Saturday, May 18, 2024

හිංසනයෙන් තොරව කොවිඩ් මර්දනය කරන්න

Must read

හිංසනයෙන් තොරව කොවිඩ් මර්දනය කරන්න – SLCAT රජයෙන් ඉල්ලයි

කොවිඩ් 19 පාලනයේදී රජය විසින් සිදු කරමින් පවතින කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකීම් වලට එරෙහිව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව (SLCAT) විසින් පසුගිය මැයි 11 වැනි දින නිවේදනයක් නිකුත් කර තිබේ. සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න. prison-bars-jail-imprisoned-justice-arrest

මෙම ප්‍රකාශය සිදුකෙරෙන අවස්ථාව වන විට COVID 19 රෝගය වැලදුනු ප්‍රථම ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වී මාස දෙකක පමණ කාලයක් ගත වී තිබේ. එමෙන්ම මේ වනවිට ආසාදිතයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර අනාගතය පිළිබඳ බිය සහ අවිනිශ්චිතතාවයන් ද නොනවත්වාම වර්ධනය වෙමින් පවතී. විවිධ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්හි පුද්ගලයන් අතර ඇතිව තිබෙන සංකූලතාවයන්ද වර්ධනය වෙමින් තිබෙනු දැකිය හැක.

රටේ නොයෙක් ප්‍රදේශයන්ගෙන් වාර්තාවන විවිධාකාර වධහිංසා පැමිණවීම්, කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම් සිදුවීම් පිළිබදව ද අපගේ දැඩි අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත සිර මැදිරි ප්‍රමාණයන්හි ඉඩකඩ ප්‍රමාණවත් වනුයේ දළ වශයෙන් පුද්ගලයන් 10,000 නොඉක්මවන ප්‍රමාණයකටය. කෙසේ වෙතත් මේ වනවිට මෙරට සිර මැදිරි තුළ රැදවූවන් 26,000 ක පමණ ප්‍රමාණයක් රදවා තබා ඇති අතර ඒ හරහා මෙරට සිරමැදිරි තුල අධික තදබදයක් නිර්මාණයව ඇත. මාර්තු මස 17 වනදා සිට අප්‍රේල් 04 වනදා දක්වා කාලය තුළ සිරකරුවන් 2,961 දෙනෙකු නිදහස් කර ඇති බවටත්, තවදුරටත් සිරකරුවන් නිදහස් කර යැවීම සඳහා ඉඩ සලසනු පිණිස නීතිපතිවරයා විසින් අතිරේක මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවටත් රජය විසින්කරන ලද නිවේදනය අප විසින් අගය කරන්නෙමු. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන නිසි චෝදනා ගොනු කිරීමකින් තොරව ප්‍රශ්නකාරී ලෙස දීර්ඝ කාලයක් මුලුල්ලේ රදවාගෙන සිටින සිරකරුවන් නිදහස්කර හැරීම තුලින් මෙන්ම විභාග කිරීම් අවසන්ව ඇති අධිකරණ ක්‍රියාමාර්ගයන්හි තීන්දු ඉක්මනින් ප්‍රකාශයට පත් කිරීම හරහා ද මෙම කටයුතු තවදුරටත් පුළුල්කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

කෙසේ වුවද මෑතකදී ඇප මත මුදා හරින ලද පුද්ගලයන් දෙදෙනෙකු වෙතින් ලබාගත් තොරතුරු අප තුළ බරපතල කම්පනයන් ඇතිකරීමට සමත්ව ඇත. සිරකරුවන් රදවා තබාගෙන සිටින එක්තරා රැදවුම් මධ්‍යස්ථානයක් තුල සිදුවන සිරකරුවන් පහරදීම්වලට ලක්කිරීම්, ඒවා තුළ ඇති තදබදය හා නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම පිලිබදව තොරතුරු ගණනාවක් ඉහතකී පුද්ගලයන් දෙදෙනා හරහා අප වෙත දැනගන්නට ලැබී ඇත. පසුගිය දෙමසක කාලය තුලදී මෙරට බන්ධනාගාර තුල සිරකරුවන්ගේ මරණ තුනක් වාර්තා විය. බලධාරීන් ප්‍රකාශකළ ආකාරයට මෙකී මරණ සිදුව ඇත්තේ අදාළ සිරකරුවන් බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ ගත් අවස්ථාවන්හීදීය. සිරමැදිරි තුල COVID -19 වැලදීමට ඇති දැඩි අවදානම මෙන්ම අසතුටුදායක බන්ධනාගාර පහසුකම් පිලිබදව ද සැලකීමේදී සිරකරුවන් මෙලෙස පැනයාමට උත්සාහ දැරීම විමතිය දනවන්නක් නොවේ.

උතුරේ මෙන්ම කොළඹ දී වාර්තාවී ඇති ඇතැම් පොලිස්, යුධ හමුදා හා නාවුක නිලධාරීන්ගේ අමානුෂික ක්‍රියාකලාපයන් පිලිබදව අපගේ දැඩි අවධානය යොමු වී තිබේ. ඇදිරි නීතිය හේතු කොට ගෙන කොළඹ නගර සීමාව තුළ කොටුවී සිටින සංක්‍රමණික කම්කරුවන්ට පහරදීම, උතුරේ නිවෙස් තුල රැදි සිටි කාන්තාවන් හා ළමුන් ඇතුලු පුද්ගලයන්ට පහරදීම් මෙන්ම සාගරයේදී නාවික හමුදා නිලධාරියෙකුගේ පහරදීමට ලක් වූ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලක්ද ඒ අතර වෙයි. පවතින තත්ත්වය ප්‍රයොජනයට ගනිමින් නීතියට පිටින් කටයුතු කරමින් අත්තනෝමතික ලෙස හැසිරුණු ඇතැම් පොලිස් නිලධාරින් විසින්ම ඔවුන්ගේ එකී අත්තනෝමතික ක්‍රියාවන්ට භාජනයවූ වින්දිතයන්ට තර්ජනය කළ අවස්ථාද අප වෙත වාර්තා වී ඇත.

අප්‍රේල් මාසය තුළ පොලීසිය විසින් කොළඹ නගරෙයහි ජීවත් වූ යාචකයන් 300 කට වැඩි සංඛ්‍යාවකට අමානුෂික හා අවමන්සහගත සැලකීම්වලට ලක් කර ඇති අතර ආවරණය නොවූ බාහිර ස්ථානයන්හි ස්නානය කිරීමට ඔවුනට බල කරමින් සහ ජනමාධ්‍යවලට ඔවුන් වීඩියෝගත කිරීමට සහ ඡායාරූපයට නැගීමට අවසර දීමට කටයුතුකරමින් පෞද්ගලිකත්වය සඳහා එකී ජනතාවට ඇති අයිතිවාසිකම් මුලුමනින්ම පාහේ කඩවන ආකාරයට ආරක්ෂක අංශ විසින් එහිදී කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස යටකී සිදුවීම් ජාතික රූපවාහිනිය ඇතුලු රූපවාහිනී මාධ්‍ය තුළද, පුවත්පත් සහ සමාජ ජාලා මාධ්‍ය හරහා ද ප්‍රසිද්ධව ඇත. ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවයේම විෂබීජහරණය කිරීම ප්‍රසිද්ධියේ සහ යටකී රූ ගත කිරීම් අභිමුව සිදු කර ඇත.

රටේ පවතින සමහර රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය කෲර හා අවමන් සහගත ලෙස සැලකීමේ උපකරණ බවට පත්ව ඇත. කොවිඞ් 19 රෝගයට සම්බන්ධ පුද්ගලයන්ගේ පුද්ගලික තොරතුරු – සමහර විට අසත්‍ය තොරතුරු, රෝගීන්, රෝගය ආසාදනයව ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සහ මියගිය අය පිළිබඳ තොරතුරු මෙකී මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරමින් සිටියි. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් රෝගීන්ගේ, රෝගී යයි සැක කරන පුද්ගලයන්ගේ සහ නිරෝධායනය කරන ලද සමහර පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අනුකම්පා විරහිත ලෙස ආක්‍රමණය කර ඇත. මෙවැනි ක්‍රියාවන් රෝගීන්ගේත් රෝගීන්ගේ සහ මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ටත් දැඩි මානසික පීඩාවන් ඇතිකිරීමට හේතුවනු ඇත.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවද මේ වනවිට වෛරී, ද්වේශ සහගත, නොමඟ යවන සහ අසත්‍ය ප්‍රවෘත්තිවල ඉලක්ක බවට පත් වී තිබේ. ආර්ථික අර්බුදයන් හමුවේ රජයේ ආධාර අපේක්ෂා කරන ලද පීඩිත ජනයාට පහත් කොට සැලකීමේ දර්ශන ගැන ද අප කම්පාවට පත් වෙමු.

COVID-19 වසංගතය හමුවේ පැනවූ ඇඳිරි නීතිය සහ රට සාමාන්‍ය කටයුතු සදහා වසා තැබීමේ ක්‍රියාවලිය තුල මෙකී ගැටලු සදහා නෛතිකමය වශයෙන් හෝ පරිපාලනමය වශයෙන් පිලියම් සෙවීම දුෂ්කරව ඇත. මෙම කාලසීමාව තුළ ජනතාවට ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවලට පිවිසීමට හෝ අධිකරණමය ක්‍රියා මාර්ග සදහා යොමුවීමට ප්‍රායෝගිකව නොහැකිව ඇති බැවින් මෙම ආයතනයන් වලින් සිදුවන අධීක්ෂණයද සීමා සහිත වී තිබෙන්නේය.

වින්දිතයින් බොහෝ දෙනා සමාජයේ දිළිදු ජන කොටස් වලට අයත් වන්නන් වන අතර ඔවුන්ට අන්තර්ජාල පහසුකම් හෝ දුරකථනය මාර්ග ඔස්සේ සේවාවන් වෙත පිවිසීමට හෝ මූලික නීති උපදෙස් සහ නෛතික සහයෝගයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත. හමුදාකරණය ද දේශපාලන හා ව්‍යවස්ථාමය අවිනිශ්චිතතාවයන් ද නිසා මෙම හානිකර තත්වයන්ගෙන් ගැලවීමට ඇති ඉඩ තවදුරටත් අවහිර වී ඇති අතර මෙම කරුණු ප්‍රසිද්ධියට පත්වීමද විශේෂයෙන් වලක්වාලනු ලැබ ඇත.

සෞඛ්‍ය නිලධාරීන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් විසින් කරනු ලබන සේවාවන් අපි අගය කරන අතර, රජයේ නිලධාරීන් සහ මාධ්‍ය අවදානම් තත්ත්වයක් හමුවේ පවා තම රාජකාරීන් සිදු කරමින් සිටින බවද මෙම අභියෝගාත්මක කාලය තුළ විශේෂයෙන් පීඩනයට ලක්ව ඇති බවද අපි පිළිගන්නෙමු. එහෙත්, COVID-19 පාලනය සදහා ගනු ලබමින් සිටින අසාමාන්‍ය ක්‍රියාමාර්ග ද ඇතුළුව කවර හෝ තත්ත්වයක් යටතේ වුව වධහිංසා පැමිණවීම, කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම සාධාරණීකරණය කළ නොහැකි බව අපි අවධාරණය කරමු. වධහිංසාවට ළක් නොවී සිටීමට ඇති අයිතිය අනුලංඝනීය අයිතියකි. එය කිසිදු විටක අහිමි කල නොහැකි අයිතියක් වන අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය විසින් ඒ බව පිළිගෙන තිබෙන්නේය.

එබැවින් වධහිංසාව භාවිතයෙන් වැලකී සිටින ලෙස වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වශයෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම කෲර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් වලක්වාලීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් ද රාජ්‍ය ආයතන වෙතින්ද ඉල්ලා සිටින්නෙමු. එසේම ඕනෑම ආකාරයක වධහිංසාවන්, කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම වැළැක්වීම සඳහා ඵලදායී ලෙස පියවර ගන්නා ලෙසත්, එවැනි අයිතිවාසිකම් කඩවීම් හා කඩවීමට අත්‍යාසන්න අවස්ථාවන් සඳහා ආරක්ෂාව සහ පිළියම් සැපයීමට වහාම ප්‍රතිචාර දක්වන ලෙසත් අපි ආරක්ෂක හා අධීක්ෂණ ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් මුහුණ දෙන බාධක ද සැලකිල්ලට ගෙන, යටකී ආකාරයේ අයිතිවාසිකම් කඩකිරීම් සදහා ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන ලෙසත් එවැනි ප්‍රතිචාර සිදුකිරීම පිණිස පැමිණිලි ඉදිරිපත්වන තෙක් නොසිට යුහුසුලුව කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.

 

වධහිංසා පැමිණවීම සහ කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම වැළැක්වීම සඳහා අපගේ අඛණ්ඩ සහයෝගය ලබාදීමටත් විශේෂයෙන්ම වින්දිතයන්ටත්, සාක්ෂිකරුවන්ට සහ ඔවුන්ට සහාය වන වෙනත් පාර්ශවයන්ට සහයෝගය දැක්වීමටත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වශයෙන් අප සහතික වන බවටත් අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.


උපුටා ගැනිම / සමබිම

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article