ආරච්චිකට්ටුව – උඩප්පුව වෙරළ තීරය නැවත වතාවක් දැඩි ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.
දකුණෙන් මහ මුහුදටත්,බටහිරෙන් මුන්දලම කලපුවටත් වටවී ඇති උඩප්පුව ගම්මානය තුළ පවුල් 5000 කට ආසන්න පිරිසක් ජීවත් වේ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනාගේ ජීවන වෘත්තීය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.පිරිසක් මුහුදට හෝ කලපුවට ගොස් මසුන් අල්ලන අතර,තවත් පිරිසක් ඒවා අලවි කිරීම සිදු කරති.ඒ අතර තුර උඩප්පුව වෙරළ තීරය තුළ ඇති ධීවර වාඩි වල වියලන කරවල විශාල ප්‍රමාණයක්ද දිනපතා වෙළද පළට එක් වන්නේය.
මේ ආකාරයට බැළු විට මහ මුහුද උඩප්පුව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ජීවන මාර්ගය බව සත්‍ය කරුණකි.ඒ නිසාම ඔවුන් මහ මුහුදට දැඩි ලෙස ආදරය කරති.කිසියම් ආකාරයකට සුළු වශයෙන් හෝ මුහුද වෙරළ තීරයට හානියක් වනවාට කැමැත්තක් නැත.ඉන් ප්‍රධාන වන්නේ වෙරළ තීරයට හානි සිදු වීමෙන් තම ධීවර යාත්‍රා ගාල් කරන්නට සහ දැල් ආම්පන්න පිරිසිදු කිරීමටත්,කරවල වියලීම සදහා වාඩි සකස් කිරීමටත් හැකියවක් නොමැති වන නිසාය.
නමුත් අවාසනාවකට වසර කීපයක සිට වාරකන් සමයේදී උඩප්පුව වෙරළ ඛාදනය වීම සිදුවේ.පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සහ මාධ්‍ය මගින් කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඛාදනය පාලනය කිරීම සදහා ගල් වැටි යෙදීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත.
නමුත් අවාසනාවකට මෙන් වර්තමානයේ වෙරළ ඛාදනය සිදු වන්නේ එම ගල් වැටි අතරින් වීම ඛේදජනක කරුණක් වී ඇත.වාරකන් සමය ආරම්භයට පෙර මේ ආකාරයට වෙරළ ඛාදනය වන්නේ නම් ඉදිරියේදී මෙම තත්ත්වය බරපතල විය හැකි බව උඩප්පුව ගම්වාසීන් සදහන් කරයි.කඩිනමින් ගල් වැටි යොදා වෙරළ ඛාදනය පාලනය කිරීමට කටයුතු නොකළ හොත් ඉදිරිය බරපතල විය හැකි බවද ඔවුන් කියා සිටී.
වෙරළට ආසන්නයේ තිබූ නිවාස කීපයක්ද,වෙරළට සමාන්තරව තිබූ මාර්ගයක්ද, මේ වන විට මුහුදට බිලිවී ඇත.වෙරළට ආසන්නයේ ස්ථාපනය කර තිබූ විදුලි රැහැන් කණු කීපයක්ම ඛාදනය හේතුවෙන් කඩා වැටී ඇති බවක්ද දක්නට ඇත.දිනෙන් දින ඉහළ යමින් පවතින වෙරළ ඛාදනය පාලනය කිරීමට කඩිනම් ස්ථීර පිළියමක් ලබා දීමට වගකිව යුත්තන් කටයුතු නොකළ හොත් අනාතයේදී උඩප්පුව මෙරට සිතියමෙන් මැකී ගියහොත් එය තවත් එක් පුදුමයක් නොවන්නේය.
ජූඩ් සමන්ත







