spot_img
spot_img
Saturday, August 29, 2026
spot_img
spot_img

ලංකාවේ පරිසර පද්ධති සුරැකීමට UNCCD සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ

Must read

කාන්තාරීකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (UNCCD COP17) අතරතුර ශ්‍රී ලංකාව සහ UNCCD අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ සමබන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) මොන්ගෝලියාවේ උලාන්බාටාර් නුවර පැවැත්වෙන සමුළුව අතරතුර පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ UNCCD විධායක ලේකම් Yasmine Fouad මහත්මිය අතර පැවැත්විණි.

මෙහිදී භූමි හායනය, නියඟය, භූමි ප්‍රතිසංස්කරණය, තිරසර භූමි කළමනාකරණය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික හා ආයතනික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස හේතුවෙන් නියඟය හා ජල හිඟය ඇතුළු දේශගුණික ආපදා තත්ත්වයන්ගේ බලපෑම් ඉහළ යමින් පවතින බැවින් ශ්‍රී ලංකාවේ නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහ ජාතික සූදානම ශක්තිමත් කිරීම සඳහා UNCCD සමඟ සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ භූමි හායනයේ ශුද්ධ ශුන්‍යතාව (LDN), නියඟ කළමනාකරණය, එල්ලංගා ජල කළමනාකරණ පද්ධතිය සහ දේශගුණික ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉදිරි සහයෝගීතා අවස්ථා පිළිබඳවද අවධානය යොමු විය.

UNCCD විධායක ලේකම්වරිය සඳහන් කළේ, භූමි හායනය සහ කාන්තාරීකරණයට අදාළ ක්‍රියාමාර්ග සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මූල්‍ය අවස්ථා ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනයට ගත හැකි බවයි. ඒ සඳහා සුදුසු ව්‍යාපෘති සකස් කිරීමේදී UNCCD Global Mechanism වෙතින් තාක්ෂණික සහාය ලබාගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

Riyadh Drought Resilience Partnership යටතේ ශ්‍රී ලංකාවේ නියඟ කළමනාකරණ සැලැස්ම ඉදිරියට ගෙන යාම, UNESCO සමඟ එල්ලංගා ජල කළමනාකරණ පද්ධතිය සම්බන්ධ සහයෝගීතාවක් ඇති කර ගැනීම සහ දේශගුණික තොරතුරු හා භූගෝලීය අවකාශීය තොරතුරු භාවිතය ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගීතා අවස්ථා පිළිබඳ විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස UNCCD විධායක ලේකම්වරිය ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාව සහ UNCCD අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍යවරයා විසින් ආරාධනා කරන ලදී.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති සුරැකීම, භූමි හායනය අවම කිරීම, නියඟයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ තිරසර භූමි කළමනාකරණය සඳහා නව තාක්ෂණික හා මූල්‍ය අවස්ථා විවෘත කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article