Friday, April 26, 2024

ඇමැති හැරිසන්ට එරෙහිව මන්ත‍්‍රී තුෂාර මහ පාරට!

Must read

ayg_2017_06_05

සමූපකාර සැමැරුමේ නානප‍්‍රකාර අලකලංචි.

ජනපති මෛත‍්‍රී පසුගිය සෙනසුරාදා පස්වරුවේ කුරුණෑගල ආවේය. ඒ 95 වැනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමැරීම වෙනුවෙන් මාළිගාපිටියේදී පැවැති සැමැරුම් උළෙලට සහභාගිවීමටය. සමූපකාර දින සැමැරුම් උළෙල පිළිබදව ඊට දින කිහිපයකට පෙර සිටම කුරුණෑගල නගරය කතා කරන්නට පටන්ගත්තේ එම උත්සවය පිළිබද දැනුවත් කරමින් නගරය පුරා එල්ලා තිබූ කටවුට්වලට සිදු වූ උපද්‍රව හේතුවෙනි. නගරයේ ස්ථාන කිහිපයක එලෙස සවිකර තිබූ කටවුට් කිහිපයක තිබූ ජනපති මෛත‍්‍රීගේ රුව ඉකුත් අගහරුවාදා රාත‍්‍රියේදී කිසියම් පිරිසක් විසින් කපා දමා ඒවාට අලාභහානි සිදුකර තිබිණි. බදාදා දහවල් වන විට අලාභහානි කළ පුවරු එම ස්ථානවලින් ඉවත්කරගෙන ගොස් තිබූ නමුත් පසුදින උදෑසන අලුතින් සකස් කළ පුවරු එම ස්ථානයන්හි සවිකර තිබිණි. එමෙන්ම සමූපකාර දින සැමැරුම පිළිබද ප‍්‍රචාරය කරමින් මුල් දිනවලදී කුරුණෑගල නගරයේ ප‍්‍රදර්ශණය කෙරුණු කටවුට්වලට අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රුව ඇතුළත්ව නොතිබූ අතර අගමැතිවරයාගේ රුව සහිත කටවුට් කිහිපයක් එළි බැස තිබුණේ උත්සවයකට දින දෙක තුනක් පමණක් ඉතිරි වී තිබියදීය. කච්චේරිය පාර පිවිසුම අසල සවිකර තිබූ ජනාධිපතිවරයාගේ රුව රැගත් තවත් ප‍්‍රචාරක පුවරුවක් වර්ෂාව හේතුවෙන් කඩාවැටීමකටද ලක් වී තිබිණි. සමූපකාර උත්සවය වෙනුවෙන් ගැසූ කටවුට්වලට යොදා තිබූ ඇමැති ගුණදාස දෙහිගමගේ ඡායාරූපයද වැඩිදෙනෙකුගේ අවධානය දිනාගත් එකක් බවට පත් වී තිබිණි. දෙහිගමගේ හිස වටා සුදු පැහැති රැස් වළලක් විහිදෙන අයුරින් එම ඡායාරූපය සකස් වී තිබූ අතර ඒ දුටු ඇතැමුන් විසින් දෙහිගමගේ රැස් විහිදෙන ඡායාරූපය, ඡයාරූප ගතකර මුහුණු පොතටද එක්කර තිබෙනු දැකගත හැකිවිය.

කෙලවරක් නැති කටවුට් අලකංලංචි මැද සෙනසුරාදා දිනය එළැඹුණු අතර එදින ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයටත් අලකලංචිවලින් නම් අඩුවක් නොවීය. සමූපකාර උත්සවය කට උඩටම පැමිණ තිබියදී හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් වයඹ සමූපකාර ඇමැති දෙහිගමට රෝහල්ගතවෙන්නට සිදුව තිබූ අතර උත්සවයට පෙර දිනයේදීත් ඇමැති දෙහිගම කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියේය. සෙනසුරාදා පස්වරුවේ මාළිගාපිටියේ පැවැති උත්සවයට ඇමැති දෙහිගම සහභාගි වී තිබුණේ ජනපති පැමිණෙන උත්සවයට තමන් අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බව කියමින් එදින උදෑසන බලහත්කාරයෙන් මෙන් වෛද්‍යවරුන් ලවා ටිකට් කප්පවාගැනීමෙන් පසුවය. හරියටම පස්වරු තුන වෙද්දී මාළිගාපිටියට පා තැබූ ජනපති පිළිගන්නට ඇමැති දෙහිගමට අවස්ථාව ලැබී තිබිණි. ජනපතිගේ පැමිණීමෙන් පසුව ඇමැති දෙහිගමට සභාව ඇමැතීමේ අවස්ථාව ලැබිණි. ජනපතිට යාබද අසුනේ සිටි දෙහිගම සභාව අමතන්නට නැගිටිනවාත් සමග එම අසුනට පැමිණීම සදහා වේදිකාවේ අසුන්ගෙන සිටි මැති ඇමැතිවරුන් අතර තරගයක් ඇතිව තිබූ බව පෙණිනි. මුලින්ම නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක එම අසුනට පැමිණ ජනාධිපතිවරයා සමග කතාබහක යෙදුණු අතර, ඉන් අනතුරුව ඇමැති ජයවික‍්‍රම පෙරේරාත්, මහ ඇමැති ධර්මසිරිත් එම අසුන වෙත මාරුවෙන් මාරුවට ගොස් ජනපති සමග කතා කළහ. ඇමැති රිෂාඞ් බදූර්දීන් සභාව ඇමැතීමෙන් අනතුරුව නිවේදක දෙපළ ජනපතිට සභාව අමතන්නට ඇරැයුම් කළහ. හැත්තෑව දශකයේදී එප්පාවල සමූපකාර සමිතියේ සැපයීම් නිලධාරිවරයා ලෙස සේවය කරමින් සිටියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත්පත වූ දිනකර පුවත්පත තම මේස ලාච්චුවේ තබාගැනීම නිසා සමූපකාර රස්සාවට ආයුබෝවන් කියන්නට සිදු වූ අයුරු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය. ජනපතිගේ කතාවෙන් පසුව සමූපකාර කාර්ය සාධන තරගාවලියේ විශිෂ්ටතා දැක්වූ සමූපකාරවලට සහ තරගවලදී ජයග‍්‍රහණය ලැබූ පාසල් සිසු සිසුවියන් ඇතුලු ජයග‍්‍රාහකයින් කිහිදෙනෙකුට සම්මාන පිරිනැමීමද ජනාධිපතිවරයාගේ අතින් සිදුකෙරිණි. උත්සව න්‍යාය පත‍්‍රයේ සම්මාන ප‍්‍රදානය සදහන් වී තිබුණේ ජනාධිපතිවරයාගේ කතාවට පෙරදී නමුත් උත්සව සංවිධායකයින් විසින් සම්මාන ප‍්‍රදානය ජනපතිගේ කතාවෙන් පසුවට දැමීම හේතුවෙන් එතෙක් වේලා උත්සව සභාවේ පැවැති සන්සුන් බව බිදී ගිය බවක් පෙණිනි. ජනපති අතින් ප‍්‍රධාන වේදිකාවේදී සම්මාන පිරිනැමෙද්දී එතෙක් වේලා උත්සවයේ අසුන්ගෙන සිටි ජනතාව සිය අසුන්වලින් නැගිට සිය ගම්බිම් බලා ආපසු ගමන් ආරම්භ කර තිබිණි. සංඛේතාත්මක ලෙස සම්මාන කිහිපයක් පිරිනැමූ ජනාධිපතිවරයා උත්සවයෙන් නික්ම ගිය අතර උත්සවයට සහභාගි වී සිටි මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ප‍්‍රභූන් සියලුදෙනාත් ජනාධිපතිවරයාගේ පසුපස වැටී උත්සව භූමියෙන් නික්ම ගියහ. ප‍්‍රභූන් සියල්ලෝම උත්සවයෙන් පිට වී ගොස් තිබීම සහ සම්මාන ප‍්‍රදානයේ තිබූ අසංවිධානාත්මක බව හේතුවෙන් උතුරු නැගෙනහිර ඇතුලු දුරබැහැර පළාත්වලින් පැමිණ සිටි සම්මානලාභී සමූපකාර සාමාජිකයින් මෙන්ම පාසල් සිසු සිසුවියන්ද දැඩි අපහසුතාවයකට පත් වී සිටියහ. ජනාධිපතිවරයාගේ පැමිණීමට පෙර, ඒ වනවිට උත්සවයට සහභාගි වී සිටි මැති ඇමැතිවරුන් අතින් පළාත් මට්ටමින් සහ කුසලතා මට්ටමින් ජයග‍්‍රහණ ලබාගත් ජයග‍්‍රාහකයින්ට සම්මාන සහ සහතික පිරිනැමුණු ජාතික මට්ටමේ රන් , රිදී ජයග‍්‍රහණ දිනූ ජාතික මට්ටමේ ජයග‍්‍රාහකයින්ට තිළිණ ප‍්‍රදානය කිරීම සදහා ප‍්‍රභූන් කිසිවෙකුත් ඒ වනවිට උත්සව භූමියේ ඉතිරි වී නොසිටියහ. ඒ හේතුවෙන් ඔවුන්ට සම්මාන පිරිනැමුණේ පළාත් සමූපකාර කොමසාරිස්වරු පිරිසකගේ අතිනි. උත්සවයේ ඉතිරි වී සිටි එකම මන්ත‍්‍රීවරයා වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික කොමසාරිස්වරු සමග එක්ව සම්මාන ප‍්‍රදානයට එක්විය. සම්මාන ප‍්‍රදානය එකම අවුල් ජාලාවක් බවට පත්ව තිබූ අතර සම්මාන සහ සහතික මාරුවීම්, ජයග‍්‍රාහකයින්ට කුසලාන නොලැබීම් වැනි අවනඩු මැද මාළිගාපිටිය අදුරේ ගිලෙමින් තිබියදීත් සම්මාන ප‍්‍රදානය සිදුකෙරෙමින් තිබිණි.

මහින්දගේ රැළියට ගිය මන්ත‍්‍රීට මහගෙදර දොර වැහෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සදුදා ත‍්‍රිකුණාමලයේදී පැවැති රැස්වීමට වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් කණ්ඩායමක්ද සහභාගි වූහ. අසංක නවරත්න, ඩී. බී. හේරත්, කමල් හේරත් සහ සභාපති ටිකිරි බණ්ඩා එක වාහනයක නැගී එහි ගියහ. රැස්වීම අවසන් කළ මන්ත‍්‍රී පිරිස ඇදිරි වැටෙමින් තිබියදී කුරුණෑගල බලා ආපසු එන්නට පිටත් වූ අතර පිරිස කුරුණෑගලට ළගාවනවිට මධ්‍යම රාත‍්‍රියද පසුවෙමින් තිබිණි. අනෙක් තිදෙනාට වැඩි වේලාවක් නොගොස් ඔවුන්ගේ නිවෙස්වලට යා හැකි තත්වයක් තිබූ නමුත් මන්ත‍්‍රී කමල් හේරත්ට තවත් කිලෝමීටර් හැට හැත්තෑවක දුරක් තනිවම යා යුතුව තිබීම හේතුවෙන් ඔහු තීරණය කළේ ඉතිරි පැය කිහිපය කුරුණෑගල නවාතැන් ගෙන පසුදින පැවැත්වෙන පළාත් සභා රැස්වීමටද සහභාගි වී නිවස බලා යන්නටය. නැවැතීමට සුදුසු තැනක් කල්පනා කළ කමල්ට, වැවරවුමේ පිහිටි වයඹ පළාත් සභා නිවාඩු නිකේතනය වූ මහගෙදර සිහියට නැගිණි. මහගෙදර කාමරයක් වෙන්කරවා ගැනීමට සිය දුරකථනයෙන් පළාත් සභාවේ උසස් නිලධාරියෙකු ඇමැතූ කමල් තම අවශ්‍යතාවය අදාල නිලධාරියාට දැන්වීය. නමුත් එම නිලධාරියා කීවේ ඒ වනවිට මහගෙදරට අයත් සියලු කාමරවල අමුත්තන් පිරිසක් නවාතැන් ගෙන සිටින බවත්, කමල්ට ලබාදීමට කාමරයක් එහි නැති බවය. තමන් වැටී සිටින අමාරුව පිළිබදව මන්ත‍්‍රී කමල් දිගින් දිගටම පැහැදිලි කළ නමුත් නිලධාරියාලේ පිළිතුර පෙර පරිදිම විය. ‘‘අපි මන්ත‍්‍රීවරු වෙලත්, අපිට කියලා හදලා තියෙන එකේ කාමරයක් හදිස්සියකට ගන්න බැහැනේ. ’’යැයි කමල් තමන් සමග සිටි සෙසු මන්ත‍්‍රීවරුන් සමග කීවේය. තවත් බලා සිටීමෙන් පලක් නොවන බව වටහාගත් මන්ත‍්‍රීවරයා සිය වාහනයට නැගී නිවස බලා යන ගමන් ආරම්භ කළේය.

තුෂාර බිත්තර ගොවීන්ගේ පැත්ත ගනී.

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය ගැන හිත නොහොදින් පසුවන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් අමරසේනට හිමි වී ඇත්තේ මුල් තැනකි. එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් වසර ගණනාවක් තිස්සේ දුක් විදීමෙන් පසුව හදාගත් ආණ්ඩුවෙන් පාක්ෂිකයින්ට වැඩක් කරන්නට බැරි බවට මන්ත‍්‍රී තුෂාර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් සිටින අතර පසුගිය සමයේදී ඔහු විසින් කළ එවැනි ප‍්‍රකාශ කිහිපයක් ජනමාධ්‍ය මුල්තැනක් දී වාර්තා කර තිබිණි. ආණ්ඩුව ගැන හිත නොහොදින් පසුවන මන්ත‍්‍රී තුෂාර පසුගිය සෙනසුරාදා ආණ්ඩුවේම තවත් ඇමැතිවරයෙකුට එරෙහිව හෙට්ටිපොලදී වීදි බැස්සේ තවත් පෙරළියකට මුල පුරමිනි. බැටරි කේජ් ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙනයාමට ඇමැති පී. හැරිසන් විසින් ලබා දී ඇතැයි කියන අවසරයකට විරෝධය පළකරමින් බිත්තර නිෂ්පාදකයින් පිරිසක් එදින හෙට්ටිපොල නගරයේදී විරෝධතාවයක නිරත වූහ. රතිඤ්ඤා දල්වමින්, හැරිසන් ඇමැතිවරයාගේ අනුරුවක්ද ඔසවාගෙන හෙට්ටිපොල නගරය පුරා සැරි සැරූ පිරිස නගර මධ්‍යයේදී හැරිසන්ගේ අනුරුවට බිත්තර දමා ගැසීමෙන් පසුව ඊට ගිනි තැබූහ. මන්ත‍්‍රී තුෂාර උද්ඝෝෂකයින් ඇමැතුවේ ඇමැති හැරිසන්ගේ අනුරුව මහමග දැවෙමින් තිබියදීය. ‘‘මේ ප‍්‍රශ්නයේදී සියයට දාහක්ම, මු`ඵ හදවතින්ම මමත් මේ බිත්තර ගොවීන් එක්ක මේ ඉන්නවා. මම හිතන්නේ රජය මේ ගැටඵව පිළිබදව දැනුවත්වීමේ අඩුපාඩුවක් වෙලා තියනවා. හැරිසන් ඇමතිතුමාව අපි මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් බැටර්කේජ් කරන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් වෙනුවෙන් තවත් වසර දහයක කාලයක් ලබාදෙනවා කියලා එතුමා දැන් තීරණය කරලා තියෙනවා. රුපියල් සත වෙනුවෙන් බිත්තරයට අමානුෂික මුහුණුවරක් දීලා, හිරකාරයෝ විදියට සත්තු හදලා, කරන්න යන මේ වැඩේට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ සටන වෙනුවෙන් තමුන්නාන්සේලා බුදියන්නේ කොහේද, වැටෙන්නේ කොහේද , විරෝධතා කරන්නේ කොළඹද, හෙට්ටිපොලද ඒ කොතැන මොන දෙයක් කළත් ඒ හැම තැනකම මමත් තමුන්නාන්සේලා එක්ක ඉන්නවා. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන තැන දක්වා වැඩෙන්නට නොදී තමුන්නාන්සේලා එක්ක දිගටම සටන් කරන බව රජය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් විදිහට මම කියනවා. ’’උද්ඝෝෂණයට සහභාගි වී සිටි බිත්තර ගොවීන්ගේ අත්පොලසන් සහ විසිල් හඩ මැද්දේ ඔවුන් ඇමැතූ තුෂාර කීවේය.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත, 2017 ජූලි 06 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article