Sunday, May 5, 2024

තාක්ෂණික උද්‍යාන පිහිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ජර්මනිය සමග ගිවිසුමකට අත්සන් තබයි

Must read

terrace-garden-design-service-500x500දිවයින පුරා “තාක්ෂණික උද්‍යාන” පිහිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ජර්මනියේ ENPACT E,V, ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.  යුරෝපයේ ව්‍යවසායක අගනුවර වන බර්ලිනය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යවසායක පරිසර පද්ධති අතර ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගීමේ අරමුණින් යුතුව, 2021 අප්‍රේල් 08 වන දින දියත් කළ බර්ලින් සෙනෙට් සභාවේ ආරම්භක වැඩසටහන වන “ඒෂියා බර්ලින්” (AsiaBerlin) නියෝජනය කරන, ජර්මනියේ බර්ලින් හි පිහිටි ENPACT E.V. ආයතනය සමඟ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන්  මෙලෙස ගිවිසුම අත්සන් තැබිණි. අන්තර්ජාලය ඔස්සේ  පවත්වන ලද  උත්සවයකදී, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් මහතා සහ ENPACT ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ජෑන් ලැචෙන්මේයර් මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
උත්සවය අතරතුර, ශ්‍රී ලංකා තාක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා අන්තර්ජාලය හරහා මෙම අවස්ථාවට සහභාගි වී අවබෝධතා ගිවිසුම පිළිගනු ලැබීය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා, ව්‍යවසාය හා නවෝත්පාදන පරිසර පද්ධති පෝෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උපාය මාර්ගය පිළිබඳව විස්තර කළ අතර, දැනුම හුවමාරු කර ගැනීමට සහ තාක්‍ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන සහ ඒ ආශ්‍රිත සේවාවන් දිරිගැන්වීම පිණිස අවබෝධතා ගිවිසුම සුවිශාල පියවරක් බවද අවධාරණය කළේය.

ENPACT හි කළමනාකාර අධ්‍යක්ෂ ජෑන් ලැචෙන්මේයර් මහතා, සහයෝගිතාව ඇතිකර ගැනීම සඳහා අදාළ ශ්‍රී ලංකා ආයතනය සම්බන්ධ කිරීම පිණිස තානාපති කාර්යාලයේ ගත් පියවර පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ අතර, අවබෝධතා ගිවිසුම මගින්, නවෝත්පාදනයන් සඳහා වැඩි සහයෝගීතාවයක් සහ දෙපාර්ශ්වය වෙතම අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා මග පාදනු ඇතැයිද විශ්වාසය පළ කළේය.

අන්තර්ජාලය මගින් පවත්වන ලද උත්සවය ‘ඒෂියා බර්ලින්’ තානාපති අරවින්ද් පාන්ච් මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, ඉන් අනතුරුව සහ ගෝලීය වශයෙන් 60 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව, කෘෂි තාක්ෂණය සහ ජල තාක්ෂණය සම්බන්ධ වෙබිනාර් වැඩසටහනක්ද පැවැත්විණි.

Enpact හි ආයතනික නවෝත්පාදන අංශ ප්‍රධානී, මාතියස් ෂ්මිට්-රෙක්ස් මහතා විසින් මෙහෙයවන ලද එම වෙබිනාර් සාකච්ඡාවේදී, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි මනෝරි උණම්බුව මහත්මිය ශ්‍රී ලංකාවේ කෘෂි අංශය සඳහා තාක්‍ෂණික දායකත්වයෙහි වැදගත්කම ඉස්මතු කළ අතර, රටේ සංවර්ධන න්‍යාය පත්‍රයෙහිලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සඳහා දී ඇති වැදගත්කමද අවධාරණය කළාය. එමෙන්ම, ICTA ආයතනය සහ ENPACT ආයතනය අතර අවබෝධතා ගිවිසුම, ව්‍යවසායක පරිසර පද්ධති අතර, විශේෂයෙන් කෘෂි තාක්ෂණික හා ජල තාක්ෂණික යන අංශ ද්විත්වයෙහිම නවෝත්පාදන හා නව අවස්ථාවන් උදා කර ගැනීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් බවට තානාපතිනි උණම්බුව මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

බර්ලින් සෙනෙට් සභාවේ බලශක්ති, ඩිජිටල්කරණය සහ නවෝත්පාදන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය රේනර් සයිඩර් මහතා, එම අවස්ථාවට සහභාගී වූවන් සාදරයෙන් පිළිගනිමින් දෙරට අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිය ස්තූතිය පිරි නැමීය.

ඒෂියා බර්ලින් තානාපති, ප්‍රධාන තාක්ෂණික නිලධාරී සහ Vitreo හි සම-නිර්මාතෘ මයික් රිචඩ්සන් මහතා, BASF හි උපදේශක රොනී ටෑන් මහතා, සිංගප්පූරුවේ Pandsan Ventures හි ක්‍රිස්ටෝපර් අවු මහතා සහ තායිලන්තයේ තායි යූනියන් සමාගම් සමූහයේ Global Innovation හි අධ්‍යක්ෂ ටුන්යාවට් කසෙම්සුවාන් මහතා විසින් ව්‍යාපාර ආදර්ශ සහ කෘෂි තාක්ෂණ හා ජල තාක්ෂණ අංශයන්හි ව්‍යාපාරික ආයතනවල නවෝත්පාදන පිළිබඳ අධ්‍යයනයන් එහිදී ඉදිරිපත් කරනු ලැබිණි. එයින් අනතුරුව පැවැත්වුණු අතුර-සැසි වලදී, දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article