දිවයින පුරා ඩෙංගු කීටයින් සොයා යාමේ විශේෂ මෙහෙමුයක් ලබන 15 වැනිදා ආරම්භ කරන බවත්,ඒ සදහා මහජනතාව තමන්ගේ උපරීමයෙන් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.
බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.පවතින වැසි සහ දැඩි උෂ්ණත්වය ඩෙංගු රෝගය පැතිර යාමට ප්‍රධානතම හේතුව වී තිබෙන බවට මේ වන විට හදුනා ගෙන තිබෙනවා.මෙම හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්ක වල රජයේ රෝහල් වලට රෝගීන් ඇතුළත් කිරීමේ ධාරිතාවය ඉක්ම ගොස් ඇති බවක්ද දැන ගන්නට තිබෙනවා.
ඩෙංගු රෝගය පාලනය කිරීමේ ප්‍රධානතම කටයුත්ත කළ හැකි වන්නේ මහජනතාවට.පළමුව ඔබ පදිංචිව සිටින හෝ රාජකාරි කරන පරිශ්‍රය ඩෙංගු මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත් කර ගන්න.එමෙන්ම කිසියම් අයෙකුට ඩෙංගු රෝගය වැළදී ඇති බවට රෝග ලක්ෂණ පහළ වුවහොත් කඩිනමින් ළගම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයා හමුවී ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.එමෙන්ම ඒ පිළිබදව තමන්ගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැණුවත් කිරීමත් කළ යුතුයි.එවිට හැකි වනවා රෝගියා හමුවූ ප්‍රදේශය පරීක්ෂා කර ඩෙංගු මදුරුවන් සිටිනවාද යන්න සොයා බලන්නටත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාත්මක වීමටත්.
15 වැනිදා සිට පුරා දින 05 ක් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 කට ආසන්න පිරිසක් ඩෙංගු මර්ධන ජාතික වැඩ සටහනට සම්බන්ධ වනවා.ඔබගේ නිවසට හෝ රාජකාරි පරිශ්‍රයට පැමිනෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට උපරීම සහාය ලබා දී ඩෙංගු වසංගතය යම් ආකාරයකයට පාලනය කර ගැනීමට සහාය දක්වන ලෙසද මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.
ජුඩ් සමන්ත







