Friday, April 26, 2024

පනින්න බලන නිමල් ලංසාට අලවතුවල පාර කපයි !

Must read

alg_july_7_1

alg_july_7_4
මහ ඇමැති නිලමෙට අදී.

ඓතිහාසික ඇත්කද රජමහා විහාර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කළේ පසුගිය පෙරේදා සෙනසුරාදා රාත‍්‍රියේදීය. ඇත්කද විහාර පෙරහැර සම්බන්ධයෙන් වෙනදාට නොලැබෙන තරමේ සැලකිල්ලක් සහ උනන්දුවක් මෙවර වයඹ පළාත් සභාව පැත්තෙන් ලැබී තිබුණේ පෙරහැරේ බස්නායක නිලමේ තනතුර වයඹ පළාත් සභාවට හිමි වී තිබීම හේතුවෙනි. බස්නායක නිලමේවරයා ලෙස ඇත්කද විහාර පෙරහැරෙහි මෙවර ගමන් කළේ වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායකය. සාමාන්‍යයෙන් ඇත්කද විහාර පෙරහැරට වයඹ පළාත් සභාව විසින් වාර්ෂිකව පිරිනැමෙන ලක්ෂ පහක ආධාර මුදල ඒ හේතුවෙන්දෝ මෙවර ලක්ෂ දොළහක් දක්වා ඉහළ ගොස් තිබිණි. පෙරහැර අවසන් වෙද්දී බස්නායක නිලමේවරයෙකු ලෙස පෙරහැරක ගිය පළමු සහ එකම වයඹ මහ ඇමැතිවරයා ලෙස අලුත් වාර්තාවක් පිහිටුවීමටද ධර්මසිරි සමත් වී තිබිණි. එමෙන්ම මහ ඇමැතිකම හොබවමින්ම බස්නායක නිලමේ ලෙස කතරගම පෙරහැරේ ගොස් ඌවේ හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ විසින් තනිව ලියවාගෙන තිබූ වාර්තාව ළගින් ධර්මසිරිගේ නමත් ලියන්නට ඉදිරියේදී සිදුවෙනු ඇත. හුරු පුරුදු ජාතික ඇදුමට සමු දී මුල් ඇදුමින් හෙවත් තුප්පොට්ටියෙන් සැරසී සිටි මහ ඇමැති ධර්මසිරිගේ අතින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් පෙරහැර ආරම්භ කෙරිණි. අලි ඇතුන්, නැටුම්, ගැයුම් සහ වැයුම්වලින් අලංකාර වූ පෙරහැර කුරුණෑගල නගරය වටා සංචාරය කිරීමෙන් අනතුරුව නැවත ඇත්කද විහාරයට ගෙවැදීමෙන් අවසන් විය. අනතුරුව බස්නායක නිලමේ ධර්මසිරි ප‍්‍රමුඛ නිලමේවරුන් නැවත වතාවක් මහමගට බැස්සේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යන්නටය. ඒ අනුව ඇත්කද විහාරයෙන් පිට වූ පෙරහැර අවසන් කිරීමේ සංදේශය රැගත් පෙරහැර වයඹ ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණෙන විට අඵයම දෙකටත් ආසන්න වී තිබිණි. බස්නායක නිලමේ ධර්මසිරි අතින් වයඹ ආණ්ඩුකාර අමරා පියසීලී වෙත පෙරහැර අවසන් කිරීමේ සංදේශය පිළිගැන්වීමත් සමග පසුව ඇත්කද විහාර පෙරහැරේ නිමාවද නිල වශයෙන් සනිටුහන් විය. පෙරහැර සංදේශය භාරදෙන්නට පා ගමනින්ම පැමිණි බස්නායක නිලමේ ධර්මසිරි ඇතුලු පෙරහැර පිරිසගේ වෙහෙස මහන්සිය නිවාදැමීම වෙනුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී උණුසුම් තේ පැන් සංග‍්‍රහයක්ද සූදානම් වී තිබිණි.

කණ්ඩායම් රැස්වීමේදී ටිකිරි බණ්ඩාට හතර වටෙන්ම වදී.

මාධ්‍යවේදීන් සහ වයඹ පළාත් සභාව අතර ඇතිව තිබෙන ආරවුල විසදාගැනීමේ අරමුණින් සභා කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් වේඩරුව විසින් තම අමාත්‍යංශයේදී පැවැත්වෙන තවත් සාකච්ඡාවක් මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබුණේ පසුගිය බදාදා පස්වරුවේය. ගැටඵව නිරාකරණය කිරීම පිණිස පළාත් සභාව පැත්තෙන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි ඇමැති වේඩරුව මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටි අතර සුපුරුදු පිළිතුරම ඇමැති වේඩරුව වෙත ලබාදුන් මාධ්‍යවේදීන් කීවේ ගැටලුව නිරාකරණය කරගැනීම සදහා තමන් ඉදිරිපත්කරන එකම කොන්දේසිය සභාපති ටිකිරි බණ්ඩාගේ මුවින් පිට වූ අපහාසාත්මක ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීම බවය. මාධ්‍යවේදීන්ගේ පැහැදිලි කිරීමත් සමග සිය ජංගම දුරකථනය අතට ගත් වේඩරුව එයින් ටිකිරි බණ්ඩා අමතා මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පිළිබදව විස්තර කළ නමුත් ඊට ටිකිරි බණ්ඩාගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා වැඩි වේලාවක් නොගෙනම ඇමැතුම විසන්ධි කළේය. ‘‘ එයාගේ කතාවෙන් නම් පේන්නේ එයා මේ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්න සූදානම් නෑ වගේ තත්වයක්. කමක් නෑ. හෙට අපේ ගෲප් මීටින් එක තියෙනවානේ. අපි එතැනදී මේ ගැන සාකච්ඡා කරලා විසදුමකට එන්නම්. ’’ඇමැති වේඩරුව කීය. වේඩරුව කී ලෙසටම පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ ප‍්‍රධාන අමාත්‍යංශ රැස්වීම් ශාලාවේදී පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මාතෘකාවට මුලපිරුවේය. මහ ඇමැති ධර්මසිරි මෙන්ම ඇමැතිවරුන් වන දෙහිගම, සන්ධ්‍ය රාජපක්ෂ මෙන්ම බහුතරයක් මන්ත‍්‍රීවරුන්ගේ මතය වී තිබුණේ ටිකිරි බණ්ඩා විසින් අදාළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. ‘‘මේ ප‍්‍රශ්නේ ඉක්මනින් විසදන්න වෙනවා. පත්තරකාරයෝ දැන් මගේ පොටෝ එකවත් ගන්නේ නැහැ. ජනාධිපතිතුමා ආව වෙලාවේ මගේ ළගටම ඇවිල්ලත් මුන් මාව අල්ලලා පොටෝ එක අරන් නැහැනේ. පත්තරේ දාලා තියෙන්නේ මගෙන් බාගයක් තියෙන පොටෝ එකක්. ’’ ධර්මසිරි කියද්දී ආණ්ඩු පක්ෂ රැස්වීම සිනාහඩින් පිරී ගියේය. ‘‘ මහ ඇමැතිතුමාගේ විතරක් නෙවෙයි. මගේ පොටෝ එක දැම්මෙත් නැහැ.’’වේඩරුවද ඊට පොහොර එකතු කළේය. ‘‘පත්තරකාරයෝ ලියන්නේ බොරු තමයි. නමුත් දැන් මේ ප‍්‍රශ්නය විසදගන්න එපායැයි. ඒ නිසා ඕක අයින්කරගත්තා නම් හරි ටිකිරි. ’’ඇමැති දෙහිගම කීය. ‘‘ වැරැදි ප‍්‍රවෘත්තිය ලිව්ව කෙනාට විතරක් අදාළ වෙන විදිහට අනිත් අයට කණගාටුව පළකරලා ඒ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගත්තා නම් හරි. ’’ විකල්පයක් යෝජනා කරමින් සන්ධ්‍ය කී අතර එතෙක් වේලා නිහඩව සිටි මන්ත‍්‍රී පියුමාල් හේරත් කතා කළේ මෙහිදීය. ‘‘මට ඔය සම්බන්ධයෙන් මොනවත් කියන්න බෑ. මොකද ඔය කාරණය සම්බන්ධයෙන් මම ඉන්නේ අනිත් කදවුරේ නිසා. වටෙන් වටෙන් කණ අල්ලන්න ගිහිල්ලා වැඩේ වැරදුණොත් මේක විසදගන්න ආයෙත් තුන්වැනි පාරකට යන්න වෙනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ වනලා ගහන්න ගිහින් මේ පාරත් වැඩේ අවුල්කර ගන්න එපා. කියන්න තියෙන දෙයක් ඔක්කොම මාධ්‍යවේදීන්ට අදාළ වෙන විදිහට, හරියටම කියන්න. තුන්වැනි පාරක් දක්වා මේක දුරදිග යවන්න එපා. ’’පියුමාල් කීය. කණ්ඩායම් රැස්වීමේ සිටි සියලුදෙනාගෙන් එල්ල වෙමින් තිබූ පීඩනය හමුවේ ටිකිරි බණ්ඩා කට ඇරියේය. ‘‘මම දාලා තියෙන නඩුවට අවාසිවෙන හින්දා මේක ඉල්ලා අස්කරගන්න බැහැ. මගේ ලෝයර්ගෙන් මේ ගැන අහන්න ඕනෑ. ’’යැයි ඔහු කීය. යළිත් කතා කළේ පියුමාල්ය. ‘‘ ඒ ප‍්‍රකාශය කියන්නේ එකක්. නඩුව කියන්නේ තව එකක්. මේ දෙකෙන් එකිනෙකට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා හිතනවා නම් ඔබතුමාගේ ලෝයර් එක්ක කතාකරගෙන කියන්න ඕන වචන ටික කොළේක ලියාගෙන ඇවිත් ඒ වචන ටික කියලාවත් මේක ඉල්ලා අස්කරගන්න. ’’පියුමාල් ටිකිරි බණ්ඩාට පැහැදිලි කළේය. කෙසේවෙතත් එල්ල වූ දැඩි පීඩනය හේතුවෙන් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගැනීමට ටිකිරි බණ්ඩා කණ්ඩායම් රැස්වීම අවසනායේදී එකග වූ බවක් පෙන් වූ නමුත් පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් අදාළ ප‍්‍රකාශය පිළිබදව කිසිදු සදහනක් නොකරම ටිකිරි බණ්ඩා දෙවැනි වරටත් ලිස්සා ගොස් තිබිණි.

කනත්තේ වැළලෙනවාද ? ගේට්ටුව ගාවින් බහිනවාද ?

සභාපති ටිකිරි බණ්ඩා විසින් දැන් දැන් අනුගමනය කරමින් සිටින අන්තනෝමතික සහ උද්ධච්ඡ ක‍්‍රියා කලාපය හේතුවෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන සෙසු මන්ත‍්‍රීවරුන් තමන් වෙතම කරගනිමින් සිටින අයුක්තිය සහ අසාධාරණය පිළිබදව ‘අඵ යට ගිනි ’පිටුව හරහා සටහනක් තැබීමට ලියුම්කරු කල්පනා කරන්නේ එම මන්ත‍්‍රීවරුන්ට තමන්ට සිදුවෙමින් ඇති අසාධාරණය පිළිබදව නිවැරදි තක්සේරුවක් නැතැයි පෙනී යන බැවිනි. ටිකිරි බණ්ඩා විසින් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තෙක් වයඹ පළාත් සභා රැස්වීම පැවැත්වෙන පැත්ත පළාතක පස් පෑගීමටවත් මාධ්‍යවේදීන් සූදානමක් නැත. එවැනි පසුබිමක් තුළ සභාව තුළ සිදුකෙරෙන ප‍්‍රශ්න, යෝජනා සහ පුද්ගලික ප‍්‍රකාශ ආදී මන්ත‍්‍රී ක‍්‍රියාකාරකම් මහජනතාව වෙත ගලාගිය එකම මාර්ගයද මේ වනවිට ඇත්තේ වැසී ගොසිනි. වෙනදාට වයඹ පළාත් සභාව වෙනුවෙන් පුවත්පත්වල පිටු ගණන් වෙන්කෙරුණු නමුත් වයඹ සභාවේ කිසිදු මන්ත‍්‍රීවරයෙකු වෙනුවෙන් කොලමක් හෝ වෙන් නොවූ මාස හතරක් ගෙවී ගොස් අවසන් විය. වයඹ පළාත් සභා රැස්වීමේදී කෙරෙන ප‍්‍රශ්න, ප‍්‍රකාශ සහ විවාදයන්වලදී වඩාත් සක‍්‍රීය මට්ටමේ දායකත්වයක් ලබාදෙන සමන්ප‍්‍රිය හේරත්, චින්තක මායාදුන්නේ, ට්‍රෙවින් ප‍්‍රනාන්දු, විත‍්‍රාල් ප‍්‍රනාන්දු, පියුමාල් හේරත්, මොහාන් පෙරේරා, බණ්ඩාර රාජපක්ෂ ඇතුලු ක‍්‍රියාකාරී මන්ත‍්‍රීවරුන්ට මේ අඩුපාඩුව වඩාත් හොදින් දැනී ඇතිවාට සැක නැත. සැබැවින්ම වයඹ සභාවේ මන්ත‍්‍රීවරුන් මුහුණදෙමින් සිටින මෙම අවාසනාවන්ත ඉරණමේ ආදීනව දැකගත හැකිවනු අද හෝ හෙට නොව ඇත්තේ මීළග පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සිදු වූ විටෙකදීය. එම මැතිවරණයේදී තමන් විසින් ජනතාව වෙනුවෙන් නැගූ හඩ මෙන්න යැයි කියා පෙන්වීමටවත් පත්තර කෑල්ලක්වත් මන්ත‍්‍රීවරුන්ට ඉතිරි වී නොමැති හෙයිනි. මින්පෙර අවස්ථාවකදීත් කියා ඇතිවා සේම අවුරුදු විසි ගණනක් තිස්සේ පළාත් සභාව නියෝජනය කළ නමුත් ටිකිරි බණ්ඩා යනු ඉතාම නිශ්ක‍්‍රිය මන්ත‍්‍රීවරයෙකු ලෙස හංවඩු ගැසී සිටින චරිතයකි. ඒ අවුරුදු විසි ගණන පුරාම තමන් නියෝජනය කරන පොල්ගහවෙල ජනතාව වෙනුවෙන් ටිකිරි බණ්ඩා විසින් හඩක් නගා ඇත්නම් ඒ ඉතාම අල්ප අවස්ථාවන් ගණනකි. වයඹ පළාත් සභාවේ පසුගිය වසරවල හැන්සාඞ් වාර්තාවන් පරීක්ෂාකරන ඕනෑම අයෙකුට ටිකිරි බණ්ඩා යන නම පවා ඒවායේ සනිටුහන් වී ඇත්තේ කෙතරම් අඩු වාර ගණනක්දැයි මනාව තහවුරු කර ගත හැකි වෙයි. වයඹ පළාත් සභාව ගැන දන්නා කියන කවුරුත් කියන්නේ වයඹ පළාත් සභාවේ සවිකර ඇති මයික‍්‍රෆෝන පවා ටිකිරි බණ්ඩාගේ හඩ හදුනාගත්තේ ඔහු සභාපති පුටුවේ අසුන්ගත් පසුව වන බවය. එවන් නිශ්ක‍්‍රීය ජනතා නියෝජිත ඉතිහාසයක් හිමි අයෙකුගේ උද්ච්ඡ ප‍්‍රකාශයක් වෙනුවෙන් වයඹ පළාත් සභාව නියෝජනය කරන තරුණ, සක‍්‍රීය සහ දිගු දේශපාලන ගමනක් හිමි දේශපාලනඥයින් ගණනාවකට වන්දි ගෙවන්නට සිදුවීම අතිශය කණගාටුදායක තත්වයකි. එබැවින් දේශපාලන අනාගතයක් ගැන කල්පනා කරන වයඹ පළාත් සභාවේ සිහි බුද්ධිය ඇති මන්ත‍්‍රීවරුන් ටිකිරි බණ්ඩාට එරෙහිව කැරැල්ලක් සදහා මුලපිරිය යුතු කාලය එළැඹ ඇති බව ලියුම්කරුගේ අදහස වෙයි. ටිකිරි බණ්ඩා විසින් තනිව කළ වරදකට සාමූහික වගකීමේ නාමයෙන් තමනුත් අකාලයේ දඩුවම් විදිය යුතු දැයි මන්ත‍්‍රීවරුන් දැන් කල්පනා කළ යුතුය. අනෙක් අතට තමන්ගේ පුද්ගලික මතයක් වෙනුවෙන් සහෝදර මන්ත‍්‍රීවරුන් 51 දෙනෙකු දංගෙඩියට බිලි දී සිටින ටිකිරි බණ්ඩා වෙනුවෙන් තවදුරටත් ආරක්ෂා කරන්නේ අහවල් සාමූහික වගකීමක්දැයි මන්ත‍්‍රීවරුන් තම තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකර අසාගත යුතුය. ටිකිරි බණ්ඩා මීළග මැතිවරණයෙන් නියත වශයෙන්ම පරාජයට පත්කර ගෙදර හරින බවට මේ වන විට වයඹ පළාතේ පුරා විසිරී සිටින සියලූ මාධ්‍යවේදීන් එකාවන්ව ප‍්‍රතිඥා දී සිටිති. ටිකිරි බණ්ඩාගේ මාධ්‍ය මර්දනකාරී පිළිවෙත තවදුරටත් ඉවසා සිටිමින් ඉදිරි මැතිවරණයකදී පරාජිතයින්ගේ ලැයිස්තුවේ තැනක් හිමි කරගන්නවාද එසේත් නැතිනම් ටිකිරි බණ්ඩා පුටුවෙන් ඇද දමා වැදගත් මන්ත‍්‍රීවරයෙකු සභාපති පුටුවේ අසුන්ගන්වා හත්වැනි පළාත් සභාවත් නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගන්නවාදැයි සෙසු මන්ත‍්‍රීවරුන් දැන් කල්පනා කළ යුතුය. මෙම සටහන නිමාකරන්නට ලියුම්කරු විසින් තෝරාගන්නේ ඇමැති එස්. බී. දිසානායක 2001 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයෙන් ඉවත් වී එජාපයට එක්වෙමින් කළ ප‍්‍රකාශයකි. එස්. බී. එදා කිව්වේ ආණ්ඩුව යමින් සිටින්නේ කනත්ත දෙසට බවට ජනපතිනි චන්ද්‍රිකාට කොතරම් පැහැදිලි කරදුන්නත් ඕ ඊට ඇහුකන් දුන්නේ නැති බවත්ය. ඒ නිසා තමන් ඇතුලු පිරිස කනත්තේ ගේට්ටුව ළගින් බැසගත් බවත්, චන්ද්‍රිකා දිගටම කනත්තට ගිය බවත් එස්. බී. එදා කීවේය. එස්. බී.ගේ කතාව සනාථ කරමින් ඉන් මාස කිහිපයකට පසුව පැවැති මැතිවරණයෙන් චන්ද්‍රිකා රජය පරාජයට පත් වී එජාප රජයක් බලයට පත් වූ අතර එයිනුත් වසර කිහිපයකට පසුව ශ‍්‍රීලනිපයේ බලය රාජපක්ෂලා අතට මාරුවීමෙන් පසුව චන්ද්‍රිකා නැත්තටම නැති වී ගියේය. ‘‘වර්තමානය යනු අතීතය යළි යළි සිදුවීමයි ’’ යැයි දාර්ශනික කියමනක් තිබේ. එම කියමන යළි සනාථ කරවමින් එම අතීත සිදුවීම දැන් නැවත වරක් වයඹ පළාත් සභාව තුළ සිදුවෙමින් පවතී. එබැවින් වයඹ පළාත් සභාව නියෝජනය කරන ගරු මන්ත‍්‍රීවරුන් පනස් එක් දෙනාගෙන් අපට අසන්නට ඇත්තේ ඔබත් ටිකිරි බණ්ඩා සමග දේශපාලන කනත්තේ වැළලෙනවාද එසේත් නැත්නම් ගේට්ටුව ළගින් බැහැගන්නවාදැයි කියාය.

උප ඇමැති ලංසා පිල් මාරුවකට සැරසෙයි.

ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරුණේ පසුගිය සදුදාය. මුල්ගල් තැබීමේ උත්සවය සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහභාගිවීමට නියමිතව තිබූ නමුත් එදින වජිරට එදින එන්නට නොහැකි බව දන්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා උත්සවය සදහා පැමිණ තිබිණි. ඇමැති එස්. බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මෙන්ම ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති, එජාප හිරියාල සංවිධායක ජගත් යාපාද උත්සවයට සහභාගි වී සිටියහ. මන්ත‍්‍රී නලින් බණ්ඩාර මෙම උත්සවය සදහා අහම්බෙන් මෙන් සහභාගි වී සිටියේය. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනෙක් සම සභාපතිවරයා වන හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික එහි සහභාගි වී නොසිටීම සැමගේ අවධානයට ලක් වී තිබිණි. මන්ත‍්‍රීවරයා උත්සවයට සහභාගි වී නොසිටි නමුත් අවස්ථා කිහිපයකදීම ඔහුගේ නම කියැවෙනු ඇසිණි. කෙසේවෙතත් නාවින්න, නලින් සහ ජගත් යාපා උත්සවය අවසන්වෙන්නට පෙර එතැනින් පිටත් වී යාම හේතුවෙන් අන්තිමට ආරාධිතයිගෙන් උත්සවයේ ඉතිරි වූයේ නිමල් ලංසා සහ මන්ත‍්‍රී අලවතුවල පමණි. උත්සවය අවසන්වීමෙන් පසුව සූදානම් කර තිබූ තේ පැන් සංග‍්‍රහය දෙදෙනා භුක්ති වින්දේ රටේ තොටේ දේශපාලනය ගැන කතාකරමිනි. ‘‘මචං , අපි දැන් මෙහෙම ආණ්ඩුවේ හිටියා කියලා ආයෙත් වතාවක් නම් අපිට මේ පැත්තෙන් ඉල්ලලා ඡන්දෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ඉස්සරහට මොනවා හරි පැත්තක් තෝරගන්න වෙනවා. එක්කෝ අපිට ආපහු මහින්ද ළගට යන්න වෙනවා. නැත්නම් යූඇන්පියට එන්න වෙනවා. මගේ අදහස නම් තියෙන්නේ යූඇන්පියට එන්න. ’’ලංසා අලවතුවලගේ කරට අතක් දාගෙන කියූ ආකාරය තේ පැන් සංග‍්‍රහයේ අසුන්ගෙන සිටි බොහෝදෙනෙකුට ඇසිණි. ‘‘ඉතිං මොනවද බල බලා ඉන්නේ. එන්නකො මේ පැත්තට.’’ලංසාගේ පිල්මාරුවට උඩගෙඩි දෙමින් ජේ. සී. ලංසාට පොහොර දැම්මේය. ‘‘ බැසිල් තමයි මගේ ලොක්කා. බැසිල් එක්ක ඕන වෙලාවක මට යන්න පුලුවන්. ඒ ගියාට මිනිස්සු අපිට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිටත් තියෙන්නේ යූඇන්පී එකේ පිහිට තමයි. ’’ ලංසා කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 ජූලි 07 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article