Sunday, May 19, 2024

ඔත්තු බැලීම ඔට්ටු ද?

Must read

All-Black-696x522මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා සොයා යන ගමන් මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් එළඹෙන සතිඅන්තයේ දී තිරගත වීමට සියල්ල සූදානම් වෙමින් පවතින මොහොතක එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර  ධූරය හොඹවන Eddie Jones මහතා ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් සිදු කිරීම මේ වන විට බොහෝ පාර්ශවයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ.

අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ Wallabies කණ්ඩායම නැවත වතාවක් තම මව්රට බලා පිටත් කර හරිමින් අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමේ භාග්‍ය එංගලන්ත ක්‍රීඩකයින් පසුගිය සති අන්තයේ දී උදාකරගත් නමුත් අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට සටන් වැඳීමට සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාවට සාපේක්ෂව වඩාත් ශක්තිමත්, අඛණ්ඩව දෙවතාවක් ලෝක ශූරතාව තමන් සතු කර ගත් ප්‍රබල All Blacks කණ්ඩායමට එරෙහිවයි.

මෙම සුවිශේෂී තරගය ඉලක්ක කරගනිමින් පසුගිය දිනක පැවති පුහුණුවීම් සැසිවාරයක් අතරතුර දී කිසියම් අයෙකු විසින් අනවසරයෙන් ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතුවල නිරත වන අයුරු රහසිගතව වීඩියෝ පටිගත කිරීමක් සිදු කළ බවට Eddie Jones මහතා ප්‍රකාශ කර සිටින අතර ඇතැම් විට ඔහු හෝ ඇය ජපන් ප්‍රේක්ෂකයෙකු වන්නට ද ඉඩ ඇති බව ද අදහස් දක්වමින් කියා සිටියේය.resize

රග්බි ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින බොහෝ කණ්ඩායම් තමන් පුහුණුවීම් කටයුතුවල නිරත වන ආකාරය සහ ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් ආශ්‍රිත තොරතුරු බාහිර පාර්ශවයන්ගෙන් සඟවා තැබීමට වඩාත් යුහුසුලු වන්නේ ඔවුන්ගේ එම උපාය මාර්ගයන් පිළිබඳ ඉඟියක් පවා ප්‍රතිවාදීන් හට ලබා නොදීමේ අරමුණෙනි.

මේ නිසාවෙන්ම ජනමාධ්‍යය සමඟ කටයුතු කිරීමේ දී පවා ඔවුන් එක්තරා සීමා රාමුවක් තුල සිට කටයුතු කිරීමට සෑම විටම උත්සුක වන අතර පුහුණුවීම් කටයුතු ආවරණය කිරීම සඳහා බොහෝ විට ඉඩකඩ ලබා දෙනුයේ තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසකට පමණි.

කෙසේ නමුත් මෙම සිදුවීම තවදුරටත් දුරදිග ගෙන යාමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් නූතන මාධ්‍ය සංස්කෘතිය සහ තාක්ෂණයේ පවතින විවෘතභාවයත් යන කරුණු කාරණා පිළිබඳ සලකා බැලීමේ දී මෙවැනි දෑ වෙනස් කළ කිරීම ඉතාමත් අපහසු කර්තව්‍යයක් බව ඔහු පෙන්වාදිය.

“දැන් ඕනම කෙනෙක්ට පුළුවන් Youtube හරහා අනෙක් කණ්ඩායම් පෙර සූදානම් වෙන හැටි බලන්න. ඒක නිසා මේ සිද්ධිය පස්සේ පන්නන එක නිකරුණේ කාලය කා දැමීමක්. අනික ඔය වීඩියෝ පටිය දැක්කා කියලා ලොකු විපර්යාසක් වෙන්නෙත් නැහැ.”

මීට පෙර අවස්ථාවන් කිහිපයක දී ම, විශේෂයෙන්ම 2001 වර්ෂයට පෙර කාලසීමාවේ දී තමන් ද මෙවැනිම ඔත්තු බැලීමේ කාර්‍යන්හී අවස්ථා කිහිපයක දී ම නිරත වූ බවට ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

2003 වසරේ දී පැවති ලෝක කුසලාන තරගාවලියේ දී ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයේ දී පරාජයට පත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස එවකට කටයුතු කළේ ද Eddie Jones මහතා වන අතර ඔහු වත්මන් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර ධූරය භාර ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වූයේ 2015 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම අනපේක්ෂිත ලෙස ඉවත්ව යාමට සිදුවීමයි.

තවද මෙම මාධ්‍ය සාකච්ඡාව අතරතුර දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සඳහා ඉතාමත් සූක්ෂ්මව පිළිතුරු ලබා දුන් Jones මහතා සඳහන් කර සිටියේ බොහොමයක් දෙනා මෙම තරගය නවසීලන්තය ජය ගනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන නිසා ඔවුන්ට තම ප්‍රතිවාදීන්ට මෙන් විශාල පීඩනයක් නොමැති බවයි.

“දැන් මෙතෙන ඉන්න අයගෙන් කවුරු හරි විශ්වාස කරනවා නම් එංගලන්තය තරගය දිනයි කියලා, ඒ අය පොඩ්ඩක් අත උස්සන්න බලන්න. දැන් බලාගන්න කවුරුම හරි අත උස්සලා තියෙනව ද කියලා! කවුරුත්ම නැහැ!”

2015 වසරේ දී ජපාන ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ එම ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවකු වූ Jones මහතා මුවඟ සිනහවක් ද රඳවා ගනිමින් ප්‍රකාශ සිටියේ සමස්ත ජපානයම මේ වන විට නවසීලන්තයක් වී හමාර බවය.

“මිලියන 120කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන ජපානයේ ඔවුන්ගේ කණ්ඩායම හැරුණාම දෙවැනියට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්ත කණ්ඩායම තමයි All Blacks කියන්නේ. ඉතින් මේ ඔක්කොම අරන් බැලුවම අපිට නම් එහෙම ලොකු පීඩනයක් දැනෙන්නේ නැහැ.”

කෙසේ නමුත් නවසීලන්ත කණ්ඩායමට මෙම තත්වය හාත්පසින්ම වෙනස් ලෙස බලපෑම් කරනු ඇති බවත් පිටපිට තෙවන වතාවටත් ලෝක කිරුළ ඩැහැ ගැනීමට මාන බලන නවසීලන්ත ක්‍රීඩකයින් හට නිසැකවම මෙම තරගය අමතර පීඩනයක් ගෙනු දෙනු ඇති බවත් ඒ මහතා තම අදහස් වදන් වලට පෙරළමින් සඳහන් කර සිටියේය.

මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමෙන් ඔබ අපේක්ෂා කරනුයේ නවසීලන්ත ක්‍රීඩකයින්ගේ සිත් තුල යම් චකිතයක් ඇති කිරීම දැයි අයෙකු ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් Jones මහතා මතු කළ කාරණාව නම් නවසීලන්ත මාධ්‍ය කිසිදා ඔවුන්ගේ කණ්ඩායමට එරෙහිව එකදු වචනයක් හෝ ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමට මැලිකමක් දක්වන බවයි.

“ඔවුන්ගේ මාධ්‍ය ඉතාමත් පක්ෂග්‍රාහීව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඔවුන් අහන්නේ නැත්නම් වෙන කවුරු හරි ඉන්න එපැයි ප්‍රශ්න අහන්න All Blacks කණ්ඩායමෙන්. අන්තිමේ දී බැලුවොත් ඔගොල්ලොත් නිකන් යතුරු පුවරු ටිකක් තියන් ඉන්න ප්‍රේක්ෂකයෝ පිරිසක් විතරයි.

එංගලන්තය ගත්තොත් තත්වය මීට වඩා සෑහෙන්න වෙනස්. පහුගිය සතියේ මාව පුහුණුකරු ධූරයෙන් අයින් වෙන විදියටම ඔවුන් වැඩ සැලස්වුවා. මොකද මාධ්‍යයට නිදහස තියෙනවා ප්‍රසිද්ධියේම අපේ වැරදි අඩුපාඩු පිළිබඳ විවේචනය කරන්න.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article