Wednesday, May 1, 2024

විශේෂ බලකා නිල ඇදුමෙන් පන්සල කොල්ලකන්න ඇවිත් පොලිසියෙන් වෙඩි කයි !

Must read

meegalawa_shoot_6

යුද හමුදා විශේෂ බලකායට අයත් නිල ඇදුම්වලින් සැරසී මීගලෑව, ශ්‍රී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානය කොල්ලකෑම සදහා පැමිණි බව කියන කොල්ලකරුවන් දෙදෙනෙකුට ඊයේ ( 24 දා) රාත්‍රියේදී පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී එක් කොල්ලකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ හිරියාල, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිසානායක මුදියන්සේලාගේ මංජුල දිසානායක නැමැත්තෙකි. ඔහු යුද හමුදාවෙන් පලා ගොස් සිටි අයෙකු බව පොලිසිය කියයි. පොලිසිය විසින් කළ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. වයි. පී. ඩී. සරත් කුමාර නැමැති එම පුද්ගලයා කොටවෙහෙර, පලුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි. යුද හමුදා විශේෂ බලකායේ සෙබළ අංක 37077 හිමි මෙම පුද්ගලයාද 2015 වර්ෂයේ සිට හමුදා සේවයෙන් පලා ගොස් සිටින අයෙකු බවද පොලිසිය කියයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටුණු අතර එම අවස්ථාවේදී ශාන්ති නිකේතනාරාම විහාරස්ථානයේද විදුලිය විසන්ධි වී තිබේ. විදුලිය විසන්ධි වී පැවැති කාලය අතරතුරදී රාත්‍රි 9.45ට පමණ යතුරුපැදියකින් විහාරයට පැමිණි කොල්ලකරුවන් දෙදෙනා තමන්ට විහාරාධිපති හිමියන්ගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබේ. එම අවස්ථාවේදී විහාරාධිපති හිමිනම පන්සලේ නොසිටි නමුත් , කොල්ලකරුවන් හමුදා නිල ඇදුමින් සිටීම හේතුවෙන් සාමනේර හිමි නමක විසින් විහාරාධිපති හිමියන්ගේ කාමරය ඔවුන්ට පෙන්වා තිබේ. එම අවස්ථාවේදී එහි ගිය කොල්ලකරුවන් විසින් කාමරයේ දොර විවෘත කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විහාරස්ථානයට පොලිස් ජීප් රථයක් පැමිණ ඇති අතර එහිදී කලබලයට පත් කොල්ලකරුවන් ඔවුන් පැමිණි යතුරු පැදියට නැගී පලායන්නට උත්සාහ කර තිබේ. එහිදී පොලිසිය විසින් කොල්ලකරුවන්ට වෙඩි තබා ඇති අතර , එක් කොල්ලකරුවෙකු විසින් ඔහු අත තිබූ ගිනි අවියෙන් පොලිස් නිලධාරින් වෙතද වෙඩි තබා තිබේ. දෙපිරිස අතර විනාඩි කිහිපයක් තිස්සේ පැවැති වෙඩි හුවමාරුව අවසානයේදී වෙඩි වැදුණු කොල්ලකරුවන් බිම ඇදවැටුණු බව පොලිසිය කියයි. වෙඩි වැදුණු එක් කොල්ලකරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී සිටි බරපතල තුවාල ලබා සිටි අනෙකා පොලිසිය විසින් රෝහල්ගත කර තිබේ. කොල්ලකරු මියගොස් සිටි ස්ථානයට නුදුරින් ටී පනස් හය ගිනි අවියක්, රිවොල්වරයක් සහ අත් බෝම්බයක් සහ ඔවුන් පැමිණි ට්‍රේල් වර්ගයේ යතුරු පැදියද වැටී තිබිණි. මිය ගිය කොල්ලකරු විශේෂ බලකා සෙබලුන් විසින් පළදින නිල ලාංඡන විශාල ප්‍රමාණයක් සහිත එම බලකායේ පූර්ණ නිල ඇදුමකින් සැරසී අයුරු දැකගත හැකි විය.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයට අද දහවල් පැමිණි ගල්ගමුව මහේස්ත්‍රාත් එල්. ටී. වරුසවිතාන මහතා විසින් සිද්ධිය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යවන ලෙසට නියෝග කළේය.

මෙම වෙඩි තැබීමෙන් පසුව ප්‍රදේශයේ කළ සෝදිසියකදී මෙම කොල්ලයට සම්බන්ධ බවට සැකපිට සැකපිට හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් සැරිසරමින් සිටි බව කියන මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෝටර් රථය තුළ තිබූ රුපියල් එක්ලක්ෂ විසිදහසක පමණ මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

කොල්ලකරුවන් විහාරස්ථානය කොල්ලකෑමට පැමිණෙන බවට පෙර ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරින් විසින් කල්වේලා ඇතිවම මෙම විහාරස්ථානය වටලා සිටි බව පොලිසි ආරංචි මාර්ග කියයි. මීගලෑව පොලිසිය මෙම වෙඩි තැබීම පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

meegalawa_shoot_5 meegalawa_shoot_4 meegalawa_shoot_3 meegalawa_shoot_2 meegalawa_shoot_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article