spot_img
spot_img
Wednesday, August 12, 2026
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරය: ‘මරණීය දණ්ඩනය පිළිගන්නේ නැහැ’ – කතෝලික සභාව

Must read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම හිමිව ඇති පසුබිමක මරණ දණ්ඩනය පිළිනොගන්නා බව කාදිනල් හිමියන් ප්‍රකාශ කර තිබේ.

“කතෝලික සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කිරීමට අපි කැමැත්තෙමු. මන්ද එයින් මානව ගරුත්වය උල්ලංඝනය වන බැවිනි,” යනුවෙන් අගෝස්තු 10 වන දා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කතෝලික දහමේ ඉගැන්වීම තුළ කිසිදු ලෙසකින් මරණීය දණ්ඩනය පැනවීම සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි මුත් ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බව මෙන් ම එහි තීරණවලට හෝ සාකච්ඡාවන්ට හෝ කිසිදු ආකාරයකින් මැදහත් වීමට තීරණය නොකරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Cardinal Malcolm Ranjith

‘කතෝලික සභාව පළිගැනීම සොයා යන්නේ නැහැ’

කොළඹ අගරදගුරු පදවිය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සමග පුර්ණ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින බව අවධාරණය කරන කාදිනල් හිමියන්, කතෝලික සභාව පළිගැනීම සොයා නොයන බව ද එමඟින් අවධාරණය කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් සහ සියලු පාර්ශවයන් හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින් හට යුක්තිය ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව යැයි ද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

‘රටේ නීතියට අනුව තමයි අධිකරණය ක්‍රියා කරන්නේ’

කතෝලික සභාවේ සහ ධර්මෝපදේශයේ ඉගැන්වීම්වලට අනුව මරණ දඬුවම කතෝලික සභාව පිළිනොගන්නා බව මේ පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේය.

“රටේ නීතියට අනුව තමයි අධිකරණය ක්‍රියා කරන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයට අපි ඇඟිලි ගහන්නේ නැහැ, අධිකරණයේ ස්වාධීනත්වය අපි විවේචනය කරන්නෙත් නැහැ, ඒකට එරෙහි වෙන්නේ නැහැ.”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් පවතී නම් එය සොයා ගැනීම සහ ඒ පිටුපස සිටින සියලු දෙනා හෙළිදරව් කිරීම කතෝලික සභාවේ ඉල්ලීම බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්නේය.

උපුටා ගැනීම – www.bbc.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article