spot_img
spot_img
Wednesday, July 15, 2026
spot_img
spot_img

සමුපකාර ඩිජිටල් ද්වාරය

Must read

සමුපකාර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයේ සුහුරු මෙවලම් සමඟ බද්ධ වීම හෙවත් “සමුපකාර ඩිජිටල්කරණයේ අත්‍යවශ්‍යතාව හදුනාගත් වත්මන්  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය එම සාධනීය අනාගතයට පළමු පියවර ලෙස සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය විවෘත කිරීම ඊයේ (14) සිදුකෙරිණ.

රට පුරා විසිරී සිටින සමූපකාර සියල්ල එක් සන්නාමයක් ලෙස පොදු අනන්‍යතාවක් යටතේ වඩා විධිමත් හා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වීමට මෙම ඩිජිටල් ද්වාරය ඉවහල් වේ.

මිලේනියම් අයි.ටී. ආයතනය (MillenniumIT) විසින් සිය ආයතනික සමාජ වගකීමක් ලෙස සලකා, මෙම ඩිජිටල් ද්වාරය නොමිලේ නිර්මාණය කර දී තිබෙන අතර එහි ඉදිරි තාක්ෂණික පුහුණු කටයුතු සදහා සම්පත් දායකත්වය ලබාදීමට ද ඔවුන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගනු ඇති.

2026 ජාත්‍යන්තර සමූපකාර දිනයට සමගාමීව සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය රට පුරා විසිරී සිටින සමූපකාරිකයන් සඳහා ඊයේ විවෘත කිරීම සිදුකෙරුණේ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තරණි කුමාරදාස මහත්මිය ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම සමුපකාර සමිති නියෝජිතයන් පිරිසක් ද එක් විය.

මෙය දිවයින පුරා විසිරී ඇති සමූපකාර සමිති සහ ඒවායේ සාමාජිකයන් තනි සුරක්ෂිත ඩිජිටල් අවකාශයක් වෙත ගෙන ඒම සඳහා ගොඩනගන ලද මධ්‍යගත පද්ධතියක් වන අතර ඒ අනුව සියලු සමිති ලියාපදිංචිය,  සාමාජිකයන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය ඇතුළු සමිති කටයුතු වඩාත් සරල මෙන්ම නිවැරදිව සිදුකිරීමට  එතුළින් පහසුකම් සැලසේ.

අදටත් නිවැරදි දත්ත වාර්තා සපයාගත නොහැකි සමූපකාරයක කොඳු නාරටිය බඳු සාමාජිකත්වය පිළිබඳ තොරතුරු හා සංඛ්‍යා ලේඛණ පහසුවෙන් ලබා ගැනීමට මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා අවස්ථාව සැලසේ.

සමුපකාර සමිතිවල එදිනෙදා පාලන කටයුතු, මූල්‍ය ගනුදෙනු, සාමාජික තොරතුරු කළමනාකරණය සහ සේවා සැපයීම සඳහා නවීන තොරතුරු තාක්ෂණය සහ උපකරණ භාවිතය එක් නිශ්චිත නිල පද්ධතියක් වෙතට කේන්ද්‍රීය වීම හරහා සමූපකාර ක්‍රියාවලිය වඩා විධිමත් හා විනිවිදභාවයකින්  පවත්වා ගෙන යාමටද ඉවහල් වේ.

සමූපකාර සාමාජික ලියාපදිංචිය සඳහා ඩිජිටල් ද්වාරය සමූපකාරිකයන්ට විවෘත කළ මෙම ඓතිහාසික  අවස්ථාව සමූපකාර ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත මහා පරිමාණ ඩිජිටල් පරිවර්තනයක පළමු අදියරයි.

ඩිජිටල් සාමාජික අනන්‍යතාවය, මාර්ගගත සේවා ඩිජිටල් ගෙවීම්, සමූපකාර බැංකු ඒකාබද්ධ කිරීම, සමූපකාර අලෙවිසැල් ජාලගතකිරීම, සැපයුම්දාම කළමනාකරණය, ප්‍රසම්පාදන පද්ධති සහ ජාතික සමූපකාර දත්ත වේදිකාවක් නිර්මාණය කිරීම මෙන්ම අනාගතයේ සමූපකාර ඡන්දය ප්‍රකාශ කිරීම පවා ඩිජිටල්කරණය හරහා සිදුකළ හැකි තත්ත්වයට පත්කිරීම දක්වා මෙය පුළුල් කිරීම අමාත්‍යංශයේ අපේක්ෂාවයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article