spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

හලාවත – තොඩුවාව මුහුදු තීරය නැවත වතාවක් දරුණු ලෙස ඛාදනයට

Must read

හලාවත – මැද තොඩුවාව මුහුදු තීරය නැවත වතාවක් දරුණු ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇති බව ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.

මීට පෙර අවස්ථා කීපයකදී තොඩුවාව ප්‍රදේශය උග්‍ර ලෙස මුහුදු ඛාදනයට ගොදුරු විය. එදා පැවති තත්ත්වය මාධ්‍ය මගින් විටින් විට පෙන්වා දීමත්, ප්‍රදේශයේ ජනතාව විසින් වගකිව යුත්තන්ට දිගින් දිගටම කරුණු දැක්වීමේ ප්‍රථිපලයක් ලෙස ගල් වැටි දැමීම සිදු කර ඇත. වර්තමානයේ මුහුදු ඛාදනය සිදු වන්නේ මීට පෙර දැමූ ගල් වැටි අතර කොටස වීම විශේෂත්වයකි.

ප්‍රදේශයේ ධීවරයෙකු වන නිරෝෂන් මහතා පවතින තත්ත්වය පිළිබදව මෙසේ කියා සිටියේය.

” දැන් සති කීපයක් වෙනවා මුහුදු ඛාදනය දරුණු වෙන්න පටන් අරගෙන. මේ වෙන කොට ගල් වැටි දෙක අතර මීටර් 200 ක පමණ වෙරළ තීරය මීටර් 25 ක් පමණ ඛාදනය වෙලා තියනවා. මේ දිනවල මුහුද වලාළ කාලය. තවත් මාසයකින් අපිට වාරකන් සමය ලබනවා. එතකොට මුහුද හොදටම සැර වෙනවා. වලාළ කාලයේ මේ තරමට වෙරළ ඛාදනය වෙනවා නම් වාරකන් සමය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ.

පවතින තත්ත්වය ගැන අපි දන්න කියන හැම නිලධාරියෙකුටම කිව්වා. පවතින තත්ත්වය දැන්මම පාලනය කළේ නැත්නම් ඉදිරියේදී ලොකු වියදමක් මේ වෙනුවෙන් දරන්න වෙනවා. අපි කියන්නේ නිය පොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා කියන කාරණයයි.”

ජූඩ් රංජන් පෙරේරා මහතා මෙසේ පැවසීය.

” මීටර් 200 ක් විතර වෙන මේ මුහුදු තීරය තුළ නිවාස 05 ක් සහ ඉස්සන් අභිජනනාගාරයක් තියනවා. අනිත් කාරණය වෙරළට සමාන්තරව කුඩා මාර්ගයක්ද තියනවා.

පවතින තත්ත්වය අනුව නම් ඒ මාර්ගය හෙට – අනිද්දම මුහුදට ගසා ගෙන යනවා. ඊට පස්සේ නිවාස සහ ඉස්සන් අභිජනනාගාරයට හානි වීමේ අවදානම වැඩිය. අපි පවතින තත්ත්වය නිලධාරීන්ට කිව්වහම ඒ අය ඇවිත් පින්තූර අරගෙන යනවා. සිද්ධ වෙන්නේ එපමණයි.

මීට පෙර සිදුවූ මුහුදු ඛාදනය පාලනය කරන්න ගමේ කට්ටිය එකතු වෙලා වෙරළ තීරයට වැලි කොට්ට දැම්මා. එදා අපි දාපු වැලි කොට්ට දැන් මුහුදට ගහගෙන ගිහිං.

මීට පෙර මුහුදු ඛාදනය පාලනය කරන්න ගෙනවිත් තියන විශාල කළු ගල් තොගයක් අපේ ගම ආසන්නයේම තියනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපි කිව්වා ඒ කළු ගල් ටික ගෙනවිත් ඛාදනය වන වෙරළ තීරයට දාලා දෙන්න කියලා. එතකොට ඒ නිලධාරීන් කියන්නේ ලොකු කළු ගල් ගොඩ ගසා තියන තැන ඉදලා වෙරළ ඛාදනය වන තැනට ගේන්න තරම් යන්ත්‍ර – සූත්‍ර තමන් සතුව නැති බවයි. ඒ කතාව අපි කොහොම විශ්වාස කරන්නද කියන එකයි අපිට තියන ගැටළුව”.

තවත් මාසයක පමණ කාලයක් ගත වූ විට මුහුද රළු වනවා ඇත. එදිනට වර්තමානයට වඩා දැවැන්ත මුහුදු ඛාදනයක් එම ප්‍රදේශයෙන් අපිට දකින්නට ලැබෙනවා සහතිකය. එදිනට එක්ව සිදු වෙමින් පවතින හානියට පිළියම් හොයනවා වෙනුවට දැන්මම විසදුම් ලබා දීම කාට කාටත් යහපත් බව නම් සත්‍යයකි. 

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article