Friday, April 26, 2024

මාස දෙකක් ගෙවෙන්නටත් පෙර මහ ඇමැතිට අධ්‍යාපනය එපා වෙයි !

Must read

ayg_2017_10_26

වැඩිහිටි සැමැරුම් මැද්දේ – සමෘද්ධි ඈයොත් රැස් වේ.

සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමැති එස්. බී. දිසානායක පසුගිය සෙනසුරාදා කුරුණෑගලට ආවේ වයඹ පළාත් වැඩිහිටි දින සැමැරුම් උත්සවයට සහභාගිවීමටය. මලියදේව බාලිකා විද්‍යාලියිය ශ‍්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයට මහ ඇමැති ධර්මසිරි දසනායක සහ පළාත් ඇමැති ලක්ෂ්මන් වේඩරුවද සහභාගි වී සිටියහ. වැඩිහිටියන්ගේ නැටුම්, ගැයුම් ඇතුලු හැකියාවන් ඉදිරිපත් කිරීම සදහා උත්සවයෙන් වැඩි වේලාවක් වෙන් වී තිබූ අතර සුවිශේෂි වැඩිහිටි පිරිසක් ඇගැයීමද මෙහිදී සිදුවිය. උත්සවයේ ඉදිරිපෙළෙහි අසුන්ගෙන වැඩිහිටි නැටුම්, ගැයුම් රස විදිමින් සිටි එස්. බී. එක්වරම සිය අසුනෙන් නැගිට උත්සව ශාලාවෙන් එළියට ගියේය. ධර්මසිරි සහ වේඩරුව ඇතුලු පිරිසක්ද එස්. බී. පසුපස වැටීම නිසා උත්සවයේ ආරාධිත අමුත්තන් සදහා වෙන්කර තිබූ ඉදිරි අසුන් පෙළ එක්වරම හිස් වී ගියේය. එස්. බී. උත්සවය අමතන්නේ නැතිවම ඉන් පිටවී ගිය බව බොහෝ දෙනෙකු සිතූ නමුත් ඇත්තටම සිදු වී තිබුණේ වෙනත් දෙයකි. දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන ඒමේ න්‍යාය අනුගමනය කරමින් එස්. බී. ගේ මූලිකත්වයෙන් මලියදේව බාලිකා පරිපාලන ගොඩනැගිල්ලේ වෙනත් සාකච්ඡාවක් ආරම්භ වී තිබිණි. ඒ කුරුණෑගල සමෘද්ධි කළමනාකරුවන්ගේ හමුවකි. කුරුණෑගල සමෘද්ධි බැංකු කිහිපයක කළමනාකරුවන් ඊට එක්ව සිටි අතර ඔවුහු සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධ දුක්ගැනැවිලි එස්. බී. වෙත ඉදිරිපත් කරන්නට වූහ. පැයකට ආසන්න වේලාවක් පැවැති සාකච්ඡාව අවසන් කරමින් එස්. බී. ඇතුලු පිරිස වැඩිහිටි දින සැමැරුම් උත්සවය පැවැති ශ‍්‍රවණාගාරයට ආපසු පැමිණ වාඩි වූහ. ඒ සමගම එතෙක් වේලා උත්සවයේ නොසිටි අමුත්තෙක්ද ඇමැති එස්. බී. සමග උත්සවයට පැමිණි අතර එම අමුත්තා හදුනාගත් අයවලුන් එදෙසට අවධානය යොමු කරන්නට වූහ. එලෙස උත්සවයට පැමිණ සිටියේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන සිසිර කුමාරය. මහින්ද පිලේ කුරුණෑගල මුල් පුරුකක් වන සිසිර, යහපාලන රජය නියෝජනය කරන ඇමැතිවරුන් සිටි උත්සවයකට සහභාගිවීම යම්කිසි අමුත්තක ලකුණු පෙන්වමින් තිබිණි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මනාප ලැයිස්තුවේ තෙවැනි තැන දිනාගැනීමට සමත් වූ සිසිර මහින්ද – මෛත‍්‍රී පිල් බෙදීයාමේදී මහින්ද පිල තෝරාගත්තේය. මහින්ද පිල වෙනුවෙන් ඇප කැප වී ඒ වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කරමින් සිටි සිසිර මීට මාස කිහිපයකට පෙරදී ඔහුගේ ගම් ප‍්‍රදේශය වන මතව ප‍්‍රදේශයට හිටපු ජනපති මහින්ද ගෙන්වීමටද මුල් වී කටයුතු කළේය. එවැනි අතීතයක් සහිත සිසිර, පසුගිය සෙනසුරාදා ඇමැති එස්. බී. ගේ යාබද අසුනේ වාඩි වී ඇමැතිවරයා සමග බර සාකච්ඡාවක වැටී සිටියා පමණක් නොව වැඩිහිටියන් සදහා උපහාර පිරිනැමීමට එස්. බී. සමග වේදිකාවටද නැග්ගේය. සිසිර මලියදේව බාලිකාවෙන් නික්ම ගියේ එහි ගෘහ විද්‍යාගාරය තුළදී ඇමැති එස්. බී. සමග එක මේසයේ අසුන්ගෙන දිවා ආහාරයද ගැනීමෙන් පසුවය. දිවා ආහාරයෙන් පසුව එස්. බී. ඇතුලු ආරාධිතයින්ගේ නික්මයාමෙන් පසුව හුදෙකලා වී සිටි ඇමැති වේඩරුව ළගට කිට්ටු කළ මාධ්‍යවේදීහු සිසිරගේ වෙනස ගැන ප‍්‍රශ්න කළහ. ‘‘ආ. ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මම සිසිරව අපේ පැත්තට ගත්තා. හෙට අනිද්දට බලන්නකෝ, අහවල් මන්ත‍්‍රීතුමත් මගේ ළගට ගන්නවා.’’යැයි කී වේඩරුව දැනට මහින්ද පිල නියෝජනය කරමින් සිටින කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ තවත් හිටපු මන්ත‍්‍රීවරයෙකුගේ නමක්ද කීවේය. සිසිර එහා පැත්තේ සිට මෙහා පැත්තට ගැනීම දක්වා ක‍්‍රියාවලිය මාධ්‍යවේදීන්ට සැකෙවින් විස්තර කර දුන්නේ වේඩරුව සමග එතැන සිටි හිටපු නාගරික මන්ත‍්‍රී කමල් ගුණසිංහ විසිනි. ‘‘දැන් පොහොට්ටුවේ කට්ටිය කිය කියා යනවනේ මම හෙට අනිද්දට ඒ ගොල්ලන්ගේ පැත්තට ගන්නවා කියලනේ. එයාලා ස්ටේජ්වල කෑ ගහ ගහ ගියාවේ. මම ඒවට උත්තර දෙන්නේ කටෙන් නෙවෙයි, වැඩවලින්. මම සිසිරගෙන් වැඩ පටන් ගත්තා. තව ඉස්සරහට බලන්නකෝ. ’’යැයි කී වේඩරුව මීට මාස කිහිපයකට පෙර කුරුණෑගල නගර ශාලාවේ පැවැති පොදුජන පෙරමුණු රැස්වීමකදී එහි කථිකයින් විසින් වේඩරුව සම්බන්ධයෙන් කර තිබූ ප‍්‍රකාශ කිහිපයක්ද සිහිපත් කළේය.

වයස නොයන ඇමැති රහස

මලියදේව බාලිකාවේ පැවැති වැඩිහිටි දින උත්සවය ඇමැතූ එස්. බී. තම වයසත්, වයසට නොයා සිටීමේ රහසත් හෙළිකළේය. ‘‘සමහරවිට මෙතැන ඉන්න ගොඩ දෙනෙකුට වැඩිය මට වයස ඇති. මටත් දැන් හැට හයක්. ඒ නිසා මාත් දැන් යංග් ඇඩල්ට්සුත් නෙවෙයි. තරුණ වැඩිහිටි නෙවෙයි, හොදටම වැඩිහිටි තමයි. හැබැයි අද උදෙත් මම පැය එක හමාරක් ව්‍යායාම් කරලා තමයි මෙතැනට ආවේ. ඒ නිසා මට තවම ප්‍රෙෂර් නැහැ, ෂුගර් නැහැ, කෙලෙස්ටරෝල් නැහැ. එහෙම මොකවත් අමාරුවක් නැහැ. නමුත් හැමදාම මේ තත්වය තියාගන්න අමාරු වෙයි. අපිටත් ලෙඩ රෝග හැදෙයි. නමුත් අඩුම වශයෙන් 70 වෙනකම්වත් ලෙඩක් දුකක් හදාගන්නේ නැතිව ඉන්න අපි වගබලාගන්න ඕනෑ. ’’

වයඹ අධ්‍යාපනය ගැන ධර්මසිරි ලැජ්ජාවෙන්.

වයඹ පළාත් ගුරු සේවය සදහා නව ගුරුවරුන් 275 දෙනෙකු බදවාගැනීමේ උත්සවයක් පසුගිය සදුදා පැවැත්වුණේ මහ ඇමැති ධර්මසිරිගේ ප‍්‍රධානත්වයෙනි. එම උත්සවය ඇමැතූ ධර්මසිරි වයඹ අධ්‍යාපනය ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශ ගණනාවක්ම එහිදී සිදුකළේය. ‘‘ගුරු හිගය අපේ අධ්‍යාපනයට ලොකු බලපෑමක් කළා. මම එක කාරණාවක් කියන්න ඕනෑ, මට මේක කියන්න ලැජ්ජාවක් නෑ. පහේ ශිෂ්‍යත්වයෙන් අපි ලංකාවෙන්ම එක. මේ අවුරුද්දේ වැඩිම ලකුණු ගත්ත පාසල් දහයෙන් නවයක්ම වයඹ. හැබැයි අපි ඒ දරුවොත් එක්ක ඉස්සරහට ගිහින් සාමාන්‍යපෙළට යද්දී අපි ලංකාවෙන් හතරවැනි තැනට වැටෙනවා. පහේ ශිෂ්‍යත්වය ගැන ආඩම්බර වෙන අපි සාමාන්‍ය පෙළට යද්දි ටිකක් කණගාටුවට පත්වෙනවා. හැබැයි ඊට පස්සේ තව අවුරුද්දකින්, දෙකකින් උසස්පෙළට යද්දී අපි ලංකාවේ අට වැනි තැනට වැටෙනවා. ලැජ්ජම ලැජ්ජයි. මම එදා මේ තත්වය දැනගෙන හිටියා නම් මම ජනාධිපතිතුමාට කියනවා මට මේ විෂය එපා සර් කියලා. නමුත් ඇමැතිකම අරගෙන වයඹට ආවට පස්සේ තමයි මම මේ ප‍්‍රතිඵලය ගැන දැනගත්තේ. උසස් පෙළින් අපිට පස්සෙන් ඉන්නේ නැගෙනහිර පමණයි. අනිත් පළාත් අටම අපිට ඉස්සරහින් තමයි ඉන්නේ. සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර විතරක් නෙවෙයි ඌවත් අපිට ඉස්සරහින් ඉන්නවා. අවුරුද්දේ දෙතුන් පාරක් වැහි වැහැලා, ගංවතුරට අහුවෙලා සෑහෙන දුෂ්කරතාවයන්ට පත්වෙනවා දකුණේ දරුවෝ. දෙයියන්ගේ පිහිටෙන් අපිට සුනාමිත් නෑ, ගංවතුරත් නෑ, නායයෑමුත් නෑ. එහෙම වෙලත් දකුණ අපිට ඉස්සරහින් ඉන්නවා. ඒ අතින් අපි දුර්වලයි. ලැජ්ජයි. ඒ නිසා අපි දැන් අධ්‍යාපනය ඉදිරියට ගන්න ඕනෑ. නමුත් මම මේකට අතගහන්නේ නෑ. මොකද අපි අතගහන්න ගියොත් මේක තවත් අවුල්වෙනවා. අතගහන දේවලුත් තියෙනවා. නමුත් විදුහල්පතිවරු දාන එකටයි, ගුරුවරු මාරුකරන එකටයි මම අතගහන්නේ නෑ. ඒකට කොට්ඨාශ, කලාප, පළාත් අධක්ෂවරු සහ අමාත්‍යංශ ලේකම්වරයා ඉන්නවා. ඒ නිසා ඒ ගොල්ලෝ සාකච්ඡා කරලා මේක සමනය කරන්න ඕනෑ. ඉස්සර වාගේ අරයා මාරු කරන්න, මෙයා මාරු කරන්න කියලා මට කියන්න එපා. ලබන අගෝස්තු මාසෙයි, දෙසැම්බර් මාසෙයි ප‍්‍රතිඵල බලලා මම ජනාධිපතිතුමාටම අධ්‍යාපන විෂය ආපහු භාරදෙනවා. ආයේ ඒකේ දෙකක් නෑ. මම හිතුවොත් හිතුවා. මොකද අධ්‍යාපනය තිබුණා කියලා මම මේකේ රජ ඔටුනු පළදින්නයැයි ? මට වෙන නම්බුවක් ලැබෙනවායැයි ? ඒ නිසා වයඹ අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ඉහළට යන්න ඕනෑ. ඒ ඉලක්කය සාක්ෂාත් කරගන්න තමුන්නාන්සේලාත් හදවතින්ම දායක වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒක බලන්න මම ඉස්කෝලවලට එනවා. මින්පස්සේ පීත්ත පටි කපන්නයි, මුල්ගල් තියන්නයි නම් මම ඉස්කෝලවලට එන්නේ නෑ. මට ඒවට ආරාධනා කරන්නත් එපා. විශේෂ දෙයක් තිබුණොත් එනවා මිසක් ඔය හැම එකටම එන්න ලෑස්ති නැහැ. පීත්ත පටි ඕනෑ කෙනෙක් කපා ගත්තාවයි. ඒක මම භාරදෙනවා ඒ ආසනේ අයට. දැන් ඉතිං මනාප නැති නිසා බයවෙන්න දේකුත් නැහැනේ. ඉස්සර ඔය මනාප කෙළිය හින්දනේ එක එක ආසනවලට ගිහිල්ලා රගන්න වුණේ. දැන් මට බලාගන්න තියෙන්නේ බිංගිරිය ගැන විතරයි. ඒක මම කරගන්නම්. මේ හදවතින් කියන්නේ. හැබැයි මම ඉස්කෝලවලට එනවා. ඒ ඇවිත් ස්ටාෆ් මීටින් එකක් අරගෙන මම ඒකට වාඩිවෙනවා. එතැන පළාත් අධ්‍යක්ෂතුමා, කලාප අධ්‍යක්ෂතුමා, අමාත්‍යංශ ලේකම්තුමා, විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය ඉන්න ඕනෑ. ඒ ස්ටාෆ් මීටින් එකේදී එක එක විෂය ගන්නවා. උදාහරණයක් විදිහට විද්‍යාව අරගෙන ඒ විෂය භාර ගුරුවරයා නැගිට්ටනවා. කීයද දැන් තත්වය ? සීයට තිස් දෙකයි. කරුණාකරලා දැන්ම ඉලක්කයක් තියාගන්න. ලබන අගෝස්තුවේ උසස්පෙළ සීයට පනහෙන් එහාට ගෙනිච්චේ නැත්තම් එයාට එතැනින් යන්න වෙනවා. ඇවිල්ලා මාස හයක් වුණත් කරන්න දෙයක් නැහැ. තරහවෙන්න එපා. ඒක තමයි මගේ පනිෂ්මන්ට් එක. ආවාට ගියාට වැඩ කරන්න බැහැ. ඒකයි මම කිව්වේ මේක කරගන්න බැරිවුනොත් මම ජනාධිපතිතුමාටම ආපහු දෙනවා. මට මේ දරුවෝ ඉදිරියේ පවුකාරයෙක් වෙන්න බෑ. ’’

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article