spot_img
spot_img
Tuesday, September 1, 2026
spot_img
spot_img

කුඩාමඩුවැල්ල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නයට රජය මැදිහත්විය යුතුයි

Must read

මෙරට ක්‍රියාත්මක වන RO තාක්ෂණයෙන් ජලය පිරිපහදු කර නල මගින් බෙදා හරින එකම ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය ස්ථාපනය කර ඇත්තේ මහවැව – කුඩාමඩුවැල්ල ග්‍රාමයේය.මඩු කුමාරි ප්‍රජා මූල සංවිධානය විසින් මෙම ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය  පවත්වා ගෙන යයි.2003 වසරේදී ආසියාණු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ස්ථාපනය කර ඇති මෙම ජල යෝජනා ක්‍රමය පසු කළෙක තමන් විසින් වැඩි දියුණු කර ගත් බව කුඩාමඩුවැල්ල ගම්වාසීන් සදහන් කරයි.

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ස්ථීර ජල පාරිභෝගිකයින් 300 කට ආසන්න ප්‍රමාණයක්ද,දෛනිකව ජලය ලබා ගන්නා තාවකාලික පාරිභෝගිකයින් 100 කට වැඩි ප්‍රමාණයක් සිටින බවද මඩු කුමාරි ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන් සදහන් කරයි.

නල මගින් ජලය ලබා ගන්නා ස්ථීර  පාරිභෝගිකයින්ට ජලය ලීටරයක් රුපියල් 1.47 බැගින්ද,දෛනිකව මිලදී ගන්නා පාරිභෝගකයින්ට ලීටරයක් රුපියල් 2.00 බැගින්ද අලවි කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

මෙම ජල යෝජනා ක්‍රමයෙන් ජලය ලබා ගන්නා තමන්ට දරා ගත නොහැකි බිලක් මාසිකව ගෙවීමට සිදුවී ඇති බව ඇතැම් ජල පාරිභෝගිකයින් සදහන් කරයි. කථාවේ සත්‍ය අසත්‍යකාවය සොයා බැලීම සදහා පසුගිය දිනක මෙම ලියුම්කරු කුඩාමඩුවැල්ල ගම්මානයේ සංචාරයක නිරත විය.

මඩු කුමාරි ප්‍රජා මූල සංවිධානයේ ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට මුල් වූ හැරී ප්‍රනාන්දු මහතා අපට හමු විය.ඔහු මෙසේ කියා සිටියේය.

“2003අවුරුද්දේ ආසියාණු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව තමයි මේ ජල යෝජනා ක්‍රමය ආරම්භ කළේ.ආරම්භයේදී අපිට පවුල් 200 ක් විතර හිටියා. මුලදී මෙම ස්ථානයේ තිබුනේ ඉතාමත්ම හොද ජල උල්පතක්.නමුත් පසු කාලය වන විට එම ජල උල්පත අපිරිසිදු වෙලා ජලය පානිය සදහා නුසුදුසු තත්ත්වයක් උදා වුණා.ඇතැම් අය කිව්වා මේ ජල යෝජනා ක්‍රමය වහලා දාමු කියලා.නමුත් නිලධාරී මණ්ඩලය ඊට කැමති වුනේ නෑ.ඒ නිසා තමයි එම අපිරිසිදු ජලය පිරිපහදු කරලා පානය කිරීමට සුදුසු මට්ටමට ගේන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවි කළේ.දැන් නම් ගැටළුවක් නැහැ.2003 අවුරුද්දේ තිබුණටත් වඩා හොද ජලය අපිට දැන් බොන්න ගන්න පුළුවන්.මම නම් මේ ජලය භාවිතා කරන්නේ පානීය කටයුතු සදහා පමණයි.ඒ නිසා ලොකු බිලක් මට ලැබෙන්නේ නෑ.

ජනතාව කියනවා නම් ලොකු වතුර බිලක් ලැබෙනවා කියලා රජය ඒකට මැදිහත් වී කටයුතු කළ යුතු වනවා.එක්කෝ පිටස්තර ප්‍රදේශයකින් නල මගින් මේ ගමට ජලය ගෙනවිත් බෙදා හරින ක්‍රමයක් හදන්න ඕනේ.එහෙම නැත්නම් මේ ප්‍රජා මූල සංවිධානයට රජය විසින් කිසියම් ආධාරයක් දෙන්න ඕනේ සහන මිලට ගමේ ජනතාවට ජලය දෙන්න කියලා.ඔය ක්‍රම දෙකින් එකක් ක්‍රියාත්මක කළොත් පමණක් ජල යෝජනා ක්‍රමයත් තියනවා.ගමේ අයට ලොකු බිලක් ගෙවන්න වෙන්නෙත් නෑ”.

එම සංචාරයේදී අපට හමුවූ මඩු කුමාරි ප්‍රජා මූල සංවිධානයේ උප සභාපති අසිත ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය.

“කුඩාමඩු වැල්ල ගම්මානයේ බටහිර මායිම් වන්නේ මහ මුහුදට.නැගෙනහිර මායිම් වන්නේ කඩොලාන රක්ෂිතයක් වන ලවන සහිත භූමියකට.එම හේතුව නිසා මෙම ගම්මානයේ කිසිදු ස්ථානයක පානය සදහා සුදුසු පිරිසිදු ජලය වර්තමානයේ සොයා ගැනීම ගැටළුවක් වී තිබෙනවා.සාමාන්‍යයෙන් පානය සදහා ලබා ගන්නා ජලය ලීටර් 01 ක් රුපියල් 4.00 ක් පමණ වෙනවා.නමුත් අපි ලබා දෙන්නේ ලීටර් 01 ක් රුපියල් 1.47 කට.අපි මේ ජලය පිරිසිදු කරන්න උපකරණ කීපයක් සවි කරලා තියනවා.අවසානයේදී ලෝකයේ තියන ඉහළම තාක්ෂණය වන RO ක්‍රමයටත් ජලය පිරිසිදු කරලා තමයි අපි ජනතාව වෙත බෙදා හරින්නේ.

මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ජනතාවට ජලය ලබා දෙන්නේ පානය කිරීම සදහා පමණයි.නමුත් ඇතැම් අය පානයට අමතරව පැල වලට දාන්න,වාහන සෝදන්න,වැසිකිළි කැසිකිළි කටයුතු වලටත් මේ ජලය භාවිතා කරනවා.ඊට පස්සේ අපිට කියනවා බිල වැඩියි කියලා.පානය සදහා සුදුසු මට්ටමට සකස් කළ ජලය වෙනත් කටයුතු සදහා භාවිතා කිරීම අපරාධයක්.

අපේ රටේ නාගරික හෝ ග්‍රාමීයව RO තාක්ෂණයෙන් ජලය පිරිසිදු කරලා බෙදා හරින ජල යෝජනා ක්‍රමයක් ගැන මම නම් අහලා නෑ.ඒ වැඩේ කරන්නේ අපි විතරයි.එහෙම නම් ජනතාව කළ යුතු වන්නේ ලැබෙන ජලය අරපිරිමැස්මෙන් පානය සදහා පමණක් භාවිතා කරන එකයි.එතකෙට එයාලට ලොකු බිලක් එන්නෙත් නෑ.අපිට දෛනිකව විශාල ජල ප්‍රමාණයක් පිරිසිදු කරන්න වෙන්නෙත් නෑ”.

මෙම ජල යෝජනා ක්‍රමයේ කාර්මික නිලධාරියා ලෙස සේ්වය කරන උපාලි ප්‍රනාන්දු මහතාද අපට හමු විය.ඔහු මෙසේ කියා සිටියේය.

“මේ ජල යෝජනා ක්‍රමයේ මම සේවය සදහා ඇවිත් වසර 10 ක් පමණ වෙනවා.අපි දිනකට ජලය ලීටර් 40,000 ත් 50,000 ත් අතර ප්‍රමාණයක් පිරිසිදු කරනවා.එසේ පිරිසිදු කරන ජලය තුළින් දිනකට නල මගින් ජලය ලීටර් 39,000 ත් 45,000 ත් අතර ප්‍රමාණයක් බෙදා හරිනවා.තවත් පිරිසක් මේ ස්ථානයටම පැමිණ දෛනිකව ජලය මිලදී ගෙන යනවා.

මේ ජල යෝජනා ක්‍රමය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි.කුමන හේතුවක් නිසා හෝ ජලය බෙදා හැරීම ප්‍රමාද කිරීමක් හෝ කප්පාදු කිරීමක් කරන්නේ නෑ.අපි ලොකු කැප කිරීමක් කරනවා ගමේ ජනතාවට ජලය බෙදා හරින්න.

මේ යන්ත්‍ර සූත්‍ර මාස කීපයකට වතාවක් අළුත් වැඩියා කරන්න ඕනේ.මාසිකව ලොකු විදුලි බිලක් ගෙවන්න වෙනවා.ඔය නිසා වෙන්න ඇති ජල බිල වැඩියි කියලා ජනතාව කියන්නේ.මමත් නම් කියන්නේ අපි ලබා දෙන ජලය පානය සහ අත්‍යාවශ්‍යම කටයුතු සදහා පමණක් භාවිතා කළොත් ලොකු ජල බිලක් ලැබෙන්නේ නෑ කියන එකයි.”

ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය පවත්වා ගෙන යන නිලධාරීන්ගේ ප්‍රකාශද සාධාරණය.මන්ද වැය වන තරමට අදායමක් ඔවුන් ලබා ගත යුතු නිසාය.එසේ නම් රජය මේ අවස්ථාවේදී මෙම කටයුත්තට වහා මැදිහත්ව ක්‍රියාත්මක විය යුතුව ඇත.එවිට සියළු ගැටළු විසදෙනවා ඒකාන්තය.

ඡායාරූප විස්තර:-

01 – 07 දක්වා ජල යෝජනා ක්‍රමයේ විවිධ අවස්ථා.

08.අසිත ප්‍රනාන්දු

09.හැරී ප්‍රනාන්දු.

10.උපාලි ප්‍රනාන්දු

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article