාත‍්‍රි 8.15 ට පමණ මෙම තරුණයා පැහැරගෙන ගොස් තිබේ. ඉන් විනාඩි පහළොවකට පමණ පසුව පැහැරගැණුනු තරුණයාගේ ජංගම දුරකථනයෙන්ම ඔහුගේ ඥාතීන් ඇමැතූ කප්පම්කරුවන් විසින් තරුණයා නිදහස් කිරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් අවශ්‍ය බවටත්, අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ දෙකක් අවශ්‍ය බවටත් ප‍්‍රකාශ කර තිබිණි. පසුව තරුණයාගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් රැගෙන එදින රාත‍්‍රියේ හංහමුණ ප‍්‍රදේශයට ගොස් ඇතත් තනි පුද්ගලයෙකු වෙනුවට පුද්ගලයින් පිරිසක් පැමිණි බවට දෝෂාරෝපණය කළ කප්පම්කරුවන් විසින් එම මුදල ලබානොගෙනම එතැනින් පලාගොස් තිබිණි.

ඉන් පසුව අවස්ථා කිහිපයකදීම තරුණයාගේ ඥාතීන් ඇමැතූ කප්පම්කරුවන් කෝටි දෙකක මුදල් අවශ්‍ය බවට යළි යළිත් ඉල්ලා තර්ජනය කර තිබිණි. මේ අතර කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි චරිත ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම තරුණයා පැහැරගැනීමේ සිදුවීමේ මහ මොළකරු බව කියන මාතර, ඌරුබොක්ක ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තරුණයෙකු ඊයේ (14 දා ) දහවල් වාරියපොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා 2013 වර්ෂයේදී මොරටුව විශ්ව විද්‍යාලයෙන් භූ තාක්ෂණය පිළිබද ඉංජිනේරු උපාධියක් ලබාගෙන ඇති උපාධිධාරියෙකු බවටද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. කොන්ත‍්‍රාත් පදනම යටතේ දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියෙහි ඉදිකිරීම්වලටද සම්බන්ධ වී ඇති සැකකරු එම ව්‍යාපෘතිය අවසන්වීමත් සමග ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක පසුව පිරමීඩ ක‍්‍රමයට මුදල් රැස්කිරීමේ සමාගමකට එක් වී ඇති බවද අනාවරණය වී තිබේ. සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව තරුණයා පැහැරගැනීමට යොදාගත් හයිබි‍්‍රඩ් වර්ගයේ මෝටර් රථයක් සහ පැහැරගැනීමට සම්බන්ධ බව කියන තවත් තරුණයෙකු ඊ‍යේ පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා වැල්ලව, ගෝනගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම ප‍්‍රදේශයේම ඇගලුම් කම්හලක වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අයෙකු බවද හෙළිව තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා විසින් හෙළිකළ තොරතුරුවලට අනුව පැහැරගැණුනු තරුණයා සගවා සිටි බව කියන නිකවැරටිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් කිරිදිගල්ල ප‍්‍රදේශයේ පිහිටි පාලු නිවසක් පොලිසිය විසින් ඊයේ පස්වරුවේ පොලිසිය විසින් වටලා ඇති අතර කප්පකම්කරුවන් විසින් ඒ වන විටත් තරුණයා එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගොස් තිබේ.

මේ අතර පොලිසියේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වූ තරුණයාගේ ඥාතීන් විසින් කෝටි දෙකක කප්පම් මුදල රුපියල් ලක්ෂ 85 ක් දක්වා අඩුකරගෙන ඇති අතර එම මුදල ලබාදීම සදහා තමන් එකග බවට කප්පම්කරුවන්ට දැනුම් දී ඇති තිබේ. එහිදී අදාල මුදල රැගෙන කුරුණෑගල වැව රවුමට පැමිණෙන ලෙස කප්පම්කරුවන් විසින් විසින් ඥාතීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ව්‍යාජ නෝට්ටු සහිතව සූදානම් කළ මුදල් බෑගයක්ද රැගෙන ඊයේ පස්වරු 5.30 ට පමණ තරුණයාගේ ඥාතීන් පිරිසක් කුරුණෑගල වැව රවුමට ගොස් ඇතත් රෑ බෝ වූවා වැඩි බව පවසමින් කප්පම්කරුවන් එම මුදල ලබාගැනීමට පැමිණීම ප‍්‍රතික්ෂේප කර තිබේ. එහිදී දුරකථනය ඔස්සේ තරුණයාගේ ඥාතීන් ඇමැතූ කප්පම්කරුවන් දැන් ආපසු යන ලෙසටත්, හෙට දිනයේදී එනම් අද උදෑසන 10.30 ට පමණ තමන් නැවත ඇමැතුමක් ලබාදෙන බවටත් ප‍්‍රකාශ කර තිබේ. කප්පම්කරුවන්ගේ ඇමැතුම බලාපොරොත්තුවෙන් සිටි ඥාතීන්ට අද අලුයම 4.30 ට පමණ ඔවුන්ගෙන් ඇමැතුමක් ලැබී ඇති අතර එහිදී තමන් විසින් පැහැර ගත් තරුණයා නිකවැරටිය නගරයේ ඔරලෝසු කණුව අසල දමා ගිය බව ප‍්‍රකාශ කර තිබේ. ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද සමග එහි ගිය තරුණයාගේ ඥාතීන් විසින් එහි සිටි තරුණයා නිවසට කැදවාගෙන පැමිණ තිබේ.

මෝටර් රථයකට දමා තමන්ගේ දෑස් බැද පාලු නිවසකට ගෙන ගිය බවත්, දින තුන පුරාම බිස්කට් හැර අන් කිසිවක් කෑමට නොදුන් බවත් පැහැරගැනීමට ලක් වූ මොහොමඩ් ආසික් තරුණයා විසින් පොලිසියට ප‍්‍රකාශ කර තිබේ. කප්පම්කරුවන් විසින් පිහියක් ගෙලට තබා තර්ජනය කිරීමේදී ඇති වූ බව කියන සීරුම් තුවාල දෙකක් ඔහුගේ ගෙලෙහි දැක ගත හැකි විය. මොහොමඩ් ආසික් තරුණයා අද දහවල් කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

තරුණයා පැහැරගැනීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබේ. දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සිව්දෙනා පිළිබද සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බවද පොලිසිය කියයි. මොවුන් කණ්ඩායමක් ලෙස එකට එකතු වී ඇත්තේ පිරමීඩ ජාවාරම හරහා බවත්, පිරමීඩ ජාවාරම හේතුවෙන් අහිමි වී ගිය මුදලක් යළි ලබාගැනීම සදහා මෙම පැහැරගැනීම සැලසුම් කර ඇතැයිද දැනට කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් කියයි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මෙහයවීමෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි චරිත ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ , වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මොහොමඩ් ආසික් තරුණයා  සහ ඔහුගේ ඥාතීන් සහකාර පොලිස් අධිකාරි චරිත ජයසුන්දර මහතා හමුවේ සිද්ධිය විස්තර කළ අයුරු.kidnaped_boy_3 kidnaped_boy_2 kidnaped_boy_1
පැහැරගැනීමට යොදාගත් මෝටර් රථයkidnaped_boy_4 kidnaped_boy_5 kidnaped_boy_6

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article