Friday, April 26, 2024

දූෂිතයින් හෙළිකරන්න ආ ජවිපෙ නායකයාට තංගල්ලේදීවත් නොවුණු බාධා කුරුණෑගලදී එයි.

Must read

ayg_2016_11_10alg_july_7_4එදිරිමනගමදී සජිත්ට වැස්ස එදිරි වෙයි.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් පේ‍්‍රමදාස කුරුණෑගල ආවේ පසුගිය සිකුරාදාය. ඒ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදිවූ 13 වැනි ගම්මානය වූ , බමුණාකොටුව, එදිරිමනගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගිවීමටය. එදිරිමනගම යන නමේම ඇති එදිරිවාදී ගතිය නිසාදෝ එම උත්සවයට වර්ෂාවෙන් නොසෑහෙන ලෙස එදිරිවාදිකම් එල්ලවිය. උත්සවය ආරම්භවීමට නියමිතව තිබුණේ පෙරවරු 10ට නමුත් ඇමැති ඊට විනාඩි විස්සකටත් පෙර සජිත් උත්සව භූමිය වෙත පැමිණ සිටියේය. සජිත් එදිරිමනගමට පැමිණ තිබුණේ තනිවම නොව වැස්සත් කැදවාගෙනම බව පෙන්වන්නාක් මෙන් සජිත් වාහනයෙන් බසින්නට සූදානම් වනවාත් සමගම කඵ කරගෙන තිබූ අහසින් ධාරානිපාත වර්ෂාවක් කඩාහැලෙන්නට විය. වැස්ස මදක් අඩුකරන තුරු උත්සවය ආරම්භ කිරීම පමාකිරීම හැර වෙනත් විකල්පයක් නොවූ හෙයින් සජිත් වාහනයෙන් නොබැස ඇතුළට වී සිටියේය. විනාඩියෙන් විනාඩිය ගෙවී ගොස් පැයකට ආසන්න කාලයක් ගෙවී ගිය නමුත් වර්ෂාවේ අඩුවක් පෙනෙන්නට නොවීම නිසා අන්තිමේදී සජිත් තීරණය කළේ වැස්ස මධ්‍යයේ හෝ උත්සවය ආරම්භ කිරීමටය. එදිරිමනගම ගම්මානය විවෘත කිරීම වෙනුවෙන් වූ සමරු ඵලකය සකස් කර තිබූ ස්ථානය දක්වා වාහනයෙන් පැමිණි සජිත් එතැනදී වාහනයෙන් බැස ගත්තේය. මහ වැස්සක් ඇදහැලෙමින් තිබියදී ආරක්ෂකයින් විසින් සැපයූ කුඩ සෙවණක ආධාරයෙන් සජිත් සමරු ඵලකය විවෘත කළේය. ඇමැති එස්. බී. නාවින්න, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි සහ වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර ඵලකය විවෘත කිරීමේ අවස්ථාවට හවුල් වූයේ කුඩවල පිහිටෙනි. ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව එහි සදහන්ව ඇති දෑ පිළිබදව විමසා බලන්නටද සජිත් අමතක නොකළේය. තමා දෙපස සිටින ඇමැති නාවින්න සහ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර දෙස බැලූ සජිත් මහ වැස්සේ වුවද ඔවුන් දෙදෙනාට විහිඵවක් කරන්නටද අමතක නොකළේය. ‘‘දෙන්නා දැන් හොද යාලූවෝ නේද ? ’’සජිත් ඇසීය. නාවින්න සහ මංජුල බණ්ඩාර දෙදෙනාම හිස සලමින් සජිත්ට පිළිතුරු දුන්හ. ‘‘අද ඊයේ නෙවෙයිනේ. ඔයාලා හැත්තෑ හතේ ඉදන්ම හොද යාලුවෝ නේද ? ’’යැයි කියූ සජිත් මහ හඩින් සිනාවිය. එකම පක්ෂයේ සාමාජිකයින් බවට පත්වීම තුළ අද වනවිට වළදමා ඇති පැරණි කෝන්තර පිළිබදව සජිත් විසින් සිහිපත් කිරීම නිසාදෝ මංජුල සහ නාවින්න දෙදෙනාත් සජිත් සමග එක්ව සිනාසුණහ. වර්ෂාව මධ්‍යයේ වුවද තම සුපුරුදු රටාව වෙනස් කරන්නට අකමැති වූ සජිත් කුඩයක් ඉහළාගෙන ගම්මානය පුරා පිහිටි නිවසින් නිවස වෙත යමින් ඒවා විවෘත කළේය. නිවාස විසි හතරම සජිත්ගේ අතින් විවෘත කර, ඒ හැම නිවසකටම ගොඩවැදී නිවැසියන් සමග කතාබහ කර අවසන්වන විට ඔහු හැද සිටි ඇදුම් පවා තෙතබරිත වී ගොස් තිබිණි. සජිත් ජනහමුව සදහා ප‍්‍රධාන වේදිකාවට ගොඩවූයේද තෙතබරිතව සිරුරෙන් යුතුවය. තවත් කාර්යයක් සදහා යා යුතු බව කියමින් ඇමැති නාවින්න ඒ වන විට උත්සවයෙන් සමුගෙන ගොස් තිබිණි. ආරාධිතයෙකු ලෙස උත්සවයට තවත් අමුත්තෙකු පැමිණ සිටි නමුත් ඔහු ප‍්‍රධාන ආරාධිතයින්ගේ වැඩි අවධානයකට ලක් වූ බවක් නොපෙනිණි. ඒ වාරියපොල ශ‍්‍රීලනිප සංවිධායක ආනන්ද ජයලත්ය. සජිත්, ඉන්දික,මංජුල සහ ආණ්ඩුකාර පියසීලී වෙනුවෙන් වේදිකාවේ ඉදිරිපෙළ අසුන් වෙන්වී තිබූ නමුත් ආනන්දට හිමි වී තිබුණේ වේදිකාවේ මැදපෙළ අසුනකි. ආනන්ද සමග කතාබහ කරන්නට එජාපය නියෝජිතයින් කිසිවෙකුත් උත්සාහ නොකළා මෙන්ම ආනන්දත් එම පිරිස සමග කතාබහකට නොගිය බවක් පෙනෙණි. සම්මුතිවාදී ආණ්ඩුකරණයක් ගැන නිතර දෙවේලේ කියැවෙන නමුත් එජාපයට වැඩි බලයක් පවතින වේදිකාවක නිහඩ බව හොදම පිළිවෙතයැයි තීරණය කිරීම නිසාදෝ ආනන්ද තමන්ට හිමි වූ අසුනට වී පාඩුවේ හිදින්නට වගබලාගෙන තිබූ බවක් පෙනිණි. කෙසේවෙතත් මේ නොසන්සුන්කම නිසාදෝ උත්සවයේ වැඩි වේලාවක් රැදී නොසිටි ආනන්ද වේදිකාවෙන් බැස ඉන් නික්ම ගියේය.

හම්බන්තොට අමරදේවගම කුරුණෑගලින් එළි දකී.

පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් උදා ගම්මානයක් ආරම්භ කරන බව ඇමැති සජිත් හෙළිකළේද මම උත්සවය අමතමිනි. ‘‘අද මේ ගම්මානය විවෘත කරන්න එනකොට මට දුරකථන ඇමැතුම් දීලා කිව්වා අපි පෙරහැරවල් ලෑස්තිකරලා තියෙනවා, සංදර්ශන ලෑස්ති කරලා තියෙනවා ඔබතුමාව හරසරින් පිළිගන්න කියලා. මම කිව්වා වහාම ඒක නතර කරන්න කියලා. මොකද අද දවසේ මේ ගම්මානය විවෘත කිරීම තුළින් අපි හැමෝම සතුටට පත්වුණා වගේම හදවත ඇතුළින් මහා දුකකට සහ කණගාටුවට පත්වෙන දවසක් බවටත් පත්වෙලා තියෙනවා. ඒ තමයි සංගීත විශාරද අමරදේව ශ‍්‍රීමතාණන්ගේ හදිසි වියෝගය. ඒක අපි හැමෝටම දරාගන්න බැරි තරමේ දුකක්, කණගාටුවක්. එතුමාගේ අභාවය පිළිබද කණගාටුදායක කාරණාව මට ආරංචි වෙනකොටම මගේ හදවතට ආපු පළමුවැනි සිතිවිල්ල තමයි අමරදේව ශ‍්‍රීමතාණන් වෙනුවෙන්, එතුමා අනුස්මරණය කිරීම වෙනුවෙන් මගේ අමාත්‍යංශය හරහා දැවැන්ත ජනතා සංවර්ධනයක් ඉෂ්ට කරන්න ඕනෑයි කියන කාරණාව. එහෙනම් මම අද දවසේ ප‍්‍රකාශයට පත්කරනවා අමරදේව ශ‍්‍රීමතාණන් අභාවයට පත්වෙලා දින දහයක් ගතවෙන්නට පෙර, අඩුම ගණනේ දින හත අටක්වත් ඇතුළත එතුමාගේ නාමය වෙනුවෙන් උදාගම්මානයක් ආරම්භ කරනවා කියන එක. ’’ සජිත් කීය. පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකෙරෙන උදාගම්මානය සදහා හම්බන්තොට ප‍්‍රදේශය තෝරාගෙන ඇති බව කියැවෙන අතර නුදුරු දිනයකදීම එහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බවද වැඩිදුරටත් කියැවෙයි.

අනුර කතාකරද්දී ලයිට් – මයික් දෙකම ලෙඩදෙයි.

‘‘දූෂිතයෝ සහ ආරක්ෂකයෝ ’’යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් දිවයින පුරා සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණ මාලාවක කුරුණෑගල සම්මන්ත‍්‍රණය පැවැත්වුණේ පසුගිය සිකුරාදා පස්වරුවේදීය. කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශණය පැවැත්වීම සදහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කුරුණෑගලට පැමිණ සිටියේය. අනුර සිය දේශණය ආරම්භ කර ටික වේලාවක් යද්දී කථන මේසයට සවිකර තිබූ මයික්‍රෝෆෝනයක් කුරු කුරු හඩක් නගන්නට විය. වේදිකාවේ අසුන්ගෙන සිටි ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න වේදිකාවෙන් බැස වහා වහා ඇවිද ගියේ අනුරගේ දේශණයට බාධාකළ දෝෂය නිවැරදි කිරීම පිළිබදව සොයාබැලීමටය. නාමල්ගේ දැනුම්දීම අනුව එහි පැමිණි භික්ෂූන් වහන්සේ නමක් විසින් මයික්‍රෝෆෝනයේ දෝෂය නිවැරදි කළේය. අනුරගේ කතාව නොනැවතී ඉදිරියට යද්දී ශාලාව තුළ සවිකර තිබූ ශබ්ද විකාශණ යන්ත‍්‍රවලින් එක්වරම හූ ගෑවිල්ලක් නැගෙන්නට විය. පෙර භික්ෂූන් වහන්සේම ඉදිරිපත් වී එම දෝෂයද නිවැරදි කළේය. අනුර යළිත් දේශණය ආරම්භ කළ නමුත් විනාඩි දහයක් ගෙවෙන්නටත් පෙර නැවත වතාවක් බාධාවක් මතුවී ආවේය. මයික‍්‍රෆෝනයේ කුරු කුරු දෝෂය නැවත මතු වී තිබිණි. දිගින් දිගටම සිදුවන බාධාවීම් හමුවේ ජවිපෙ නායකයාද තරමක් නොසන්සුන් වූ බවක් පෙණිනි. සංවිධායක කමිටුවේ සාමාජිකයින් විසින් ලෙඩ වූ මයික‍්‍රෆෝනය කථන මේසයෙන් ඉවත්කරගෙන ගොස් විනාඩි කිහිපයකට පසුව නැවත වතාවක් කථන මේසය උඩ තැන්පත් කළහ. මයික‍්‍රෆෝනය දෙස සිනාමුසු මුහුණින් බැලූ අනුර ‘‘හරි එහෙනම් අන්තිම පාරටත් බලමුකෝ. “ යැයි කියමින් කතාව ආරම්භ කළේය. විනාඩි කිහිපයක්ම ගෙවී ගිය නමුත් මයික‍්‍රෆෝනයේ හෝ ශබ්දවාහීනිවල දෝෂ යළි මතු නොවීය. ඒ නිසාම සිය සුපුරුදු වාග් විලාසයට පැමිණි අනුර පසුගිය සමයේදී නාමල් රාජපක්ෂ විසින් නීතිවිරෝධී ලෙස අත්පත්කරගත් දේපළ ලැයිස්තුවක් කියවන්නට විය. අනුරට එම ලැයිස්තුවෙන් කියවා අවසන් කිරීමට ලැබුණේ අඩක් පමණි. එක්වරම ශාලාවේ විදුලිය විසන්ධි වී අනුර කතාකරමින් සිටි සිටි වේදිකාව අදුරේ ගිලී ගියේය. නමුත් ශාලාවේ පිටුපස කොටසට විදුලි බලය පැවතීම නිසා ශාලාවේ ටි‍්‍රප් ස්විචය වෙත දිව ගිය සංවිධායකයින් එම ස්විචය ඉහළ දමා විසන්ධි වී තිබූ විදුලියට පණ දුන්හ. නමුත් ස්විචය කිහිප වතාවක්ම පහත වැටී විදුලිය නිවී ගියේය. අදුර මැද්දේම කතාකරගෙන යාමට උත්සාහ කළ අනුර මෙතැනදී සිය මාතෘකාව මොහොතකට වෙනස් කළේය. ‘‘අද ගොඩක් බාධාවෙනවා වගේ නේද ? ඊයේ අපි මේ රැස්වීම තිබ්බේ මහින්ද මහත්තයාගේ කාල්ටන් ගෙදර ඉස්සරහම. මීටර් සීයක් නැහැ පරතරය. පාරෙන් එහා පැත්තේ මහින්ද මහත්තයාගේ ගේ. හෝල් එක පාරෙන් මෙහා පැත්තේ. එතකොටවත් මෙච්චර බාධා නම් තිබ්බේ නැහැ. ලයිට් හොදට තිබ්බා. මයික් හොදට වැඩ කළා. මම කතාව පටන්ගනිද්දිම මහින්ද මහත්තයාට ආරාධනාවකුත් කළා ගෙදර ඉන්නවා නම් පුටුවක් අරන් ඇවිත් මැද සාලේ වාඩිවෙලා, කහට කෝප්පෙකුත් ළග තියාගෙන අහන්න පටන්ගන්න කියලා. “ අනුර කලුවරේම කීය. අනුර අනතුරුව හැරුණේ ඔහුගේ කතාව පටිගත කරමින් සිටි මාධ්‍යවේදීන් දෙසටය. ‘‘ලයිට් නැතුවට කමක් නැහැ නේද ? වැඩේ කරගෙන යමුද ? ’’ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඇසීය. අදුරේ ගිලී තිබූ වේදිකාවේ ඇති කිසි දෙයක් රූපවාහිනි කැමරාවලට හසුනොවන බව මාධ්‍යවේදීහු අනුරට කීහ. ‘‘ඒක තමයි. මටත් පේනවා ටිකක් අඩුයි. ’’යැයි අනුර කීවේ තමා අතෙහි තිබූ ලැයිස්තුව දෙස බලමිනි. ටික වේලාවක් ගතවෙද්දී විදුලි දෝෂය නිවැරදි කරමින් ශාලාව නැවත ආලෝකමත් විය. අදුර ආලෝකය පිළිබදව තැකීමක් නොකළ අනුර සිය දේශණය දිගටම කරගෙන ගියේය. දේශණය ඉදිරියට ඇදීගෙන යද්දී තරුණ බෞද්ධ සංගම් ශාලාවේ ශාලාවේ පිටත බිත්තියට හේත්තු කර තිබූ යකඩ තහඩුවක් මහ හඩ නංවමින් බිමට ඇදවැටෙද්දී ශාලාව නැවත වරක් නොසන්සුන් විය. සිය දේශණයට එල්ල වූ බාධාවලින් ඒ වන විට හොද හැටි පදම් වී සිටි ජවිපෙ නායකයා හඩ ආ දෙස හිස හරවා බලා සිය දේශණය අඛණ්ඩවම පවත්වාගෙන ගියේය .

මුනිදාස වෙනුවෙන් දයාසිරි ලේ දෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ බිංගිරිය හිටපු ශ‍්‍රීලනිප සංවිධායක මුනිදාස පේ‍්‍රමචන්ද්‍රගේ දෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා පැවැත්වුණේ බිංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය. පේ‍්‍රමචන්ද්‍ර පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව සංවිධානය කර තිබූ ලේ දන්දීම සදහා බිංගිරිය වත්මන් ශ‍්‍රීලනිප සංවිධායක තනතුර හොබවන ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරද ස්වේච්ඡාවෙන්ම එක්වීම විශේෂත්වයක් විය. බිංගිරියේ මරණාධාර සමිතියකට උපකරණ ප‍්‍රදානයක් සදහා එක් වී සිටි දයාසිරිට ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැත්වෙමින් තිබූ ලේ දන්දීමේ වැඩසටහන පිළිබදව ආරංචි වී තිබිණි. භාණ්ඩ ප‍්‍රදානය අවසන් කළ දයාසිරි වාහනයට නැග්ගේ ‘‘යමු ඒ ජී ඔෆිස් එකට. එතැන සුදු මහත්තයා වෙනුවෙන් ලේ දන්දීමක් යනවා. ’’යැයි කියමිනි. අනපේක්ෂිත ලෙස ලේ දන්දීමේ වැඩසටහනට පැමිණි දයාසිරි දුටු පේ‍්‍රමචන්ද්‍ර ඥාතීහු ඔහු සාදරයෙන් පිළිගත්හ. රුධිර දායකයින් පරීක්ෂා කිරීමේ යෙදී සිටි වෛද්‍යවරයා වෙත ගිය දයාසිරි තමන්ටද ලේ දන්දීමට අවශ්‍ය බව පැවසීය. ‘‘ඔබතුමා මීට කලින් ලේ දීලා තියෙනවාද ? ’’වෛද්‍යවරයා දයාසිරිගෙන් ඇසීය. ‘‘අපොයි ඔව් සෑහෙන වතාවක් දීලා තියෙනවා. අන්තිමට දුන්නේ කුලියාපිටියේදී. ඒ දීලත් දැන් මාස හයකට වැඩියි.’’දයාසිරි කීය. ‘‘අද දවසේ දුර ගමන් එහෙම යොදාගෙන තියෙනවාද? ’’ වෛද්‍යවරයා යළි ඇසීය. ‘‘යාපනේ නම් යන්න තියෙනවා. ඒකට කමක් නැහැ. ලේ දෙමුකෝ. ’’දයාසිරි කීය. රුධිර දායකයින් වෙනුවෙන් සකස් කර තිබූ ඇදක වැතිරුණු දයාසිරි මුනිදාස පේ‍්‍රමචන්ද්‍ර හෙවත් සුදු මහත්තයා සිහිපත් කරමින් ලේ පයින්ට් එකක් දන් දුන්නේය. ආරාධනයකින් තොරව පැමිණ දයාසිරි විසින් සිදුකළ සද්කාර්යය අගය කරමින් මුනිදාස පේ‍්‍රමචන්ද්‍රගේ දියණිය කොෟශල්‍යා සහ පුත් සුභාරත් විසින් දයාසිරි වෙත පිහිඹිය පැළයක්ද පිළිගැන්වූහ.

අකිල කොම්පියුටර් කුලියට ගන්න යයි.

කුලියාපිටිය බිබිලදෙණිය ශ‍්‍රී ගුණානන්ද විද්‍යාලයේ නව විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම සිදුවූයේද පසුගිය සිකුරාදාය. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාරද ආරාධිතයෙකු ලෙස එක්වී සිටියේය. උත්සවය ඇමැතූ අකිල අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරියේදී අනුගමනය කිරීමට නියමිත අපූරු තීරණයක් පිළිබදවත් හෙළිදරව් කළේය. ‘‘මින් ඉදිරියට පාසල්වලට සල්ලි දීලා පරිගණක ගන්නෙ නැහැ. මොකද පරිගණක සල්ලි දීලා ගන්නේ නිකම් නෙවෙයි, කොමිස් ගහන්න. ඒ නිසා ඉස්සරහට පාසල්වලට පරිගණක ගනිද්දී රෙන්ට් එකට ගන්න අපි තීරණය කළා. එක ඉස්කෝලෙකට පරිගණක පනහක් ඕනැ නම් ඒ පනහ රෙන්ට් එකට ගමු කියලා මම කිව්වා. ඒ ප‍්‍රදේශයේ කවුරු හරි තරුණයෙක් ඉන්නවා නම් පරිගණක පනහක් විතර ගෙනැත් දාලා පාසල්වලට රෙන්ට් එකට දෙන්න අපිට එක පරිගණකයකට රුපියල් තුන්දාස් පන්සීයක් විතර මාසෙකට ගෙවන්න පුලුවන්. දහයක් දැම්මොත් තිස් පන්දාහක්. පනහක් දැම්මොත් ඒ වගේ පස් ගුණයක්. එතකොට තරුණයෙකුට රැකියාවකුත් හම්බවෙයි. හැබැයි විදුහල්පතිවරුන්ට ගත්ත දවසේ ඉදලා කැඩෙන කෑලි අලුතින් දදා කොම්පැනි පෝසත් කරන්න ඕනෑ වෙන්නේ නැහැ. රෙන්ට් එකට දෙන කෙනා ඒ සියලු පරිගණක පිළිබදව වගකියන්න ඕනෑ. එතකොට අපිට මේක කරන්න පහසුයි. ’’ යැයි අකිල කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත, 2016 නොවැම්බර් 10 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article