Friday, April 26, 2024

සිගිත්තෙකු සහ මවක වැලි ලොරියකට බිලිවීමෙන් තෙලියගොන්නේ උණුසුම් තත්වයක් !

Must read

theliyagonna _accident

අවුරුදු එක හමාරක් වයසැති සිගිත්තෙකු සහ මවක වැලි ලොරියකට යට වී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් මුල්කරගනිමින් කුරුණෑගල, තෙලියගොන්න ප්‍රදේශයෙහි මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

මිය ගිය මව සහ සිගිත්තා මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව කියැවෙයි.

මෙම මව සහ සිගිත්තා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තෙලියගොන්න මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී වැලි ප්‍රවාහනයේ යෙදුණු ටිපර් රථයකට යට වී ඇති බවත්, අනතුරින් එම දෙදෙනා එතැනදීම ජීවිතක්ෂයට පත් වී ඇති බවද කියයි.

අනතුර සිදුකිරීමෙන් පසුව ටිපර් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් තිබේ.

අනතුරින් පසුව තෙලියගොන්න ප්‍රදේශවාසීහු ප්‍රකෝපකාරීව හැසිරීම හේතුවෙන් එම ස්ථානයට පොලිසිය ගෙන්වීමටද සිදුවිය. මෘත ශරීර රෝහල වෙත ගෙනයාමට එහි පැමිණි ගිලන් රථයකටද කෝපයට පත් පිරිස් විසින් පහර දී ඇති බවද කියයි.

අනතුර පිළිබද වාර්තා කිරීම සදහා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ටද එහි සිටි පිරිසක් විසින් බාධා කළ අතර , අදාල අනතුර පිළිබද වාර්තා නොකරන ලෙස  දිගින් දිගටම තර්ජනය කළහ. එම පිරිස විසින්  එහිදී මාධ්‍යවේදියෙකුට පහරදීමට උත්සාහ කළ බවද වාර්තා වෙයි.

පවතින තත්වය හමුවේ මෙම අනතුර පිළිබදව සීමාසහිත වාර්තාකරණයක යෙදීමට  සිදුවීම පිළිබදව වයඹ ටුඩේ පාඨකයින් වෙත අපගේ කණගාටුව පළකරමු.

update 2018.02.21 9.20 am 

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වන  සිගිත්තෙකු සහ ඔහුගේ 54 හැවිරිදි මිත්තණිය බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය පැද වූ පුද්ගලයා මේ වනවිට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබයි.

 FINAL update 2018.02.21  8.45 pm 

කුරුණෑගල – මහනුවර මාර්ගයේ තෙලියගොන්න ප්‍රදේශයේදී, පස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට යටවීමෙන් දෙහැවිරිදි සිගිත්තෙකු සහ ඔහුගේ මිත්තණිය ඊයේ  (20 දා) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාවතගම, පරගහදෙණිය, හෙට්ටිගලවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රුෂ්ඩි හමීදි අහමඩ් නැමැති අවුරුදු දෙකයි මාස 08 ක් වයසැති සිගිත්තෙකු සහ සෙයියදු අහමුදු නෙහිමත් උම්මා නැමැති 54 වියැති ඔහුගේ මිත්තණියයි.

මියගිය සිගිත්තා තම සීයා සහ ආච්චි සමග යතුරුපැදියකින් ගමන් කර ඇති බවත්, යතුරුපැදිය පදවා ඇත්තේ සිගිත්තාගේ සීයා විසින් බවත් මූලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ. මෙම පිරිස රැගත් යතුරුපැදිය සහ අනතුරට සම්බන්ධ ටිපර් ලොරි රථයද මාවතගම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වී ඇති බවත්, තෙලියගොන්න මුස්ලිම් පල්ලිය ආසන්නයේදී ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයේ යතුරුපැදියෙහි හැඩලය ඇමිණීම නිසා යතුරුපැදිය බිම පෙරළී ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එහිදී යතුරුපැදියේ පසුපස අසුන්ගෙන සිටි සිගිත්තා සහ මිත්තණිය, ධාවනය වෙමින් පැවැති ටිපර් රථයේ රෝද අතරට විසි වී ඇති බවත්, යතුරුපැදිකරු මාර්ගයේ අනෙක් පසට විසි වී ඇති බවත් පොලිසිය කියයි. ලොරියේ රෝදවලට හසුවීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා එතැනදීම ජීවිතක්ෂයට පත් වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ මොහොමදු ස්මයිල් මොහොමඩ් සත්තාර් නැමැති 61 හැවිරිදි යතුරුපැදිකරු කුරුණෑගල මහා රෝහලට ඇතුළත් කරනු ලැබීය. අනතුරින් පසුව එම ස්ථානයෙන් පලාගොස් සිටි ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබ්බාගමුව, තල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි රියදුරෙකි.  අදාල ටිපර් රථය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා පස් සැපයීම වෙනුවෙන් කුලී පදනම මත යොදවා ඇති එකක් බව පැවසෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article