Sunday, May 5, 2024

සංවිධායකකම අහිමි වූ සාලින්ද ජපානයේ සිට ‘වයඹ ටුඩේ ’ අමතයි ! (AUDIO)

Must read

ආසන සංවිධායකකමෙන් ඉවත්කිරීමෙන් තමන්ට රිදවිය හැකි යැයි කවුරුන් හෝ කල්පනා කරනවා නම් සාලින්ද කියන්නේ එලෙස රිදවිය හැකි එකෙක් නොවන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ තමන් හිරියාල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත්කිරීම පිළිබදව අද (28 දා ) පස්වරුවේ  ජපානයේ සිට වයඹ ටුඩේ පුවත්වෙබ් අඩවිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාලින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘විනයක් තියෙන පක්ෂයක සංවිධායකමක් අයින් කරනකොට කිසියම් පිළිවෙතක් තියෙනවා. ඒ පිළිවෙත අනුගමනය කරන්න ඕනෑ. චෝදනා පත‍්‍රයක් දෙන්න ඕනෑ. උඹ මේ වැරැද්ද කරලා තියෙනවා කියලා කියන්න ඕනෑ. ඒ ගැන විමසීමක් කරන්න ඕනෑ. ඒ කිසිම දෙයක් නැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ පක්ෂය අද වෙනකොට ඉතාම කණගාටුදායක අඩියකට වැටිලා තියෙන බව මේ සිදුවීමෙන් පේනවා.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණේ ඉතාම අවිචාරවත් සහ අශෝභන විදිහටයි. නීතිවිරෝධී විදිහට බලහත්කාරය පාවිච්චි කරලා තමයි ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වෙන්නේ. එහෙම සභාපති කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද අපි වගේ පක්ෂය ගොඩනගපු මිනිස්සුන්ට මෙහෙම කරන්න ? මගේ දේශපාලන ජීවිතයට අවුරුදු හතළිහයි. මේ අවුරුදු හතළිහ පුරාම මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට කඹුරලා තියෙනවා. මම පක්ෂය නිසා තුන් පාරක් හිරේ විලංගුවේ වැටිලා තියෙනවා. මේ පක්ෂයේ දේශපාලනය කිරීම නිසා මගේ අම්මගේ ගේ ජේවීපී එකෙන් ගිනි තිබ්බා. අප්පච්චිගේ ගෙට පොලිසියෙන් ගිනි තිබ්බා. එහෙම ගමනක් ආපු මාව නීත්‍යානුකූල පදනමක් නැතිව සංවිධායකමෙන් අයින් කරලා දාන්න කිසිම අයිතියක් නැහැ. සංවිධායකකමක් නැති කළා කළා කියලා මගේ අවුරුදු හතලික දේශපාලනය යට කරන්න කොහේවත් ඔය වගේ මෝඩ කට්ටියට කොහෙත්ම බෑ. ඒ කට්ටිය හිතනවා නම් මෙහෙම කරලා මට රිදවන්න පුලුවන් කියලා එහෙම රිදෙන එකෙක් නෙවෙයි සාලින්ද කියන්නේ.

අනික කාටද දැන් හිරියාලේ සංවිධායකකම දීලා තියෙන්නේ ? කරුණාකරලා ඔහු කොහොම කෙනෙක්ද කියලා හොයලා බලන්න. කලාකරුවන්ට පහර දුන්නේ එයා තමයි. මේ වගේ දේවල්වලින් නොසැලී මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කිට්ටුවෙලා ඉන්න මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා දමනතුරු මගේ සටන ගෙනියනවා කියන එක කියන්න මම කැමැතියි. මම ලබන පළමුවැනිදාට ලංකාවට අඩිය තියන්නේ කිරුළපන මැයි රැළියට ගොඩවෙන්න බලාගෙනයි. ඒ ආවට පස්සේ සංවිධායක තනතුරින් මාව ඉවත්කිරීම පිළිබදව නීති උපදෙස් ගන්නත් මම බලාපොරොත්තු වෙනවා. ’’ යැයි පැවසීය.

සාලින්ද දිසානායක මහතා වයඹ ටුඩේ වෙබ් අඩවිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශයේ හඩපටයට පහතින් සවන්දිය හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article