spot_img
spot_img
Thursday, August 20, 2026
spot_img
spot_img

‘කඩොලාන පද්ධතියට , විශාලම තර්ජනය සිදුවුනේ 1977 ඉඳන් 2018 කාලෙදී’

Must read

පසුගියදා පුත්තලම් දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රිවරයා විසින් පාර්ලිමේන්තුවේදි පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන පද්ධතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව වැඩපිළිලක් අවශ්‍ය බවට සිදුකළ යෝජනාවට පිළිතුරු ලෙසින් මාලිමා මන්ත්‍රිනී හිරුණි විජේසිංහ විසින් සිදුකරන ලද පිළිතුරු කතාවේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩොලාන සම්බන්ධයෙන් අර්ථවත් අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

” අද දවසේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා විසින් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට , වැඩසටහනක් සකස් කර ගැනීමට තමයි එතුමා යෝජනා කරලා තියෙන්නේ. ඇත්තටම පරිසරයට ආදරය කරන ප්‍රජාවක් හැටියට මේක ඉතා වටිනා යෝජනාවක්. මොකද අපි දන්නවා කඩොලාන පරිසර පද්ධතියක් කියලා කියන්නේ වේගයෙන්, ඉතා වේගවත්ව ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට දායක වන පරිසර පද්ධතියක්.
මොකද සාමාන්‍ය වැසි වනාන්තරවලට වඩා වේගයෙන් කාබන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව කඩොලාන පරිසර පද්ධතියකට තියෙනවා. ඉතින් මොකද කාබන් මෙම ශාකය විතරක් නෙමෙයි, මේ වගේ තියෙන මුල් පසටද අවශෝෂණය කරගැනීමේ හැකියාව තියෙන හින්දා විශේෂයෙන්ම මෙම කඩොලාන ශාක පද්ධතිය නිල් කාබන් පද්ධතියක් හැටියට එහෙම නැත්නම් බ්ලූ එකෝ සිස්ටම් ටිකක් හැටියට හඳුන්වනු ලබනවා .

මොකද මෙම ශාකයට හැකියාව තියෙනවා මුළු ජීවිත කාලය පුරාම වසර සීයකට වඩා වැඩි කාලයක් මේ කාබන් ප්‍රමාණය අවශෝෂණය කර තියාගන්න. හැබැයි අපි යම්කිසි අවස්ථාවක මේ ශාකය කපා දැම්මොත් සිද්ධවෙන්නේ අර ශාකය අවශෝෂණය කර තියාගත්තු සම්පූර්ණ කාබන් ප්‍රමාණය වායු ගෝලයට නැවත මුදා හැරෙනවා.
මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි 1977 ඉඳන් 2018 වෙනකම් තමා ,මේ ලංකාවේ කඩොලාන පරිසර පද්ධතියට ඇතිවුණු විශාලම තර්ජනය සිද්ධ වෙලා තියෙන්නේ .
මේ කාලසීමාව තුළ විශාල වශයෙන් ඉස්සන් වගාව සඳහා ඒවගේම ලුණු කර්මාන්තය සඳහා මේ කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරලා,
ඒ ආර්ථික කටයුතුවලට ඒවා දායක කර ගැනීම නීති විරෝධී ආකාරයට බහුල වශයෙන් සිද්ධ වෙලා තියෙනවා.
විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ 1992 ඉඳන් 2012 ආශ්‍රිත කාල පරාසය බලද්දි දිස්ත්‍රික්කයේ තිබ්බ ක⁣ඩොලාන සංයුතියෙන් සියයට තිස් හතරක් (34%) ඒ ඉස්සන් කොටු සහ නීති විරෝධී ඉඩම් ගොඩකිරීම් සහ ලුණු ලේවායන් ආශ්‍රිත කටයුතු වලට විනාශ කරලා ඒ කඩොලාන පද්ධතිය අඩු කිරීමට කටයුතු කරලා තියෙනවා.

මොකද මේකෙදි විශේෂත්වය වෙන්නේ එ 1992 ඉඳන් 2012 කාලසීමාව තුළ මම කියන්න කැමතියි ඉස්සන් කොටු ප්‍රමාණය දිස්ත්‍රික්කයේ සියයට දෙදහස් හත්සිය හැත්තෑ හතක (2777%) ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒවගේම ලුණු ලේවා ප්‍රමාණයේ සියයට හැටකින් (60%) ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒත් එක්කම කඩොලාන පරිසර පද්ධති ප්‍රමාණය සියයට හතළිහකින් (40%) පහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්වයට තමයි, මේ කඩොලාන පරිසර පද්ධතිය තිබුනේ . මොකද අපට මතකයි අණවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිතව බලහත්කාරයෙන් අක්කර 136 කට ආසන්න ප්‍රමාණයක් මේ ඉස්සන් කොටු වලට රඳවා ගෙන තිබ්බා මේ කඩෙලාන පද්ධතිය විනාශ කරලා, අපේ ආණ්ඩුව ඇවිල්ලා විශේෂයෙන්ම අජිත් ගිහාන් මන්ත්‍රීතුමා මැදිහත් වෙලා ඒ පරිසර පද්ධතියේ අවශ්‍ය ,ඉස්සන් කොටුවලට අවශ්‍ය කොටස් ටික මහජනතාවට ලබාදීලා. ඉතුරු විනාශකාරී ස්ථානවල නැවත ප්‍රතිස්ථාපනය කිරීමට නැවත කඩොලාන කටයුතු කරලා තියෙනවා. ඒ ව්‍යාපෘති රාශියක් මේ වෙන කොට ක්‍රියාත්මක වෙනවා වෙනවා. ඒ වගේම කියන්න කැමතියි මීට පෙර අවස්ථා වලදී , අර මම කිව්වා වගේ සියයට දෙදාසු හත්සිය හැත්තෑ හතක (2777%) ප්‍රමාණයකින් ඒ අත්පත් කරගෙන තිබුණු කඩොලාන විනාශ කරලා ඒ අත්පත් කර ⁣ගත් පරිසර පද්ධති වලින් ඒ ඉස්සන් කොටු වලින් සියයට හැත්තෑවක (70%) පමණ මේ වන විට අතහැරලා දමලා තිබෙනවා.

ඉතින් අපි ආණ්ඩුවක් හැටියට කියන්න කැමතියි, ඒ වගේ ඒ අවශ්‍ය ප්‍රමාණය අමාත්‍යංශය මැදිහත් වෙලා මහජනතාවට ආර්ථික කටයුතු වලට නිදහස් කරලා , ඒ වගා කටයුතු වලට යොදා ගැනීමට හැකියාව නැති භූමි ප්‍රදේශයන් වල නැවත කඩොලාන නිසි ක්‍රමවේදයට සැලසුම් සහගතව නැවත වගා කිරීමට අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම තවදුරටත් කියන්න කැමතියි, මේ මෑතකදී ජූලි 26දා තමයි ඒ ජාත්‍යන්තර කඩොලාන දිනය යෙදිලා තිබ්බේ. ඒ අවස්ථාවේදී අපි 2026 දී පුත්තලම් දිස්ත්‍රික්කයට අදාළ කඩොලාන රක්ෂිත නම් කරලා තියෙනවා. විශේෂයෙන් කුඩාව කන්දක්කුලය වගේ ප්‍රදේශ, ඒ වගේම 2025 අපි මැරවල වවුල්කැලේ මරම්බැටිය ආශ්‍රිතව කඩොලාන රක්ෂිත රාශියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මම අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, කියන්න කැමතියි අපේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තියෙනවා, මේ කඩොලාන ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් අපේ මන්ත්‍රීතුමාගේ යෝජනවත් මේකට එකතු කර ගෙන අපි ආණ්ඩු පක්ෂයත් ,විපක්‍ෂයත් සහයෝගයකින් යුතුව මේ පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න ඕන. අන්න ඒ හින්දා 2027 ඉඳන් 2029 කාල පරාසය තුළ කඩොලාන පරිසර පද්ධතිය අවුරුද්දකට හෙක්ටයාර 20 කින් ඉහළ දැමීමට කටයුතු කරගෙන යනවා. ඒවාගේම ජාතික වෙරළ කලාප ආශ්‍රිතව වෙරළ සංරක්ෂණ සැලැස්මටද මේ විශේෂ කඩොලාන රක්ෂිත ආරක්ෂා කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් මම යෝජනාවක් හැටියට අපේ හෙක්ටර් මන්ත්‍රීතුමාට ඉදිරිපත් කරන්න කැමතියි, කාබන් ගබඩා කිරීම ජාතික දේශගුණික ප්‍රතිපත්තිවලට ඇතුළත් කිරීමට අවස්ථාවක් අපේ පරිසර අමාත්‍යාංශය මැදිහත් වෙලා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා . මේ වැදගත් යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හෙක්ටර් මන්ත්‍රීතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article