Sunday, May 19, 2024

පුත්තලමේ දී දූෂණයට ලක්කොට මරාදැමූ දියණියට උප්පැන්න සහතිකයවත් තිබී නැහැ

Must read

400

දස හැවිරිදි දැරිවියක් දුෂණය කර මිය යාමට සැළැස්වූ බව කියන සැකකරුවෙකුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු එන්.සිල්වා මහතා පුත්තලම පොලීසියට නියෝග කළේය. ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම – කුරුණෑගල මාර්ගයේ පොල් වත්තක තාවකාලිකව පදිංචිව සිටි නෙත්තසිංහ ආරච්චිලාගේ නෙතුරි සේපාලිකා වාසල නම්වූ දස හැවිරිදි දැරිවියකි.

ඝාතනයට ලක්ව ඇති දැරිවිය තම මව සහ සුළු පියා සමග පොල් වත්තේ මුර මඩුගේ නවාතැන සිට ඇත.

පසුගිය 16 වැනිදා අධික රුධිර වහනය හේතුවෙන් දැරිවිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් තිබී ඇත. දැරිවියගේ මව පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් හමුවේ පවසා ඇත්තේ විෂ සතෙකු දියණියට දෂ්ඨ කර ඇති බවයි.නමුත් මරණය සම්බන්ධයෙන් සැක පළ කර ඇති වෛද්‍යවරුන් ඒ බව පුත්තලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

ඒ අනුව පුත්තලම පොලීසියේ අපරාධ විමර්ශණ අංශය විසින් පුත්තලම අතිරේක දිසා විනිසුරුවරයා වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.අතිරේක දිසා විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුජීව වික්‍රමාරච්චි මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදි.එහිදී අනාවරණය වී ඇත්තේ මිය ගොස් ඇති දැරිවියගේ ලිංගික ප්‍රදේශයට මොට බලයක් ප්‍රවිශ්ඨ කිරීම හේතුවෙන් සිදුවී ඇති  සීරීම් සහ තුවාල නිසා අධික රුධිර වහනය සිදුවීමෙන් මරණය සිදුවී ඇති බවය.

ඒ අනුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ පුත්තලම අතිරේක දිසා විනිසුරු ලහිරු එන් සිල්වා මහතා ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරන ලදි.දැරිවියගේ සිරුරෙන් ලබා ගත් කොටස් සහ ඇය පදිංචිව සිටි නිවසේ තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබූ රුධිරය තැවරුණු ඇදුම් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙසද අතිරේක දිසා විනිසුරුවරයා විසින් නියම කර ඇත.

සිද්ධිය වූ 15 වැනිදා රාත්‍රී කාලයේ තමන් අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටතට ගිය බවත්,ආපසු පැමිනෙන විට දැරිවිය රුධිර වහන වෙමින් සිටි නමුත් අනියම් සැමියාගේ තර්ජනය හේතුවෙන් ඇය රෝහල් ගත කිරීමක් නොකළ බවද මිය ගොස් ඇති දැරිවියගේ මව පොලීසිය හමුවේ පසුව පවසා ඇත.පසු දින දැරිවිය රෝහලට රැගෙන යාම සදහා ත්‍රී රෝද රථයක් රැගෙන ඒමට යැයි පවසා නිවසින් පිටත්ව ගිය අනියම් සැමියා නැවත නොපැමිණි බවද ඇය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මිය ගොස් ඇති දැරිවියට උප්පැන්න සහතිකයක් හෝ නොමැති බවත්,ඇය කිසිදු දිනක පාසල් ගොස් නොමැති බවද පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත.

ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති සැකකරු සොයා පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පුත්තලම පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.කුමාරදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්හණ කටයුතු කරගෙන යයි.    01(7) 03(5)


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article