spot_img
spot_img
Wednesday, October 28, 2026
spot_img
spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති සහ මාර්ගෝපදේශ

Must read

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දෙමාපියන් සහ වැඩිහිටියන් විසින් දරුවන් විවිධ අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත්, එම තත්ත්වය වැළැක්වීම සඳහා නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

අනතුරුදායක ස්ථාන සහ අවදානම් සහිත ප්‍රදේශවල දරුවන් සංචාරය කරවීම, අසභ්‍ය වචන භාවිත කිරීමට යොමු කිරීම, වැඩිහිටියන්ට වඩාත් සුදුසු තේමාවන් හෝ අන්තර්ගතයන් සඳහා දරුවන් යොදාගැනීම මෙන්ම දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් සඳහා ඔවුන් යොදාගැනීම වැනි ක්‍රියාකාරකම් රැසක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබේ. තම දරුවන් මෙලෙස අවදානමට ලක්කරමින් මුදල් හෝ ජනප්‍රියත්වය සෙවීම තුළ දෙමාපියන් ලෙස පෙනී සිටීමට ඇති සුදුසුකම පවා ප්‍රශ්නගත වන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමාපියන්ට පවා අයිතියක් නොමැති බවත්, දරුවෙකුට ජනප්‍රියත්වය අවශ්‍යද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දෙමාපියන් නොවන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කරයි. එය අදාළ දරුවා වැඩිහිටියෙකු බවට පත්ව, ස්වාධීන තීරණ ගැනීමට තරම් මානසිකව සහ වයසින් පරිණත වූ පසු ගත යුතු පෞද්ගලික තීරණයක් බව ද ඇය සඳහන් කළාය.

දෙමාපියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දැඩි අවදානමට ලක්වන දරුවන් “අනාරක්ෂිත දරුවන්” ලෙස සැලකීමට සිදුවන බවත්, එම දරුවන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී ඔවුන් ආරක්ෂිත භාරකාරත්වය යටතට පත් කිරීමට පවා සිදුවිය හැකි බවත් අමාත්‍යවරිය අවධාරණය කළාය.

මේ අතර, ළමා හිතකාමී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් විශේෂඥ මණ්ඩලයක් මඟින් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) එක්ව පියවර ගෙන තිබේ. එම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඉදිරියේදී එය බලාත්මක කිරීමට නියමිතය.

සමාජ මාධ්‍ය තුළ දරුවන් වාණිජමය අරමුණු හෝ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගැනීම (Kidfluencing) වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් ද මේ වන විට දැඩි පියවර ගනිමින් සිටී. ප්‍රංශය සහ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වැනි ප්‍රදේශවල සමාජ මාධ්‍ය හරහා දරුවන් උපයන ආදායම ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත භාරකාර ගිණුම්වල තැන්පත් කිරීම අනිවාර්ය කර ඇති අතර, දරුවන් යොදාගත හැකි කාලසීමාවන් ද නීතියෙන් සීමා කර ඇත.

ලෝක ප්‍රකට සමාජ මාධ්‍ය ආයතන ද බාලවයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති හඳුන්වා දෙමින් සිටින අතර, ශ්‍රී ලංකාව ද නව මාර්ගෝපදේශ හරහා ඒ හා සමාන ආරක්ෂිත රාමුවක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article