image_f7af89bd82කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැවරුණු විශේෂ රාජකාරි වෙනුවෙන් තම නිලධාරීන්ට ලැබිය යුතු දීමනා සහ වරප්‍රසාද නිසි ලෙස ලබානොදීම සම්බන්ධයෙන්  විරෝධය දැක්වීමට  වයඹ පළාතේ සියලුම  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද  (01) දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කුරුණෑගල ශාඛාවේ සභාපති අමල් නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය.මෙම තීරණය හේතුවෙන් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200 ක් පමණ අද දිනයේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ විශේෂ රාජකාරී ලෙස ඇතැම් අවස්ථා වලදී දිවා රාත්‍රී සේවය කිරීමට සිදුවීමත් සමඟ ප්‍රධාන ලේකම්වරයා  විසින් දින 20 ක විශේෂ දීමනාවක් ගෙවීමට පොරොන්දු වුවත් එය මේ වන විට වරු 20 ක් දක්වා අඩුකර ඇති බවයි. තවද පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරින් වෙනුවෙන් පසුගිය මාර්තු මාසය සඳහා අතිකාල පැය 150 බැගින් ලබාදී ඇති නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම මාසයට අතිකාල ලබාදී නැති බව ඔවුහු පෙන්වා දෙති.

පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට මේ වනවිට මාස තුනක් සඳහා දුරකථන දීමනාව ලබාදී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට එම දීමනාව ලබාදී ඇත්තේ මාස දෙකක් සඳහා පමණි.

පසුගිය ජූනි මාසය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට අතිකාල පැය 150 ක් ලබාදී ඇතැත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිලධාරීන්ට ලබාදී ඇත්තේ පැය 100 ක් පමණක් බවද එම නිලධාරීහු කියති.

එකම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක යටතේ පාලනය වන වයඹ පලාතේ මෙම දිස්ත්‍රික්ක දෙක  සඳහා ආකාර දෙකකින් කටයුතු කරනු ලබන්නේ කෙසේදැයි නිලධාරීහු ප්‍රශ්න කරති.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන ලේකම්වරයා  කිහිප අවස්ථාවක් ලිඛිතව දැනුවත් කලත් යහපත් ප්‍රතිචාරයක් නොලද හේතුවෙන් ඉහත තීරණයට එළඹි බව සංගමයේ සභාපතිවරයා පැවසීය.
lankadeep .lk