Sunday, May 19, 2024

මදුරන්කුලිය – තොඩුවාව මාර්ගය අවට පරිසර විනාශයක්

Must read

DSC02535

පුත්තලම,මදුරන්කුලිය – තොඩුවාව මාර්ගය දෙපස සිදු කරන අක්‍රමවත් කසල බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය තුළ පාරිසරික ගැටළු රැසක් මතු වන්නට පටන් ගෙන ඇත.

මෙම කසල බැහැර කිරීම හේතුවෙන් හැමිල්ටන් ඇල ඉව්රේ ඇති කඩොලාන පද්ධතියටද හානි සිදු වෙමින් පවතින බවක් දක්නට ඇත.

දිරා යන මෙන්ම දිරා නොයන අප ද්‍රව්‍ය රැසක්ද කිසිදු ක්‍රමවේදයකින් තොර මෙම ප්‍රදේශය තුළ බැහැර කර ඇති ආකාරයක් දක්නට ඇත.ප්ලාස්ටික්,සත්ත්ව කොටස්,භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් උපකරණ කොටස්, මෙන්ම ජංගම දුරකතන වලින් ඉවත දමන වියලි කෝෂද විවිධ පුද්ගයින් විසින් ගෙනවිත් දමා ඇති දේ අතර වේ.

පවතින තත්ත්වය නිසා හැමිල්ටන් ඇල තුළ මසුන් මැරීමේ නිරත වන තමන්ගේ වෘත්තීයටද ගැටළු මතු වෙමින් පවතින බව එම ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරති.එමෙන්ම මෙසේ කිසියම් පිරිස් විසින් බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් හැමිල්ටන් ඇල ආසන්නයේ ඇති කඩොලාන පද්ධතියද විනාශ වීමේ තර්ජනයක් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.යම් ආකාරයට මෙම කඩොලාන පද්ධතියට හානි සිදු වුවහොත් හැමිල්ටන් ඇල තුළ මසුන්, කකුකුළුවන් මෙන්ම ඉස්සන් බෝවීමටද එය ඉවහල් වන බවද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම බැහැර කර ඇති කැලි කසල වලින් හමා යන දුගද හේතුවෙන් මදුරන්කුලිය – තොඩුවාව මාර්ගයේ ගමන් කිරීමටද නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී ඇත.DSC02523 DSC02550

වැසි කාලයේදී හැමිල්ටන් ඇල ජලයෙන් පිරී පිටාර ගැලා යාම සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවකි.ඉදිරි වැසි සමග හැමිල්ටන් ඇල පිටාර ගලා ගියහොත් බැහැර කර ඇති කැලි කසල අවට ගම්මාන වලට ගසා ගෙන යාමද වැලැක්වීමට කිසිවෙකුට නොහැකි වනවා ඇත.එවිටද විශාල පාරිසරික හානියක් සිදුවීමට ඉඩ ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

කල්පිටිය ප්‍රාදේශීය සභා බල සීමාවට ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ අගයක් ගන්නා මෙම ප්‍රදේශය රැක ගැනීම වගකිව යුතු අංශ වල දැඩි වගකීමක්ද වන්නේය.

පවතින තත්ත්වයට කඩිනමින් පිළියමක් නොකළ හොත් ඉදිරියේදී දැවැන්ත පාරිසරික හානියක් ප්‍රදේශය තුළ සිදු වීමට ඉඩ ඇති බවද එම ප්‍රදේශයේ ජනතාව මෙන්ම පරිසරවේදීන්ද පෙන්වා දෙයි.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article