Sunday, May 5, 2024

කලපු අන්දර වලින් පිරුණ බිමක් සරුකළ කල්අඩිය ගොවීන්

Must read

46

කලපු අන්දර වලින් පිරී ගොස් තිබූ බිමක් සරුසාර කුඹුරක් බවට පත් කර එහි අස්වැන්න නෙලන්නට පුත්තලම – කල්අඩිය,මධුරගම ගොවීන් සමත්වී ඇත.

සෙල්ලන්කන්දල් රක්ෂිතයේ සිට කඩා වදින වන අලින්ගෙන් මධුරගම වැසියන්ට නිරත කරදර සිදු විය.මධුරගම ගමේ ජීවත් වන බහුතරයක් කුලී කම්කරුවන් වන අතර කීප දෙනෙකු පමණක් රජයේ සහ පුද්ගලික ආයතන වල සේවය කරමින් සිටින්නේය.

මධුරගම ගම්මානය තුළ ඇති මහසෙන් වැව යටතේ වගාවන් සිදු කෙරුනේම නැත.නමුත් වැවට පහලින් පිහිටි බිම අතීතයේදී කුඹුරු වගා කර ඇති බවට වන නටඹුන් පමණක් ඉතිරිව තිබුනේය.”අපි මේ කුඹුර ආයෙත් වගා කරමු”එක් තැනක වූ සතර කන්මන්ත්‍රණයක ප්‍රථිපලයක් ලෙස මධරගම ගමේ මහසෙන් ගොවි සංවිධානය බිහි වී ඇත.

අනතුරුව විවිධ දේශපාලකයින් මෙන්ම නිලධාරීන් පසුපස ගිය මහසෙන් ගොවි සංවිධානයේ නිලධාරීන් කුමන ආකාරයට හෝ වැව යම් තරමකට හෝ පිළිසකර කිරීමට කටයුතු කරන්නේය.එතෙක් ගමේ ජීවත් වන පිරිස් දිය නෑමට,ගවයින්ට ජලය පානය කිරීමට පමණක් යොදා ගත් වැව අහස් දියෙන් පිරී ගියේය.

ගොවි සංවිධාන නියෝජිතයින් එක්ව මුලින්ම සිදු කර ඇත්තේ පුරන් කුඹුරු යාය වසා ගෙන තිබූ කලපු අන්දර කැලෑව කපා ඉවත් කිරීමය.එය සිතූ තරම් පහසු කටයුත්තක් වී නැත.කලපු අන්දර හා ගැටුණු ගොවීන්ගේ ලේ,දහඩිය මෙන්ම කදුළුද මධුරගම පුරන් කුඹුරු යායට එකතු විය.

පුරන් බිමක් කුඹුරු යායක් බවට පත් කරමින් සිටින අතර තවත් කටයුත්තක් කරන්නට මහසෙන් ගොවි සංවිධානය කටයුතු කළේය.එනම් ගමේ පදිංචි 37 දෙනෙකුට කුඹුරු ඉඩම් සදහා බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.එතැන් සිට මෙම භූමිය තුළ අතුරු භෝග වගා කිරීම ඔවුන් කටයුතු කළේ වැවේ සිට කුඹුරු යායට ජලය ගෙන ඒමට ක්‍රමවේදයක් නොතිබුණු නිසාවෙනි.

මේ අතර ගොවීන්ගේ අප්‍රතිහත ධෛර්ය වටහා ගත් ජනසවිය – සෙඩෙක් ආයතනය ඔවුන්ට සහාය වීමට ඉදිරිපත් වී ඇත්තේ 2020 වර්ෂයේදීය.එම ආයතනය විසින් ක්‍රියාත්මක කරන”ඒකාබද්ධ මානව සංවර්ධන ව්‍යාපෘතිය” මගින් අවශ්‍ය සහාය ලබා දීමට තීරණය වී ඇත. ඒ අනුව ලැබී ඇති රුපියල් 76,000 ක මුදල ප්‍රයෝජනයට ගනිමින් මහසෙන් ගොවි සංවිධානයේ නිලධරීන් කුඹුරු යායට අවශ්‍ය ජලය ගෙන ඒම සදහා වන ඇල වේලි සකස් කර ඇත. පසුගිය කන්නයේ වැසි ලැබෙන්නට පෙර කැකුළමට වී වැපිරීමට ගොවීන් කටයුතු කර ඇත්තේ හා හා පුරා කියා ලොකු දෙයක් කිරීම අනතුරු දායක වීම නිසාය.

අතීතයේදී කලපු අන්දර වලින් ගහනව තිබූ අක්කර 27 ක භූමිය වර්තමානය වන විට කරළින් බර කුඹුරු යායක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය. කුඹුරු යායේ ඇතැම් ස්ථාන පුරන් වී ඇති බවක්ද දක්නට ඇත.වැවේ සිට කුඹුරු යායට අවශ්‍ය කරන ජලය සම්පාදනය කර ගැනීමට තමන් විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රමවේදයන් වල අඩුපාඩු ඊට හේතු බව අප කළ විමසීමකදී මහසෙන් ගොවි සංවිධානයේ ලේකම්වරිය කියා සිටියාය.”නිසි තාක්ෂණික සහායක් අපට ලැබෙන්නේ නම් මේ කුඹුරු යාය හොදට වගා කටයුතු කරන්න අපිට පුළුවන්”. ඇය තව දුරටත් කියා සිටියාය.

කුඹුරු යාය අස්වැද්දූ දින සිට ගොවීන් බොහෝ දෙනෙකු සිටියේ කුඹුරේය.වන අලින් ගම්වැදීම ඊට හේතු විය.මෙම කුඹුරු යාය හරහාද අවස්ථා කීපයකදී වන අලින් ගමන් කර ඇති බවට වන නටඹුන් අපට දක්නට ලැබුණි.කුඹුරු යායේ අටවා ඇති පැල් කොට වල අලි වෙඩි තිබෙන ආකාරයද ඊට නිදසුන් විය.

“අලින්ගෙන් අපිට ලොකු කරදරයක් නැහැ.ඉදලා හිටලා ඇවිත් යනවා.ඒත් මොනරුන් ගෙන් නම් පුදුම කරදරයක් තියෙන්නේ.හවස 4 – 5 විතර වෙන කොට මොනරු රංචු පිටින් කුඹුරු යායට ඇවිත් විනාශ කරනවා.දැන් බලා ගෙන යන කොට අලියා හොදයි කියලයි කියන්න වෙන්නේ.”ගොවියෙකු කියා සිටියේය.

අතීතයේදී කලපු අන්දර වලින් ගහනව තිබූ වර්තමානයේ සරු සාර කුඹුරු යායක් බවට පත්ව ඇති මෙම බිම සම්බන්ධයෙන්ද මේ වන විට ගැටළු කීපයක් පැන නැගී ඇති බව ගොවීන් සමග කළ කථා බහේදී අපට දැන ගැනීමට හැකි විය.මෙම කුඹුරු යාය සහිත බිම බලපත්‍ර මගින් ගොවීන්ට ලබා දෙනවාට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීණියක් තරයේ විරෝධය පල කර සිටීම එක් හේතුවක් වී ඇත.ඇය සතුව ඇති බව කියන නාම ලේඛණයකින් පිට වෙනත් කිසිවෙකුට කුඹුරු ඉඩම් වලට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට තමන් නිර්දේශ නොකරන බව ඇය තරයේ කියා සිටින බවද ගම්වාසීන් සදහන් කරයි.එම නිලධාරීණිය සතුව ඇති නාම ලේඛණයේ ගොවීන් නොවන විවිධ නීති විරෝධී ජාවාරම් වල නිරත පිරිස්ද සිටින බව ගම්මු කියා සිටී.

මේ අතර ප්‍රදේශයේ එක්තරා දේශපාලකයෙකුද මෙම කුඹුරු යායට ඇස ගසන්නට වර්තමානයේ පටන් ගෙන ඇති බවක්ද අසන්නට ඇත.කුඹුරු යායෙන් අක්කර 05 ක බිමක් තමන්ට අවශ්‍ය බව මෙම දේශපාලකයා පවසන බවත්,එසේ නොවන්නේ නම් කුමන ආකාරයට හෝ ගොවීන්ට වගා කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ඔහු පවසන්නේ යැයිද ගමවැසියෝ කියා සිටියේය.

අතීතයේදී මෙම බිම කලපු අන්දර වලින් වැසී ගොස් තිබියදී පෙර සදහන් රාජ්‍ය නිලධාරීනියට හෝ දේශපාලකයාට තන්හාවක් නොසිතුනේ මන්ද යන්න අපට නම් ගැටළුවක් වී ඇත.කලපු අන්දර වලින් වසා ගෙන පුරන් වෙමින් තිබූ කුඹුරු යාය අස්වැද්දීමට ඔවුන් යම් දායකත්වක් ලබා දුන්නා නම් කම් නැත.නමුත් ඒ වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොකර ගම්මු තම ලේ,කදුළු,දහඩිය මතින් කුඹුරු යායක් බවට පත් කළ බිමකට හිමිකම් කීමට ඔවුන් සුදානම් වන්නේ නම් එය අමනකමක්ම නොවන්නේද?

කුඹුරු යායේ අස්වැන්න නෙළන අවස්ථාට මධුරගම – 3 කණුව සිරි සුමනාරාධිපති පුජ්‍ය සියඹලෑවේ සිරිසුමන හිමියන් සහ ජනසවිය – සෙඩෙක් ආයතනේ අධ්‍යක්ෂක ලූක් නෙල්සන් පියතුමන්ද සහභාගි වී සිටියේය.කුඹුරු යායේ අස්වැන්න නෙලීම පෙර සිරිත් විරිත් අනුව සිදු කිරීමට ගොවීන් කටයුතු කර තිබීමද විශේෂත්වයකි.වර්තමානයේ මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා නොකර මිනිස් ශ්‍රමයෙන් අස්වනු නෙලීම සිදු කරන ලදි.ඒ පුරාණ චාරිත්‍ර – වාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුවය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද අස්වනු නෙලීම ආරම්භ විය.ගෙවිලියන් ගොයම් කවි කියමින් අස්වනු නෙළන ගොවීන් දිරි ගන්වන ආකාරය ප්‍රදේශයේ පෙර පාසලක දරු දැරියන් අපූරුවට බලා සිටියේය.වර්තමානයේ දක්නට නොමැති නියර දිගේ ඇඹුල හිස මත තබා ගෙන කුඹුරු යායට ගෙවිලියන් පැමිනෙන ආකාරයද මනස්කාන්ත දසුනක් විය.

“කුඹුරු වගා කරන කොට ඇති අඩු පාඩු අපි හදුනා ගත්තා.ලබන කන්නයේදී අපි ඒ අඩුපාඩු හදාගෙන සරු සාර කුඹුරක් වගා කරන්න තමයි සුදානම.ලබන කන්නයේදී දේශීය සහල් කාබනික පොහොර භාවිතා කරමින් කිසිදු කෘමි නාශකයක් යොදා ගැනීමකින් තොරව කරන්න තමයි දැනට සැළසුම් කරලා තියෙන්නේ.ඒ විතරක් නෙමෙයි අතීතයේදී කුඹුරු වගා කිරීමට ගත්ත උපකරණ අපි මේ වන විට නැවත සකස් කරමින් සිටිනවා.අපි අදහස් කරලා තියෙන්නේ කුඹුර අස්වද්ද අවස්ථාවේ සිට ප්‍රදේශයේ පාසල් වල දරුවන් ගෙන්වලා ඔවුන් දැණුවත් කිරීමේ වැඩ සටහනක්ද කරන්න.ඒ සියල්ල කරන්න ඉස්සර වෙලා අපිට තියන ගැටළු ටික විසදා ගන්න ඕනේ.ඒ කටයුත්තට සහාය දෙන්න කියලා දේශපාලන අධිකාරියෙන් වගේම රාජ්‍ය නිලධාරීන්ගෙන්ද ඉල්ලා සිටිනවා.”මහසෙන් ගොවි සංවිධානයේ ලේකම්වරිය අප සමග කියා සිටියාය.


ජුඩ් සමන්ත.

 

53 51 31 22(2) 26(1) 28 20(1) 15 12 09(2)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article