Thursday, May 2, 2024

‘තිනිපිටිය’ වැව වල්වදියි වගකිවයුත්තෝ කවුද?

Must read

පුත්තලම් දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රදේශයේ කොළඹ-පුත්තලම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි , කඩුපිටිය වැව ලෙසින් හඳුන්වන” තිනිපිටිය වැව ” දැනට කාලයක සිට වල් බිහි වී අපවිත්‍ර වී ඇත. මේ ආසන්නයේම ඇති ඓතිහාසික තනිවැල්ලේ දේවාලය නිසා මෙම තිනිපිටිය වැව ද දේවාලයට පැමිණෙන සැදැහැවත් ජනතාවගේ දැඩි ආකර්ශනය දිනූ ස්ථානයක් බවට පත් වී තිබේ. වසර ගණනාවක සිට මෙම වැවේ හි ජපන් ජබර, සැල්වීනියා සහ වෙනත් අවශේෂ වල් ශාකයන් වැවී වැවෙහි ජලය නිසි ලෙස ගලා යෑමට අවහිර වී තිබෙනු දක්නට ලැබේ. මීට දශකයකට පමන කලින් මෙම වැව ආසන්නයේ ඇති තනිවැල්ලේ දේවාලයට පැමිණෙන බොහෝ සැදැහැවතුන් මෙම වැවෙහි ස්නානය කර දේවාලයට පිවිස ආගමික වතාවත්වල නිරත වූ බව එම දේවාලය අසල ව්‍යාපාරිකයෙකු අප හා පැවසීය. එහෙත් අද වන විට මෙම වැවේ ජලය නිසි ලෙස ගලායාමක් සිදු නොවන නිසා එම වැව් ජලය අපවිත්‍ර වී ඇති ආකාරයද දැක ගත හැකිය

   තිනිපිටිය වැවේ නඩත්තු කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන  පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේශයේ පිහිටි පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලයට අප දුරකථනයෙන් කතා කළ විට , නම සඳහන් කිරීමට අකමැති වූ  තාක්ෂණ නිලධාරියෙකු අප වෙත අදහස් ප්‍රකාශ කරමින්කියා සිටියේ,  තිනිපිටිය වැව ඇතුළු මේ ප්‍රදේශයේ පවතින වෙනත් වැව් වලින් වැඩි ප්‍රතිලාභ ලබන්නේ  වී ගොවිතැනෙහි යෙදෙන ගොවි මහතුන් බවත්, ඒ අනුව මෙවැනි වැව්වල ස්වභාවිකව වැව් ව්‍යාප්ත වන ජපන්ජබර සහ සැල්වීනියා වැනි වල් ශාකයන්  ගලවා සුද්ද පවිත්‍ර කිරීමට විශාල මුදලක් වැය වන අතර   එම  ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන සහ පිරිස් බලය පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නොමැති බවයි.   ඔහු පෙන්වා දෙන්නේ  එලෙස විශාල මුදලක් වැය කර මෙවැනි වැව් සුද්ද පවිත්‍ර කර නැවත වල් ශාකයන් වැවීමට ඉඩ නොදී එම වැව් නිසි ලෙස පවත්වාගෙන යෑමට මෙම වැව් වල  ජලයෙන් වී ගොවිතැනෙහි යෙදෙන ගොවි මහතුන්ගෙන් සැදුම්ලත් ගොවි සංවිධාන වලට භාර දුන්නද එම සංවිධාන වලින් නිසි ආකාරයට එම කාර්යය සිදුනොවන බවයි.ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මීට වසර ගණනාවකට පෙර මේ ප්‍රදේශයේ ගොවි සංවිධාන වඩාත් කාර්යක්ෂම ගොවි සංවිධාන ලෙස කටයුතු කළ බවයි. එහෙත් මේ වන විට මේ ප්‍රදේශයේ ගොවි සංවිධාන ද යම් ආකාරයක අකර්මණ්‍යතාවයන් පෙන්නුම් කරන හෙයින් ප්‍රදේශයේ වැව් වලට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට එයද හේතු කාරණා වී ඇති බව ඔහුගේ අදහසයි. 
     එලෙසම මීට පෙර කාලවල ප්‍රදේශයේ වෙසෙන ජනතාව  රෙදි සේදීම සහ ස්නානය කිරීම  වැනි මූලික ජල අවශ්‍යතා කීහිපයක්ම මෙම වැවෙන් සපුරා ගත් බව එම එම ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් අප හා පැවසීය. ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ වසර ගණනාවක සිට මෙම වැව නිසි ලෙස සුද්ද පවිත්‍ර නොකිරීම නිසා  මෙවැනි තත්ත්වයක් ඇති වී ඇති බවයි.


තනිවැල්ලේ  දේවාලය
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article