Monday, May 6, 2024

වැවක් අදත් තුනක් බිලිගනී. පිය පුතු යුවළකුත් ඒ අතර ! ( full story )

Must read

drowning-handsආනවිලුන්දාව කුරුඵ අභය භුමියෙහි පිහිටි මයියාව වැවෙහි ගිලීමෙන් පිය – පුතු යුවළක් ඇතුලු එකම පවුලේ තිදෙනෙකු අද ( 25 දා ) දහවල් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ යුද හමුදා සෙබළෙකු වන සුමිත‍්‍ර ප‍්‍රියලාල් ( 41 ) , ඔහුගේ පුතු වන චානක සදරුවන් (15 ) සහ ඔවුන්ගේ ඥාති පුත‍්‍රයෙකු වන කවිශ්ක දුල්ශාන් ( 15) යන තිදෙනාය.

මියගිය සුමිත‍්‍ර ප‍්‍රියලාල් බූස්ස යුද හමුදා පුහුණු පාසලට අනුයුක්තව සේවය කරන යුද සෙබළෙකු බවත් පසළොස්වක පොහොය නිමිත්තෙන් අද දිනයේදී ලැබුණු නිවාඩුවේදී නල්ලදරන්කට්ටුව, බෝගහවැටියේ පදිංචි වී සිටින සිය සහෝදරයාගේ සුවදුක් විමසා බැලීමට තම පුතුද සමග ඔහුගේ නිවසට පැමිණ ඇති බවද වාර්තා වෙයි.

ආගිය කතාවලින් අනතුරුව තම සහෝදරියකගේ දරුවා වන කවිශ්ක දුල්ශාන්ද කැටුව මෙම පිය – පුතු යුවළ මයියාව වැවෙහි දිය නෑමට ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේදී තිදෙනාම දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවත් පොලිසිය කියයි.

මොවුන් දියෙහි ගිලුණු අවස්ථාවේදී එම ස්ථානයෙහි වැඩිහිටි කිසිවෙකුත් ගැවසී නැති අතර , මෙම තිදෙනා වැව් දියෙහි ගි‍ලෙමින් කෑගසන ආකාරය එම අවස්ථාවේදී වැව අසල සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙකු විසින් දැක ඇති බව කියයි. එම දරුවන්ගේ දැනුම්දීම මත වැව අසලට රැස් වූ ප්‍රදේශවාසීන් විසින් දියෙහි ගිලුණු පුද්ගලයින් තිදෙනා ගොඩට ගෙන ඇතත් ඔවුන් ඒ වන වි‍ට මියගොස් සිට ඇති බවද පොලිසිය කියයි.

මියගිය චානක සදරුවන් දරුවා වේයන්ගොඩ මහ විදුහලේ සහ කවිශ්ක දුල්ශාන් දරුවා හැළඹවටවන සද්ධානන්ද මහ විදුහලේ ඉගෙනුම ලබමින් සි‍ටි ශිෂ්‍යයින් බවද පොලිසිය කියයි.

කවිශ්ක දුල්ශාන් දරුවාගේ පියාද මීට කලකට ඉහත ජීවිතක්ෂයට පත්වීම නිසා ඔහු හැදී වැඩී ඇත්තේ සිය මවගේ සොයුරෙකු හෙවත් මාමාගේ නිවස වන නල්ලදරන්කට්ටුව, බෝගහවැටියේ පිහිටි නිවසේ බවද වාර්තා වෙයි.

දියෙහි ගිලුණු පුද්ගලයින් තිදෙනාගේ මෘත ශරීර මේ වන විට හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට ගෙනැවිත් ඇති අතර හලාවත පොලිසිය විසින් දියේ ගිලීමේ සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

‍හලාවත ඔගස්ටින් ප‍්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article