ධීවර රස්සාවට ගිය පවුලකට මුහුණදිමට සිදුවූ අවසානාවන්ත සිදුවීමක් පිලිබඳව ඊයේ (11) කල්පිටියෙන් වාර්තා විය. කලපුවට මසුන් ඇල්ලීම සඳහා ගිය තෙප්පම පෙරලී කුඩා දරුවෙක් සහ දැරිවියක් කලපුවට වැටී අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ අතර තවත් එක් සාමාජිකයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ. පසුගිය කාලය තුළ ධිවර රැකියාව සඳහා මුහුදු ගිය ධීවරයින් කිහිප දෙනෙකුටම ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවිය. කල්පිටිය සිදුවීමද ධීවර කර්මමාන්තය තුළ ධීවරයින්ට මුහුණ දීමට සිදුව ඇති ඛේදවාචකයේ තවත් එක් හරස්කඩකි. පහත පළවන්නේ ඉයේ කල්පිටියේදී ධීවර පවුලකට මුහුණදීමට සිදුවූ ශෝචනීය කතාවයි.


මේ දිනවල පවතින වාරකන් සමයත් සමග ධීවර කර්මාන්තය සදහා මුහුදු හෝ කළපු නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුවත්,අපදා කළමණාකරණ ඒකකයත් නිරන්තර මාධ්‍ය මගින් දැණුම් දීම් කරති.නමුත් බොහෝ ධීවරයින් ඒ අවවදාත්මක නිවේදන තුට්ටුවකටවත් මායිම් නොකරතති.වාරකන් සමය වුවත් අඹු – දරුවන්ගේ කුස ගින්න නිවා දැමීම සදහා කීයක් හෝ හොයා ගැනීම සදහා මසුන් මරන්නට ඔවුන් මුහුදට හෝ කලපුවට යති.
සුළු පනන ධිවරයින් මුහුදේ හෝ කලපුවේ මසුන් මැරීම සදහා යාත්‍රා වර්ග තුනක් යොදා ගනිති.පිටත ඇන්ජිම සවි කරන ලද ඩිංගි බෝට්ටුව,එසේත් නැත්නම් ඔරුව හෝ තෙප්පම හෙවත් වල්ලම ඔවුන් භාවිතා කරන ධීවර යාත්‍රා වේ.ඒ අතරින් ගැඹුරු මුහුදේදී හෝ කලපුවේදී තෙප්පම හෙවත් වල්ලම අනතුරට පත් නොවන බවට ධීවරයින්ගේ මතකයක් ඇත.කෙසේ වෙතත් කුඩා පරිමාණ යේ ධීවරයින් බහුතරයක් මසුන් මැරීම සදහා භාවිතා කරන ධීවර යාත්‍රාව තෙප්පම හෙවත් වල්ලමය.ඒ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නිසා වන්නට ඇති.
කල්පිටිය – කුරක්කන්හේන,තැඹිලිවත්ත පදිංචි මයිකල් ජෝෂප් සුජිත් අසංක (අවු:24) එක් දරු පියෙකි.ඔහුගේ එකම ජීවන වෘත්තිය වී ඇත්තේ කල්පිටිය කලපුවේ මසුන් මැරීමය.
ඉකුත් 11 වැනිදා පෙරවරුවේ කල්පිටිය කලපුවේ ගොඩෑපිටිය දූපත ආසන්නයෙන් සුජිත් අසංක දැල් එලා දැමුවේ කිසියම් මසුන් ප්‍රමාණයක් අල්ලා ගන්නා අදහසිනි.ඔවුන් පදිංචි කුරක්කන්හේන ගම්මනයේ තොටුපලේ සිට සැතපුම් 02 ක් පමණ දුරකින් කලපුව මැද ඇති ගොඩෑපිටිය දූපත හොර ජාවාරම් සදහා ප්‍රසිද්ධ ස්ථානයකි.බොහෝ ජාවාරම්කරුවන් මුහුදු මගින් ගෙන එන බීඩි කොළ ඇතුළු බොහෝ දෑ ගොඩබිමට ගෙන ඒමට අවස්ථාව ලැබෙන තුරු සගවා තබා ගන්නේ ගොඩෑපිටිය දූපතේ බව ආරක්ෂක අංශද දනිති.ඒ නිසාම නාවුක හමුදාව සහ පොලීසිය මෙම දූපත දෙස ඇස ගසා ගෙන සිටින බවද නොරහසකි.මේ නිසාම ධීවරයින් බොහෝ දෙනෙකු ගොඩෑපිටිය දූපත ආසන්නයට රැකියාවන් සදහා නොයන බවද කියති.
අනිත් කාරණය වන්නේ ගොඩෑපිටිය දූපත ආසන්න කලපුව වෙනත් ස්ථාන වලට වඩා ගැඹුරකින් යුක්ත වීමය.
කෙසේ වෙතත් සුජිත් අසංක එදා දැල් එලන්නට තෝරා ගත්තේ ගොඩෑපිටිය දූපත ආසන්න ස්ථානයකි.ඒ කුමන හේතුවක් නිසාද යන්න නොදන්නා කරුණකි.
සවස 4.00 ට පමණ සුජිත් තමන් පෙරවරුවේ කලපුවේ එලන ලද දැල් බේරා ගෙන ඊට අසුවී ඇති මසුන් රැගෙන යාම සදහා පිටත් වන්නට සුදානම් විය. වෙනත් කිසිදු දිනක නොවන ආකාරයට ඒ ගමනට සුජිත්ගේ බිරිද වන මාරසිංහ අප්පුහාමිලාගේ සදමාලි අප්සරා ද එක් විය. “මේ හුළං මැද්දේ ඔයාට තනිවම දැල් බේරන්න බැහැැ.මමත් උදව්වට එන්නම්”.ඇය තම සැමියා වන සුජිත්ට කියා සිටියාය.
ඒ වන විට සුජිත්ගේ නැගණිය වන වයස අවුරුදු 13 ක් වන අමල්කා සෙව්වන්දිද ඔවුන්ගේ නිවසට පැමිණ සිටියාය.ඇය කල්පිටිය – කුරිංඥංපිටිය මහා විද්‍යාලයේ 7 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටියාය.මේ දිනවල පාසල් නිවාඩු නිසා අවස්ථාව ලැබෙන සෑම මොහොතකම ඇය සිටියේ තම සහෝදරයා වන සුජිත්ගේ නිවසේය.ඒ තම සහෝදරයා වූ සුජිත්ගේ එකම දරුවා වන කුරක්කන්හේන කනිටු විද්‍යාලයේ 03 වන වසර ඉගෙණුම ලබන වසය අවුරුදු 07 ක් වන අමෝද්‍ය සත්සර සමග කෙළි දෙළින් ගත කිරීම සදහාය.
“අපිත් කලපු යමුද මාළු බේරන්න”.දරුවන් දෙන්නාගෙන් එක් අයෙකු යෝජනා කළේය. මුලින් සුජිත් ඊට අකමැත්ත පළ කර ඇත.ඒ පවතින සුළං තත්ත්වය නිසාය.නමුත් දරුවාගේත්,නැගණියගේත් බිරිදගේත් ඉල්ලීම ඉටු නොකර සිටින්නට ඔහුට නොහැකි විය.ඒ නිසා සිව් දෙනාම කුරක්කන්හේන තොටුපලෙන් වල්ලමට නැගී ගොඩෑපිටිය දූපත ආසන්නට ගමන් කරන්නට විය.
ගොඩෑපිටිය දූපත ආසන්නයේදීම එක්වර හමා ගිය දැඩි සුළගකට හසුවූ වල්ලම පෙරළී ගියේය.වල්ලම පදවමින් සිටි සුජිත්ට කරකියා ගත හැකි දෙයක් නොහැකි විය.ඒ වන විට ගොඩෑපිටිය දූපත ආසන්නයේ කිසිවෙකු ධීවර රැකියාවේ නිරත වෙමින් නොසිටීම ඔවුන්ගේ අවාසනාවට තවත් හේතුවක් විය.
ඒ අතර තුර සවස 5.00 ට පමණ කුරක්කන්හේන ගමේ පදිංචි ආසිරි නම් ධීවරයා තවත් අයෙකු සමග කලපුවට පිටත්ව ගියේද මසුන් මරන්නටය. ගොඩෑපිටිය දූපත ආසන්නයේ පෙරළී ගිය වල්ලමක් දැක ඇති ඔවුන් තමන් පැමිණි කාරණය පසෙක දමා ඒ දෙසට තම යාත්‍රාව පදවා ඇත.පෙරළී ගිය යාත්‍රාව අවට සෝදිසි කරන විට එහි ගමන් කරමින් සිට අනතුරට පත්ව ඇති සුජිත් සහ ඔහුගේ පවුලේ අයව සොයා ගන්නට ආසිරිට සහ ඔහුගේ සගයාට හැකි විය.ඔවුන් සියළුම දෙනා තමන්ගේ යාත්‍රාවට ගොඩ කර ගත් ආසිරි කඩිනමින් යාත්‍රාව පදවා ගෙන ගියේ කල්පිටිය රෝහල ආසන්නයේ ඇති තොටුපල වෙතය.
අනතුරට පත්ව සිට සිව් දෙනාව එම අවස්ථාවේදීම ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.නමුත් ඒ වන විටත් කුඩා අමෝද්‍ය සහ අමල්කා දෙව්මව් සැපත සොයා ගොස් සිටියාය.බරපතල තත්ත්වයේ පසුවූ සුජිත්ව වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවීමට කල්පිටිය දිසා රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කරන ලදි.බරපතල තත්ත්වයේ පසු නොවූ සදමාලි අප්සරා තවමත් කල්පිටිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මිය ගොස් ඇති දරුවන්ගේ මරණය සම්බන්ධයෙන් මූලික නිරීක්ෂණ කටයුතු කල්පිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එම්.ආර්.එම්.ඉල්හාම් මහතා විසින් කල්පිටිය රෝහලේදී සිදු කරන ලදි. මරණයට පත්ව ඇති දරුවන්ගේ සිරුර පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසද හදිසි මරණ පරීක්ෂකවරයා කල්පිටිය පොලීසියට මෙහිදී නියම කළේය.
කල්පිටිය පොලීසියේ පොලිස් සැරයන් 27518 සිරිල් මහතා විසින් වැඩිදුර විමර්ශණ කරගෙන යයි.
ජුඩ් සමන්ත







