Friday, May 17, 2024

තෙදිනකට සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ

Must read

මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.  0054af26-770f-4167-8ad9-e15004f9a54b
සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර …..

Ø ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ …..

Ø ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ …

Ø සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන යානා මෙහෙයුම් ….

පවතින තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹිණි.

හෙට (25) අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ. ඒ අනුව හෙට (25) දින විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳ සැල්, ඖෂධ සැල්, මාළු, මස්, එළවළු, බේකරි නිෂ්පාදන වෙළෙඳ සැල් හා ඉන්ධන පිරවුම් හල් පමණි.

සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට පමණක් ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර හිමි වේ.

සංචරණ සීමා බල පැවැත්වෙන සහ ලිහිල් කෙරෙන කාල සීමාව තුළ සුරා සැල් සම්පූර්ණයෙන් වසා තැබිය යුතුය.

හෙට (25) දිනයේ දී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ. කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳ සැල් වෙත ගමන් කළ නොහැකිය.

හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අළුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.

මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අළුයම 4.00 දක්වා බල පැවැත් වේ.

ජූනි 04 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

යුද හමුදාව සහ ගුවන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු දිනපතා නිරීක්ෂණය කරයි.

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ යෙදවේ.

ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම් දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකය.

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අළෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා කාලය තුළ මාර්ගවල ධාවනය වන වාහන සැබවින්ම අත්‍යාවශ්‍ය සේවාද යන්න සෝදිසි මෙහෙයුම් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

යම් පුද්ගලයකුට සංචරණ සීමා ලිහිල් කළ විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිළදී ගැනීමට ළඟම පිහිටි පාරිභෝගික සේවා ස්ථානයට පැමිණීමට හැකියාව තිබෙන බවත්, එහිදී මිළ දී ගත හැකි වන්නේ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් බවත්, ඒ හැර රෙදිපිළි කඩ සාප්පු හා සාමාන්‍ය පරිදි සිදුවන වෙළඳසල් විවෘත නොවන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

 මීට පෙර දින සිදුවූ සංචරණ සීමා ලිහිල් කිරීමේදී සියලු වෙළඳසල් විවෘත වුවද හෙට දිනයේ සංචරණ සීමා ලිහිල් කිරීමේදී ඒ ආකාරයෙන් වෙළඳසල් විවෘත නොවන බවත්, මෙහිදී විවෘත වන්නේ බේකරි, මාලු, සහල්, සිල්ලර බඩු, ආහාර පාන, මස්, කුළු බඩු ආදී අලෙවි කරන ස්ථාන පමණක් බවත්, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ සඳහා පැමිණිය හැක්කේ අදාළ වෙළඳසලට ළඟම සිටින පුද්ගලයන්ට පමණක් බවත්, ඒ ප්‍රදේශයේ තාවකාලික හෝ ස්ථීර පදිංචිකරුවෙක්ද යන්න තහවුරු කරගැනීමට හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතු බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

යම් පුද්ගලයකුට පා ගමනින් වුවත් අදාළ සීමාවෙන් පිටතට යාමට අවසර නොමැති බවත්, කිසිවකුට වාහන භාවිතා කරමින් පැමිණීමට අවසර නොමැති බවත්, මෝටර් රථ, ත්‍රී රෝද රථ හෝ යතුරුපැදි රැගෙන පැමිණිය නොහැකි බවත්, එසේ රැගෙන පැමිණ ඒවා මහා මාර්ගයේ හෝ වෙළඳසල් හා සුපිරි වෙළඳසල් අසළ ගාල් කිරීම තහනම් බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

යම් මෝටර් රථයක් ගාල් කරන්නේ නම් එය අවසර ගත් අත්‍යවශ්‍ය සේවා රියක් හෝ අවසර ගත් ඩිලිවරි රියක් විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ලාංඡන සහිතව වෛද්‍යවරුන් මුවාවෙන් හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවාවල මුවාවෙන් යම් යම් පුද්ගලයින් ගමන් කරන බවට තොරතුරු ලැබෙන බවත්, එම තොරතුරු සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් යොදවා සොයා බැලීමට කටයුතු යොදා ඇති බවත්, යම් ආකාරයකින් හැඳුනුම්පතක් ඉල්ලා සිටියහොත් ලබාදීමට කටයුතු කරන ලෙස වෛද්‍යවරු සහ අත්‍යවශ්‍ය සේවා වලින් ඉල්ලා සිටින බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නිවසින් පිටව යන විට කණ්ඩායම් ගැසී වෙළඳසල් වෙත යාමෙන් වළකින ලෙසත්, යම් පුද්ගලයකු කණ්ඩායම් ලෙස පිටතට යන්නේ නම් එම පිරිසට එරෙහිව නිරෝධායන නීතිය යටතෝ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

ඉකුත් පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 636 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මැයි 25 වැනිදා, මැයි 31 වැනිදා මෙන්ම ජුනි 04 වැනිදා සංචරණ නීති දැඩිව ක්‍රියාත්මක කරන බවත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.


 

News.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article