Saturday, May 4, 2024

ලෝකයම එරෙහි වෙද්දීත් නොසැලුණු දෙහිගම බැසිල්ගේ ලේකම් සභාපති පුටුවේ ඉන්දවයි.

Must read

ayg_2017_02_17alg_july_7_4වයඹට ලැබෙන – නොලැබුණු දේවල් ගැන ජනපති කතා කරයි.

උත්සව සහ විවෘත කිරීම් කිහිපයක් සදහා ජනපති මෛත‍්‍රී කුරුණෑගලට ආවේ පසුගිය ඉරිදාය. කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි ඇමැති නාවින්නගේ අමාත්‍යංශ ගොඩනැගිල්ල වෙත පළමුව ගිය ජනපති එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය කාර්යාල ද්විත්වය විවෘත කළේය. අනතුරුව ඒ ආසන්නයේම ඉදි වූ වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශ නව ගොඩනැගිල්ල වූ ගොවි ගෙදරද ජනපති අතින් විවෘත විය. කුරුණෑගල වැව රවුම පාරිසරික කලාපයේදී වයඹ පළාත් සභාවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු ‘‘හරිත සිහිනය’’පාරිසරික සහ අධ්‍යාපනික ප‍්‍රදර්ශණය විවෘත කෙරුණේද ජනපති මෛත‍්‍රීගේ අතිනි. එහිදී පැවැති ජන හමුව ඇමැතූ ජනාධිපතිවරයා කුරුණෑගලට වසර ගණනක් තිස්සේ වයඹට මග හැරුණු දේ ගැන මෙන්ම නව රජය යටතේ වයඹට ලැබෙන දේවල් ගැනත් කතා කරන්නට අමතක නොකළේය. ‘‘අද උදෑසන කුරුණෑගල නගරයට ඇවිල්ලා , වැදගත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බව ඔබ දන්නවා. එස්. බී. නාවින්න මැතිතුමාගේ අමාත්‍යංශයේදී එතුමාගේ නායකත්වයෙන්, වයඹට විතරක් නෙවෙයි, අනුරාධපුර, පොළොන්නරුව, රජරට, උතුරුමැද, නැගෙනහිර, උතුර ඒ සියලු ප‍්‍රදේශවල ජනතාවට ඉතාමත් ඉහළ සේවාවක් ඉටුවෙන විදේශ ගමන් බලපත‍්‍ර කුරුණෑගලින් නිකුත්කිරීමේ කාර්යාලය අද අපි විවෘත කළා. ඒ වගේම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැදුනුම්පත් නිකුත්කිරීමේ කාර්යාලයත් අද උදෑසන විවෘත කළා. සමහර අය කියනවා ආණ්ඩුව මොකුත් කරන්නේ නෑ කියලා. දැන් අද උදේ විවෘත කරපු කාර්යාල දෙකම මීට අවුරුදු විසි පහකට, තිහකට, හතළිහකට කලින් විවෘත කරන්න තිබුණු ඒවා. උතුරු, නැගෙනහිර, වයඹ ඒ සියලුදෙනා විදේශ ගමන් බලපත‍්‍ර ගන්න යන්නේ කොළඹට. හුගක්ම යන්නේ දුප්පත් මිනිස්සු. විදේශ රැකියාවලට යන අය. නමුත් අවුරුදු හතළිහක්, පනහක් තිස්සේ කළ යුතුව තිබූ දෙයක් තමයි අද නාවින්න ඇමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කළේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැදුනුම්පත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් නිකුත් කළත් ඒ අයදුම්පත කොළඹට ගිහින් එහෙම තමයි එන්නේ. නමුත් දැන් ඒක මේක කාර්යාලයෙන්ම දෙනවා. ආපහු කොළඹ යන්න ඕනෑ නැහැ.’’ජනපති කීවේය. අනතුරුව මෛත‍්‍රී කීවේ කුරුණෑගලට ලැබීමට යන දේවල් ගැනය. ‘‘අපි හෙට දිනයේදී වයඹ ජනතාවගේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක්, දුක්මුසු කතාවක්, කදුඵ පිරුණු කතාවක්, වයඹට ජලය ඉල්ලා හඩන කතාවක නිමාව සටහන් කරනවා. මොරගහකන්ද ජලාශය සමග එන ජලය, විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ , උතුරු පළාතේ වැව්, ඇළදොළ, ගංගා ඉදිරි කාලයේදී ජලයෙන් තෙත්කිරීම සදහා අපි හෙට වයඹට ජලය යෝධ ව්‍යාපෘතිය ආරම්භ කරනවා.’’ ජනපති කියද්දී කුරුණෑගල වැව රවුම අත්පොළසන් හඩින් පිරී ගියේය.

දෙහිගම පාලනය යටතේ වයඹ ප‍්‍රවාහන අධිකාරියට තුන්වැනි සභාපතිවරයාත් එයි.

වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය තුළ තවත් අර්බුදයකට පණදෙමින් එහි සභාපති සම්පත් දේශාන් වර්ණපුර සහ ඇමැති ගුණදාස දෙහිගම අතර අස්වීමේ සහ අස්කිරීමේ තරගයක් ඇතිව තිබූ අයුරු පසුගිය සතියේදී අඵ යට ගිනි පිටුවෙන් හෙළිකෙරිණි. කෙසේ නමුත් එම තරගයෙන් සභාපති සම්පත්ට තියුණු ජයග‍්‍රහණයක් ලැබී තිබුණේ සම්පත් තනතුරෙන් පහකළ බව සදහන් කරමින් ඇමැති දෙහිගම විසින් නිකුත් කළ ලිපියට වඩා සම්පත් විසින් සකස්කළ ඉල්ලා අස්වීමේ ලිපිය ඉක්මනින් තැපෑලට වැටී තිබීම හේතුවෙනි. එලෙස පුරප්පාඩු වූ වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති පුටුව සදහා අයෙකු පත්කිරීම වෙනුවෙන් ඇමැති දෙහිගම විසින් ගෙන තිබූ එක්තරා තීන්දුවක් පසුගිය සතියේදී වයඹ දේශපාලනය තුළ මහත් කැලඹීමක් ඇති කරන්නට සමත් වී තිබිණි. ඇමැති දෙහිගම විසින් අදාළ තනතුර සදහා පත්කිරීමට යෝජනා කර තිබුණේ ප‍්‍රභාත් විමල් කුමාර ගේ නමය. ප‍්‍රභාත් පසුගිය රජය සමයේදී බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අයෙකුවීම හේතුවෙන් ඇමැති දෙහිගම විසින් ගන්නට යන එම තීන්දුව වයඹ දේශපාලන පොර පිටියේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම සලිත කරවීමට සමත් වී තිබිණි. වයඹ පළාත් සභාවේ ඇතැම් මැති ඇමැතිවරුන් මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන මැති ඇමැතිවරුනුත් පක්ෂ විපක්ෂ භේද පවා අමතක කරමින් දෙහිගම විසින් සිදුකිරීමට යන අදාළ පත්වීමට එරෙහිව එක සේ අවි අමෝරා ඇති බව අඵ යට ගිනි වෙත ලැබෙන තොරතුරුවලින් කියැවෙයි. තම ඇමැති බලතල පාවිච්චි කරමින් දෙහිගම විසින් වයඹ ප‍්‍රවාහන අධිකාරිය භාරදීමට යන ප‍්‍රභාත්ට එරෙහිව වයඹින් නැගුනු කැරැල්ල කොළඹ ජනාධිපති මන්දිරය දක්වාම දුරදිග ගිය බවද කියැවෙයි. එවැනි තත්වයක් තුළ අදාල පත්වීමට එරෙහිව රටේ මෙන්ම පළාතේ ඉහළම තැන්වලින් නියෝග සහ උපදෙස් වැළක්ම ඇමැති දෙහිගම වෙත ගලා ආ බවද වාර්තා වෙයි. කෙසේ නමුත් ඒ සියලූ උපදෙස්, නියෝග සහ බලපෑම් පිළිබද තඹ දොයිතුවකට හෝ මායිම් නොකළ දෙහිගම තම තීන්දුව එපරිද්දෙන්ම ක‍්‍රියාත්මක කිරීමට පසුගිය සතියේදී වගබලාගෙන තිබිණි. ඒ අනුව ඇමැති දෙහිගම විසින් වයඹ මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය භාරගෙන වසර දෙකකට නොවැඩි කාල සීමාව තුළ එම අධිකාරියට පත් කළ තෙවැනි සභාපතිවරයා ලෙසට ප‍්‍රභාත් විමල් කුමාර පසුගියදා වැඩ භාරගත්තේය.

ඇමැති සියඹලාපිටියගේ මුල්ගලට පිටියකන්දේ ගම්මු හරස්වෙති.

මාවතගම, පිටියකන්ද ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තිරසාර ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු කම්හලක් සදහා මුල්ගල් තැබීමට පැමිණි විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටියට ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාවයකට මැදිවන්නට සිදුවූයේ පසුගිය ඉරිදාය. ශ‍්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති නිෂ්පාදනය සහ ජෛව ශක්ති තාක්ෂණයන් ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත මෙම කර්මාන්ත ශාලාව සදහා මුල්ගල් තැබීමට ඇමැති සියඹලාපිටිය පැමිණෙන බව දැනගත් ප‍්‍රදේශවාසීහු එදින දිවා කාලයේ සිටම එම කම්හල් භූමිය ඉදිරිපිට මහපාරට වී මග රැකගෙන සිටියහ. වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවන් වන නමුත් මාවතගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මොහොමඩ් රිෆාල් මෙන්ම හිටපු සභාපතිවරයෙකු වන ආර්. බී. දිසානයක දෙපළක් ගම්මුන් සමග එක්ව විරෝධයට එක් වී සිටීම විශේෂත්වයක් විය. ඇමැති සියඹලාපිටිය මුල්ගල් තැබීමේ උත්සවයට පැමිණ තිබුණේ තනිවම නොව මාවතගම එජාප සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලත් කැදවාගෙනය. මැති ඇමැතිවරුන් රැගත් වාහන පෙළට කම්හල් භූමියට ඇතුලුවන්නට ඉඩනොදුන් ගම්මුන් වාහනවලට මග හරස්කර මැති ඇමැතිවරුන් දෙපළ වාහනවලින් බිමට බස්සවා ගත්හ. ගම්මානයට යාබදව ඉදිකෙරෙන මෙම කම්හල හේතුවෙන් ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර සිදී යන බවටත්, පරිසර දූෂණයක් සිදුවන බවත් කී ගම්වාසීහු තමන්ට දැන් ගම්බිම් හැරදමා යන්නට සිදු වී ඇතැයි කියමින් චෝදනා වැළකින්ම ඇමැති සියඹලිපිටියට දමා ගැසූහ. ප‍්‍රදේශවාසින් අස්වසමින් කරුණු පැහැදිලි කළ ඇමැති සියඹලාපිටිය කීවේ එම කම්හලෙන් සිදුකෙරෙන්නේ ගිනිසීරියා, රබර්, පොල්පිති වැනි දැවමය කොටස් කුඩු කර චිප්ස් වර්ගයක් නිපදවීම පමණක් වන බවය. ඒ සදහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් යොදා නොගන්නා බවත්, කම්හලෙහි සවිකරන්නේ දැව ඇඹරුම් යන්ත‍්‍රයක් පමණක් බවත් කී ඇමැති සියඹලාපිටිය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන මෙම කම්හල හේතුවෙන් ජල මූලාශ‍්‍රවලට හෝ පරිසරයට කිසිදු හානියක් නොවන බවට ජනතාවට සහතිකයක්ද දුන්නේය. එලෙස කරුණු පැහැදිලි කර දුන් ඇමැති සියඹලාපිටිය මුල්ගල් තැබීම සදහා එක්වන ලෙස ගම්මුන්ට ඇරයුම් කළ නමුත් එය ප‍්‍රතික්ෂේප කළ ගම්වාසීහු කම්හලේ පිවිසුම් දොරටුව අසල රැදී අඛණ්ඩවම විරෝධතාවයේ යෙදී සිටියහ. ගම්වාසීන්ගේ විරෝධය මධ්‍යයේම මන්ත‍්‍රී අලවතුවලද සමග කම්හල සදහා මුල්ගල් තැබූ ඇමැති සියඹලාපිටිය එහි සිහිවටන පුවරුවද නිරාවරණය කළේය. ඉන් අනතුරුව ප‍්‍රදේශවාසීන් රැස්ව සිටි ස්ථානය වෙත නැවත ගිය ඇමැති සියඹලාපිටිය ජනතාවට නිසිපරිදි කරුණු අවබෝධ කර දී ඔවුන් සමග එකගත්වයකට පැමිණෙන තෙක් කම්හලෙහි ඉදිකිරීම් අත්හිටුවන ලෙසට එහි හිමිකාරිත්වය දරණ සමාගම නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරින්ට නියෝග කළ අතර විරෝධයේ යෙදුණු ජනතාව එම තීන්දුව පිළිගත්තේ අත්පොළසන් හඩ නගමිනි. අදාළ ගැටලුව පිළිබද ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සාකච්ඡාවට ගෙන තීරණයක් ගන්නා ලෙසට ඇමැති සියඹලාපිටිය විසින් මන්ත‍්‍රී අලවතුවල වෙතද වගකීමක් පැවැරීය. අනතුරුව මැති ඇමැති දෙපළ එම ස්ථානයෙන් පිට වී ගිය අතර ඒ සමගම විරෝධතාවය අවසන් කළ ගම්මුන්ද සිය නිවෙස් බලා ගියහ. අමාත්‍යවරයාගේ නික්මයාමත් සමග තාවකාලික කුඩාරම් ඉදිකර, වේදිකා තනා, අසුන් පනවා, සැරසිලි සහ සංග‍්‍රහයන් සූදානම් කර, විශාල වියදමක් දරමින් එම ස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ උත්සව සභාවද අවලංගු කර දැමීමට එහි සංවිධායකයින්ට සිදුවිය. ඒ හේතුවෙන් උත්සවය සදහා ඇරයුම් ලබා එහි පැමිණ සිටි කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න ඇතුලු රාජ්‍ය නිලධාරින්ට සිදුවූයේ තේ කෝප්පයක් බී ආපසු හැරී යන්නටය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2017 පෙබරවාරි 17 වැනි සිකුරාදා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article