Friday, April 26, 2024

සෞදියේදී ගෙල වැලලාගෙන මියගිය බව කියන දෙදරු මවගේ මරණය ඝාතනයක් ?

Must read

somalatha_death

ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ගෙළවැලලාගෙන මිය ගිය බව කියන කුරුණෑගල, හැගව ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මළ සිරුරෙහි තැලීම් සහ සීරීම් තුවාල ගණනාවක් දක්නට ඇති බැවින් එම මරණය සැක සහිත බව ඇගේ ඥාතීහු කියති.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මොරගොල්ල ජනපදය, හැගව, තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි ආර්. ඩබ්ලිව්. සෝමලතා නැමැති 48 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාව සවුදි අරාබියේ රියාද් නුවර පිහිටි නිවසක ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීම සදහා 2017 මාර්තු මස 22 වැනිදා මෙරටින් පිටත් වී ගොස් තිබේ. ඉකුත් ජූනි මාසයේ සිට ඇය පිළිබදව තොරතුරක් නොමැතිවීමෙන් ඇගේ ඥාතීහු දැඩි ලෙස අසරණව සිටින බව අගෝස්තු 08 වැනිදා වයඹ ටුඩේ වෙබ් අඩවියෙන් හෙළිකෙරිණි. ඉන් අනතුරුව, එරටදී ගෙලවැළලාගෙන සිය දිවි හානිකරගත් බව කියන සෝමලතා මහත්මියගේ දේහය පසුගිය 11 වැනිදා මෙරටට එවීමට සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කටයුතු කර තිබිණි. මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ඥාතීන් වෙත භාරදෙනු ලැබූ සෝමලතා මහත්මියගේ දේහය පසුගිය පෙරේදා (13 දා ) ඇගේ නිවසට රැගෙන එනු ලැබීය.

තම මවගේ මරණය සැක සහිත බව කියන මියගිය කාන්තාවගේ එකම පුත‍්‍රයා වන ජීවන් මිහිදුකුල මහතා මෙසේ පැවසීය.
‘‘ මුලින්ම අම්මා රට යවපු ඒජන්සියෙන් අපිට ලියුමකින් දැනුම්දුන්නේ රෝගී තත්වයක් නිසා ඒ රටේ ඉස්පිරිතාලෙකදී අම්මා නැති වුණා කියලා. නමුත් දැන් මිනියත් එක්ක එවලා තියෙන ලියැකියවිලිවලින් කියන්නේ අම්මා බෙල්ලේ වැලදාගෙන මැරුණා කියලයි. මේ දෙකෙන් කොයි කතාවද අපි විශ්වාස කරන්නේ කියලා දැන් අපිට ප‍්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අම්මාගේ මිනිය පුරාම තුවාලයි, සීරිම් ලකුණුයි ගොඩක් තියෙනවා. ඒ නිසා අම්මාට පහරදීමක් වෙලා තියෙනවා කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා. මීගමුව ඉස්පිරිතාලෙන් අම්මගේ මිනිය ගැන මරණ පරීක්ෂණයක් කළත් ඒ පරීක්ෂණයේදී හෙළිවුණේ මොනවද කියලවත් අපිට මේ වෙනකම් කිසිම දැනුම්දීමක් කරලා නැහැ. ඒ නිසා මගේ අම්මගේ මරණය ගැන මට සැකයක් තියෙනවා. ඒ ගැන හරි පරීක්ෂණයක් කරලා අම්මගේ මරණය ගැන ඇත්ත නැත්ත එළිකරන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලනවා. ’’ යැයි පැවැසීය.

මියගිය කාන්තාවගේ වැඩිමහල් සොයුරෙකු වන එච්. ඩබ්ලිව්. රත්නායක මහතාද මෙසේ පැවැසීය.
‘‘ නංගිගේ මිනිය කටුනායකින් භාරගෙන ගෙදරට ගේනකම් සියලු වැඩකටයුතු වුණේ මගේ අතින්. ඒ අතරතුරදී කිහිප වතාවකදීම මිනිය සම්පූර්ණයෙන්ම දැකගන්න මට පුලුවන් වුණා. මිනිය පුරාම තුවාල කැලැල් සහ කැපීම් ලකුණු ගණනාවක් තියෙනවා. කකුල් දෙක එකට තියලා ලණු වලින් බැදපු පාරවල් තියෙනවා. මුහුණ සහ නිකට තුවාලවෙලා තියෙනවා. මමත් මේ ඇස්දෙකින් එල්ලිලා මැරුණු මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා. නමුත් ඒ කාගේවත් බෙල්ල හිරවෙලා තිබුණා මිස ඇග හැමතැනම තුවාල වෙලා තියෙනවා නම් මම දැක්කේ නැහැ. ඒ නිසා මගේ නංගි බෙල්ල වැලදාගෙන මැරුණා කියන එක නම් මම පිළිගන්නේ නැහැ. මගේ ඇස්දෙකින් දැක්ක දේවල් අනුව පහරදීමකින් තමයි මගේ නංගි මැරිලා තියෙන්නෙ කියලා මට සියයට සියයක්ම විශ්වාසයි. ඒ නිසා මේක හිතාමතා කරපු ඝාතනයක් කියලා තමයි අපි සියලුදෙනාම සැකකරන්නේ. නංගිගේ මරණය සම්බන්ධයෙන් මේ දක්වා වෙච්ච පරීක්ෂණ ගැනත් අපිට කිසිම විශ්වාසයක් නෑ. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටින්නේ මේ මරණය ගැන නිවැරදි පරීක්ෂණයක් කරන්න කියලයි. ’’ පැවැසීය.

සෝමලතා මහත්මියගේ ඥාතීන් නගන චෝදනා පිළිබදව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක උපුල් දේශප‍්‍රිය මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ මෙම කාන්තාවගේ මරණය පිළිබද සැකයක් නොමැති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා දේහය මෙරටට ගෙනැවිත් දෙන්නැයි මියගිය කාන්තාවගේ දියණිය විසින් ලබාදුන් දිවුරුම් පෙත්සමකට අනුව දේහය මෙරටට ගෙනැවිත්දීමට කටයුතු කළ බවය. කෙසේවෙතත් මියගිය කාන්තාවගේ දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණයක් එරටදී පවත්වා ඇති නමුත් එහි මරණ පරීක්ෂණ වාර්තාව තවමත් සෞදි අරාබියේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබී නැති බවද හෙතෙම පැවැසීය. සෝමලතා මහත්මියගේ මහත්මියගේ ඥාතීන් විසින් ඇයගේ මරණය සැකසහිත බවට කරන චෝදනාව පිළිබදව වැඩිදුරටත් කරුණු සොයාබැලීමට කටයුතු කරන බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.

දෙදිනක් පුරා ඇයගේ නිවසේ තැනපත් කර තැබුණු සෝමලතා මහත්මියගේ දේහය ඊයේ (14 දා ) පස්වරුවේ අඩෝරගොල්ලවත්ත පොදු සුසාන භූමියෙහි මිහිදන් කෙරිණි.

සෝමලතා මහත්මියගේ දේහය

somalatha_death_1

somalatha_death_2

සෝමලතා මහත්මියගේ අවමංගල බැනරය

somalatha_death_4

මියගිය කාන්තාවගේ වැඩිමහල් සොයුරු එච්. ඩබ්ලිව්. රත්නායක

somalatha_death_3

ටී වී වන් නාලිකාවේ පෙරේදා (13 දා) රාත්‍රි 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ සෝමලතා මහත්මියගේ මරණය පිළිබදව කළ හෙළිදරව්ව සහිත වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article