Thursday, May 2, 2024

නාඩගම් , අඩව්, වන්නම්, කස්තිරම් සහ බඩ පිනුම් පිරි සතියක් සමග” වයඹ අඵ යට ගිනි ”

Must read

 

56277(5)
වයඹ දේශපාලනයෙහි එතෙක් මෙතෙක් ඉතිහාසය සීරුවට අධ්‍යයනය කර බැලූවහොත් ගෙවී ගිය සතිය වයඹ දේශපාලනයේ වැඩිම අවුල් වියවුල් සහිත සතිය බවට පත්වන්නට නිසැක වශයෙන්ම ඉඩ තිබේ. මන්ද ගෙවුණු සතියේ තරමට පාවාදීම්, නෙරපාහැරීම්, අත්හැරීම්, එකතුවීම්, පළිගැනීම් සහ කප්පාදුකිරීම්, සතුට කදුඵ මෙන්ම දුක් කදුඵද සහිතව ගෙවී ගිය තවත් සතියක් ඈත මෑත වයඹ දේශපාලන ඉතිහාසය තුළ ඇති බවක් ලියුම්කරුගේ මතකයේ නැති බැවිනි. සිය දේශපාලන ගමන්මග උඩුයටිකුරු කරවන තීන්දු තීරණ ගණනාවකට ස්ව කැමැත්තෙන්ම එකග වන්නට මෙන්ම අකමැත්තෙන් හිස නවන්නටත් ජාතික දේශපාලනය මෙන්ම පළාත් දේශපාලනයද නියෝජනය කරන වයඹ දේශපාලනඥයින් බහුතරයකට පසුගිය සතියේදී සිදු විය. හොද හොද නාඩගම් , අඩව්, වන්නම්, කස්තිරම් පමණක් නොව බඩ පිනුම්ද සහිතව මැනවින් රග දැක්වුණු ගෙවී ගිය සතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘අඵ යට ගිනි ’ දැල්වුණු ගිනියම් සතියක්ම විය.

ධර්මසිරි වැඩ ඇල්ලූ දා ශමල්ට දොර වැහෙයි.

වයඹ පළාත් සභාවේ හත් වැනි මහඇමැතිවරයා වශයෙන් ධර්මසිරි දසනායක වැඩ ඇල්ලූවේ පසුගිය බ‍්‍රහස්පතින්දාය. වයඹ පළාත් සභා සංකීර්ණය වෙත පැමිණි මහ ඇමැති ධර්මසිරිට බුලත් හුරුඵ දී පිළිගනු ලැබුවේ වයඹ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න ඇතුඵ රාජ්‍ය නිලධාරීන් විසිනි. රතු පලස මතින් පළාත් සභා සංකීර්ණයට ආ ධර්මසිරි පිළිගන්නට තවත් අමුත්තෙක් පළාත් සභාවට පැමිණ සිටියේය. ඒ ඇමැති නාවින්නය. නාවින්න සහ ධර්මසිරි එක්ව ජාතික ධජය සහ වයඹ පළාත් ධජය එසවීමෙන් පසුව පිරිස ගියේ වයඹ ආණ්ඩුකාර කාර්යාල භූමියේ පිහිටි බෝධීන් වහන්සේ වෙතය. නව තනතුරට සෙත්පතමින් පැවැති බෝධි පූජා පින්කමටද ධර්මසිරි ඇතුඵ පිරිස එහිදී සහභාගි වූහ. ආගමික වතාවක් නිමාකිරීමෙන් පසුව වයඹ ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ධර්මසිරි එහි ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයට ඇතුඵ විය. එම කාමරයේ ඉඩ කඩ සීමා සහිත නිසා ආරක්ෂක නිලධාරීන් විසින් එම කාමරයට ඇතුල් කරනු ලැබුවේ අත්‍යාවශයම පිරිස පමණකි. කෙසේවෙතත් පළාත් සභාවට හුරුපුරුදු ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවට එදින වෙනත් නිලධාරීන් පිරිසක් මහඇමැති කාමරයේ දොරටුව අරා සිටීම නිසා ඊට ඇතුඵ වන්නට ආ මන්ත‍්‍රීවරුන්ට පවා අතැම් අවස්ථාවන්හිදී දොර වැසී ගියේය. විපක්ෂනායක ශමල් සෙනරත්ද දඩි බිඩි ගා දුවගෙන ආවේ මහඇමැති නිලකාමරයට ඇතුල් වෙන්නට නමුත් දොරටුව අසල රැදී සිටි ආරක්ෂක නිලධාරීන්ගෙන් ශමල්ටද පොල්ල වැටිණි. ”ඔයා කවුද ?” අඩක් විවර වී තිබූ දොර හරස් කරගෙන සිටි නිලධාරීහු ශමල්ගෙන් ප‍්‍රශ්න කළහ. ”ශමල් ප‍්‍රසන්න සෙනරත්. වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක. ” ශමල් මහහඩින් කීවේ ඒ වන විට මහඇමැති නිල කාමරය ඇතුලේ සිටි පිරිසද සිනාගස්වමිනි. ඒ උස් හඩත් සමගම ශමල්ට දොර ඇරිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ පෙරවරු 10. 05 ට යෙදුණු සුබ මොහොතින් ලිපියකට අත්සන් තැබීමෙන් ධර්මසිරි විසින් වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කළේය. ධර්මසිරි රාජකාරී අරඹන වේලාවේ මහත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට ප‍්‍රධාන අමාත්‍යංශ වැඩබලන ලේකම් ඒ. ඞී . අමරසිරිට සිදු විය. කකුලක ඇති වී තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන් ප‍්‍රධාන අමාත්‍යංශ ලේකම් පී. බී. එම්. සිරිසේන නිවාඩු ලබාසිටීම හේතුවෙන් ධර්මසිරි රාජකාරී අරඹන දා ලේකම් රාජකාරිය ඉටුකිරීමට පැවරී තිබුණේ ඒ. ඞී .අමරසිරි වෙතය. සුබ නැකැතින් ධර්මසිරි විසින් ලියැවිල්ලට අත්සන් තබන්න සූදානම් වනවාත් සමගම ලේකම් අමරසිරිගේ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනයද නාදවන්නට පටන් ගත්තේය. දුරකථනය එළියට ගත් අමරසිරි එය නිහඩ කරන්නට සෑහෙන උත්සාහයක් ගත් නමුත් එය සාර්ථක නොවීය. දුරකථනය යළි සාක්කුවේ රුවා ගත් ලේකම් අමරසිරි එක් අතකින් එය තද කරගනිමින්, අනික් අතින් අත්සන් කළ යුතු තැන් ධර්මසිරිට පෙන්වමින් මහත් අසීරු ව්‍යායාමයක යෙදී සිටිනු දැකගත හැකි විය. ලේකම් අමරසිරිගේ ජංගම දුරකථනයෙන් පිට වූයේ මුහුදු වෙරළකින් අසන්නට ලැබෙන ආකාරයේ ඝෝෂාවකි. එක් අතකින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් නාදය ඇසෙද්දී , කණ උඩම නාදවෙන ලේකම් අමරසිරිගේ දුරකථනයෙන් නැගුණු මුහුද රළේ ඝෝෂාවත් අසමින්ම ධර්මසිරි සිය රාජකාරී ආරම්භ කළේය. අන්තිමේදි ලේකම් අමරසිරිගේ දුරකථනය නිහඩ කරගන්නට හැකි වූයේ මන්ත‍්‍රී චින්තක මායාදුන්නේ ඇතුඵ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් සෑහෙන උත්සාහයක් දැරීමෙන් පසුවය. රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස කෙටියෙන් අමතන්නටද ධර්මසිරි අමතක නොකළේය. ”මහඇමැතිකම කියන්නේ බලගතු ආයුධයක්. මේ ආයුධයෙන් අනිත් අයට කොටන්න පුඵවන්. ඒ වගේම තමන්ට කොටාගන්න පුඵවන්. නමුත් වයඹ පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා විදිහට මම මේ ක‍්‍රියාවන් දෙකෙන්ම වැළකෙනවා. ” ධර්මසිරි එහිදී කීවේය. ක‍්‍රීඩා ඇමැති දයාසිරිත්, හිටපු මහඇමැති අතුලත් ආවේ ධර්මසිරි රාජකාරී ආරම්භ කර ටික වේලාවක් ගතවෙද්දීය. විසසිල්ලෙන් වටපිට බැලූ අතුල කීවේ ”ධර්මසිරිගේ උත්සවේදී මහඇමැතිවරු හතරක් එකතු වුණා. ”කියාය. රැස්ව සිටි පිරිසටද ඒ බව පෙණුනේ අතුලගේ කතාවත් සමගය. එතැන සිටි ඇමැති නාවින්න, දයාසිරි සහ අතුල මීට පෙර වයඹ මහඇමැතිවරුන් ලෙස කටයුතු කර තිබූ අය වූ අතර ධර්මසිරිත් සමග එතැන සිටි වයඹ මහඇමැතිවරුන් ගණන හතරක් විය. ” ෆොටෝ එකක් ගන්න. මේක ඓතිහාසික ෆොටෝ එකක් වෙයි. ”යැයි මාධ්‍යවේදීන්ට යෝජනා කළේද අතුල විසින්මය. ඒ අනුව නාවින්න, දයාසිරි, අතුල සහ ධර්මසිරි එක්ව ඡායාරූපයකටද පෙනී සිටියහ.

ඞී. බී. ටත් හොරෙන් ඇමැතිකමට තට්ටු වූ හැටි.

පසුගිය සති කිහිපය පුරාවට ‘අඵ යට ගිනි ’ පිටුවල ලියැවුණු දේශපාලන අනාවැකි ගණනාවක් සැබෑකරවමින් වයඹ ඇමැති මණ්ඩලය කණපිට පෙරළී ගියේ පසුගිය සදුදාය. ‘අඵ යට ගිනි ’ දේශපාලන අනාවැකි තවදුරටත් සැබෑවන් කරවමින් ලක්ෂ්මන් වේඩරුව සහ සුමල් තිසේරා අඵත් ඇමැතිවරුන් ලෙස දිවුරුම් දෙද්දී ඞී. බී. හේරත්ගේ ඇමැතිකමට තට්ටු වී ගොස් තිබිණි. නව ඇමැතිවරුන් දිවුරුම්දීම සදුදා දිනයේදී සිදුවෙන බවට ඉරිදා උදෑසන වන විට කණින් කොනින් ආරංචි පැතිරී ගියත්, ඉරිදා පස්වරු පහ හය වෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ඇමැතුමකින් එය නිසැක වශයෙන්ම තහවරු කෙරිණි. මහඇමැති ධර්මසිරිට, දෙහිගමට, සන්ධ්‍යට, වේඩරුවට සහ සුමල්ට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇමැතුම් ලැබී තිබූ අතර සදුදා පෙරවරු අට වෙද්දී කොළඹ ජනාධිපති නිල නිවස වෙත පැමිණෙන ලෙස එම ඇමැතුම්වලින් කියැවී තිබිණි. අදාළ දිවුරුම්දිම සිදුවන තෙක් ඒ පිළිබදව ප‍්‍රසිද්ධ නොකරන ලෙසටද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔවුන් වෙත වැඩිදුරටත් උපදෙස් ලැබී තිබිණි. ආණ්ඩුකාර අමරා පියසීලිටද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඇමැතුමක් ලැබී තිබූ අතර ආණ්ඩුකාරවරිය ඉරිදා රාත‍්‍රියේම කොළඹට පිටත් වූවාය. කෙසේවෙතත් නව ඇමැතිවරුන් දිවුරුම් දෙන බවත් , තමාගේ නම කැපී ඇති බවත් ඞී.බී. විසින් දැනගත්තේ සදුදා උදෑසනය. හතර වටේට දුරකථන ඇමැතුම් වටයක් ගත් ඞී.බී.තමා ඇමැතිකමින් දොට්ට වැටී ඇති බව නිසැක ලෙසම තහවුරු කරගත්තේය. එසැණින් සිය සම්බන්ධීරණ ලේකම්වරයෙකු ඇමැතූ ඞී.බී. ”අපි ගිහින් නිලවාහන ටික භාරදීලා එමු .” යැයි පැවසීය. ඒ අනුව සදුදා පෙරවරු 11.30 පමණ වෙද්දී පළාත් සභාවට පැමිණි ඞී.බී. සිය අමාත්‍යංශයට ඇතුල් විය. ඒ වන විටත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, කුරුණෑගල දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඇතුඵ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීහු අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයට රැස් වී සිටියේ මාසික ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවීම සදහාය. ශ‍්‍රවණාගාරයට ඇතුල් වූ ඞී.බී. පිරිස අමතන්නට විය. ”ඔබතුමාලාට දැන් අඵත් ඇමැතිවරයෙක් පත්වෙලා ඉන්නවා. ඒ නිසා එතුමා ආවාම එතුමා එක්කම මේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම පවත්වන්න. ඒ නිසා මම දැන් මේ අවස්ථාව ඔබතුමන්ලාගෙන් සමුගන්න අවස්ථාවක් කරගන්නවා. ” යැයි කී ඞී.බී. තමාට ඇමැතිධුරයෙහි කටයුතු කරගෙන යාම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් සහයෝගයට ස්තූති කළේය. අනතුරුව අමාත්‍යංශ නිලධාරීන්ද ශ‍්‍රවණාගාරයට කැද වූ ඞී.බී. ඔවුන්ගෙන්ද සමුගත්තේය. අමාත්‍යංශයෙන් පිට වී යෑමට සූදානම් වූ ඞී. බී. වෙනුවෙන් සුඵ සංග‍්‍රහයක් සූදානම් වී තිබුණේ ඞී.බී.ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙනි. හදිසියේ සූදානම් කර තිබූ බැවින් ඞී.බී.ගේ සංග‍්‍රහය හැලපයකට සහ සිසිල් බිම වීදුරුවකට සීමා වී තිබිණි. ඒ ගැන වැඩි තැකීමක් නොකළ ඞී.බී. අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහ සමග හැපයක් බෙදාගෙන කා අමාත්‍යංශයෙන් එළියට බැස්සේය. ඞී.බී. එළියට බසිද්දීම අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි සිටි තරුණියන් කිහිපදෙනෙකු ඞී.බී.ගේ ඇස ගැටිණි. ”ඇයි මේ පැත්තේ ? ” ඞී.බී. යන්නට ගිය ගමන පසෙක තබා තරුණියන්ගෙන් විමසීය. ”ඇමැතිතුමාව මුණගැහිලා යන්න ආවේ. ” තරුණියෝ කීහ. ”ඇමැතිතුමා නම් දැන් මුණ ගැහෙන්න බෑ. ඕනැ නම් මන්ත‍්‍රීතුමාව මුණගැහෙන්න පුඵවන්” යැයි කී ඞී. බී. තරුණියන් පිරිස සමගද කතා කර පළාත් සභාවේ බිම් මහළට පැමිණියේය. ඒ වන විට එහි පැමිණ තිබූ ත‍්‍රීරෝද රථයකට ගොඩ වු ඞී. බී. ”ඔන්න අන්තිමේදී මහජන සේවයට ඉතිරි වුණේ ත‍්‍රිවිලර් එක විතරයි. ” යැයි කියමින් පළාත් සභාවෙන් පිට වී ගියේය.

මහඇමැතිගේ තටු කැපෙයි.

ඞී. බී. හේරත්ගේ ඇමැතිකමට එක් අතකින් තට්ටු අනෙක් ඇමැතිධූරයන් සතුව තිබූ විෂයන් ගණනාවක්ද එහා මෙහා වී තිබිණි. එහිදී වඩාත් කැපී පෙනෙන සිදුවීම වූයේ දීර්ඝ කාලයක් තිස්සේ වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා යටතේ පැවැති ප‍්‍රධාන විෂයන් ගණනාවක් කප්පාදු කර තිබීමයි. ඒ අනුව වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා යටතේ මෙතෙක් පැවැති අධ්‍යාපන, සමූපකාර, ඉඩම් සහ සංස්කෘතික යන ප‍්‍රබල විෂයන් එම ධූරයෙන් ඉවත්කර සෙසු අමාත්‍යවරුන් අතර බෙදා හැර තිබිණි. ඒ අනුව මහඇමැති ධර්මසිරිට මුදල් හා ක‍්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය සහ සාමය, පළාත් පාලන , පළාත් පරිපාලන, ආර්ථික සංවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලප‍්‍රවාහන සහ සංචාරක කටයුතු යන විෂයන්ගෙන් සෑහිමකට පත්වන්නට අකමැත්තෙන් හෝ සිදු වී තිබේ. සත්‍ය වශයෙන්ම අතුල, දයාසිරි මෙන්ම ඊට පෙර සිටි මහඇමැතිවරුන්ගේ පාලන කාලයේදී වයඹ ප‍්‍රධාන අමාත්‍ය තනතුර ප‍්‍රබල තනතුරක් ලෙස කැපී පෙණුනේ මෙම කප්පාදු කළ විෂයන්වල ආධාරයෙනි. විශේෂයෙන්ම ප‍්‍රධාන අමාත්‍ය තනතුරෙහි හදවත බදු වූ අධ්‍යාපනයද මෙවර කප්පාදුවට ලක් වී තිබේ. වයඹ පළාත් සභා ඉතිහාසයේ අධ්‍යාපන විෂය ප‍්‍රධාන අමාත්‍යවරයානේ ඉවත්කර වෙනත් අමාත්‍යවරයෙකු යටතට පත් කෙරුණේ දෙවැනි වතාවටය. මීට පෙර කේ. එම්. ඒ. කුලතුංග මහතා විසින් අධ්‍යාපන ඇමැතිධුරය හෙබ වූ අතර 1998 දී සිදු වූ ඒ මහතාගේ අභාවයත් සමග යළිත් ප‍්‍රධාන අමාත්‍ය ධූරය යටතට පවරා ගැණුනු අධ්‍යාපන ඇමැතිකම දයාසිරි යුගය දක්වාම ඒ යටතේ සුරක්ෂිත වී පැවතිණි. නමුත් අවසානයේදී වයඹ අධ්‍යාපන අමාත්‍ය ධූරය මහඇමැකමින් මෙන්ම කුරුණෑගලින්ද හැලී යන්නේ වයඹ පළාත් සභා ඉතිහාසයේ පළමුවරට අධ්‍යාපන ඇමැතිකම පුත්තලම දිස්ත‍්‍රික්කයට හිමිකර දෙමිනි.
මහඇමැති ලෙස ධර්මසිරිගේ තටු එලෙස කැපී යද්දී තමන්ගේ ඇමැති ධූරයට ඩබල් ප‍්‍රමෝෂන් එකක් ගසා ගත් ඇමැති සන්ධ්‍ය රාජපක්ෂ යුගයේ වාසනාවන්තයා බවට පත්ව සිටී. ඒ මහඇමැතිකමින් ඉවත් කරනු ලැබූ අධ්‍යාපන සහ සංස්කෘතික විෂයන්ද, ඞී. බී.ගේ අමාත්‍යංශයෙන් ගැලැවුණු ක‍්‍රීඩා හා ‍යෞවන කටයුතු විෂයන්ද , අඵතින් හදුන්වා දෙනු ලැබූ , කලා කටයුතු සහ තොරතුරු තාක්ෂණය විෂයන්ද ඇතුළත්ව වඩාත් බලගතු අමැතිකමක් දැරීමේ පින සන්ධ්‍යට පෑදී තිබීම නිසාය. මහඇමැතිකම වෙනුවෙන් මාරාන්තික සටනට යෙදී සිටි සන්ධ්‍යට මහඇමැතිකමට නොදෙවෙනි ඇමැතිකමක් නිර්මාණය කර දෙන්නට ජනපති මෛත‍්‍රී කාරුණික වී ඇති බව පෙනේ. සන්ධ්‍යට ලැබී ඇති විෂයන් දෙස බලද්දී මින් ඉදිරියට පළාත් සභාවේ මහජන දිනය යෙදෙන බදාදා දිනයේ වඩාත් දිගු පෝලිම් දැක ගත හැකිවනු ඇත්තේ ප‍්‍රධාන අමාත්‍යංශයට වඩා සන්ධ්‍යගේ අමාත්‍යංශය ඉදිරියේ විමටත් බැරි නැත. මහින්දගේ මිනිහෙක් ලෙස ලේබල් වී සිටි නමුත් රුවුලත් කැදත් දෙකම බේරාගැනීමට තරම් ඇමැති දෙහිගමත් වාසනාවන්ත වී තිබේ. ඞී. බී.ට අත් වූ ඉරණමට ගොදුරු නොවී ඇමැති තනතුරත්, විෂයන් ටිකත් බේරාගත් දෙහිගමට බෝනස් එකක් ලෙස ප‍්‍රධාන අමාත්‍යංශයෙන් ගැල වූනු සමූපකාර සංවර්ධන හා වෙළද විෂයන් මෙන්ම සමාජ සේවා අමාත්‍යංශය යටතේ තිබූ කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන විෂයන්ද තෑගි ලැබී තිබේ. ඞී. බී.ගේ අමාත්‍යංශයේ කොටසකට සන්ධ්‍යාගේ අමාත්‍යංශයේ කොටසකුත් එක කර ඊට අඵතින් නිර්මාණය කළ සභා කටයුතු විෂයත් එක්කර තැනූ සෞඛ්‍ය, දේශිය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභාකටයුතු අමාත්‍යංශය ලක්ෂ්මන් වේඩරුට හිමි වී තිබේ. සනත් නිශාන්ත විසින් දරමින් සිටි කෘෂිකර්ම, ධීවර, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය , වාර්මාර්ග සහ ගොවිජන සේවා පළාත් අමාත්‍යංශයට මහඅමැතිකමින් ගැල වූ ඉඩම් විෂයද එකතු කිරීමෙන් පසුව සුමල් තිසේරා වෙත භාර දී තිබේ.

ටී. බී. රජගෙදරට – සාලින්ද මූල්‍ය අපරාධයට

පසුගිය මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්දට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තර`ග කිරීමට ආරාධනා කළ බව කියන ටී. බී. ඒකනායක මෙන්ම මහින්ද සමග නැගිටිමු යනුවෙන් මහත් කලබගෑනියක් කළ ඉන්දික බණ්ඩාරනායක සහ තාරනාත් බස්නායකද ජාතික ආණ්ඩුවේ ඇමැතිකම්වලට කරගැහැව්වේ පසුගිය සතියේදීය. මෙයිනුත් වැඩිදෙනෙකුගේ අවධානය යොමු වූයේ ටී. බී. ඒකනායක දෙසටය. කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි ජාතික ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිකමක් භාරගන්නට ටී. බී. විසින් හීන්සීරුවේම කටයුතු කර තිබූ අතර ටී. බී. ගේ සමීප හිතවතුන් පවා ඒ බව දැනගත්තේ ඔහුගේ නම මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වෙද්දීය. විශේෂයෙන්ම පසුගිය සමයේ දියත් කෙරුණු මහින්ද යළි බලයට ගෙන ඒමේ උත්සහයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහ මොළ දෙක ලෙස ක‍්‍රියාකරනු ලැබුවේ ටී. බී. ඒකනායක සහ සාලින්ද දිසානායක දෙපළයි. මහින්ද යළි බලගැන්වීම වෙනුවෙන් පැවැති සාකච්ඡා, රැස්වීම්, හමුවීම් ඇතුඵ සියඵ දෑ සංවිධානය කෙරුණේ මේ දෙපළගේ නායකත්වයෙනි. ඒ නිසාම තමන්ට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට ආරාධනා කළේ ටී. බී. ඇතුඵ පිරිසක් බව පසුගිය මැතිවරණ වේදිකාවලදී මහින්ද රාජපක්ෂ විසින් ප‍්‍රසිද්ධියේ කීවේය. උග‍්‍ර මහින්දවාදියෙකු ලෙස ලේබල් වී සිටි ටී. බී. ජනපති මෛත‍්‍රී ළගට ගොස් ඇමැතිකමක් භාරගැනීම සෙසු මහින්දවාදීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබිණි. එමෙන්ම පසුගිය මැතිවරණයේදී නායකයෙකු තනි නොකළ ගල්ගමුවේ තරුණකම යනුවෙන් ගහක් ගලක් ගාණේ පෝස්ටර් ඇලවූ තාරනාත් බස්නායකද නායකයෙකු ලෙස ජනපති මෛත‍්‍රී තනිකරන්නට බැරිකම නිසාදෝ ජාතික ආණ්ඩුවට එක් විය. සිය දේශපාලන ජීවිතය පුරාම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සමග තීන්දු තීරණ ගත් ඉන්දික බණ්ඩාරනායකද පළමු වරට ජොන්ස්ටන්ගෙන් මිදී ස්වාධීන තීරණයක් ගෙන තිබූ බවක් පසුගිය සතියේදී පෙනෙන්ට තිබිණි. ජොන්ස්ටන්ගේ ඇරයුමින් දේශපාලනයට පැමිණ, ජොන්ස්ටන් සමග එකට මැතිවරණවලට තරග කර, ජොන්ස්ටන් සමග එකට ඇමැතිකම් හොබවා, ජොන්ස්ටන් පිල් මාරුකරද්දී ඊට සමගාමීව පිළත් මාරු කළ ඉන්දික බණ්ඩාරනායක මෙවර ජොන්ස්ටන් හැරදමා තනිවම ගොස් ජාතික ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් භාරගන්නට කටයුතු කර තිබිණි.
කෙසේවෙතත් මහින්දගේ එක් සෙනෙවියෙකු වූ ටී. බී. ඒකනායකට රජගෙදරින් කැදවීමක් ලැබෙද්දී මහින්දගේ අනෙක් සෙනෙවියා වූ සාලින්ද දිසානායකටද පසුගිය සතියේ කැදවීමක් ලැබී තිබිණි. ඒ කැදවීම රජගෙදරින් ලැබුණු එකක් නොවූ අතර සාලින්දට කැදවීම ලැබී තිබුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයෙනි. ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා උදෑසනින්ම කොළඹ ගිය සාලින්ද පෙරවරු 10 වෙද්දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටියේය. එහිදී සාලින්ද ගරු සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කරද්දී හිරියාල ගොවි සමාගම විසින් ලංකා පුත‍්‍ර සංවර්ධන බැංකුවෙන් ලබාගෙන තිබූ රුපියල් කෝටි 250 ක ණය මුදලක් ආපසු නොගෙවා පැහැරහැරීම පිළිබදව කෙරුණු අතර සාලින්ද මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයෙන් එළියට ආවේ පැය තුනකට අධික කාලයක් තිස්සේ ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසුවය.

අලවතුවලට ඇමැතිකම් අකැපද ?
එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවන් වතුරේ යවමින් ජේ. සී. අලවතුවලට ජාතික ආණ්ඩුවේ කිසිදු ඇමැතිකමක් නොලැබිණි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ එජාප මන්ත‍්‍රීවරයෙකු ලෙසත්, ලක්ෂය ඉක්ම වූ මනාප සංඛ්‍යාවක් ලබාගැනීම නිසාත්, පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් අලවතුවල සංවිධායකවරයා ලෙස කටයුතු කරන මාවතගම ආසනය එජාපය විසින් ජයග‍්‍රහණය කිරීම නිසාත් නිසාත් , ඊටත් වඩා අගමැති රනිල් විසින් අලවතුවලට ප‍්‍රමෝෂන් එකක් ලබා දෙන බවට කර තිබූ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයත් නිසාත් අලවතුවලට නිසැකවම රාජ්‍ය ඇමැතිකමක් හෝ නියෝජ්‍ය ඇමැතිකමක් හිමි වේ යැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළකළහ. නියෝජ්‍ය ඇමැතිකම් සහ රාජ්‍ය ඇමැතිකම් පිරිනැමුණු බදාදා පස්වරුවේ අලවතුවලගේ දුරකථනයට ඉස්පාසුවක් නොවීය. ඇමැතිකමක් නොලැබීයාම ගැන විමසමින් අවතුවලගේ ජංගම දුරකථනයට හතරවටින්ම ඇමැතුම් ගලා එන්නට විය. ” අපි දුක් මහන්සි වෙලා හදාගත්තු මේ ආණ්ඩුවෙන් හැම එකාටම ඇමැතිකම් දීලා. මහින්ද අගමැති කරන්න කියලා ඡන්දේ ඉල්ලපු මිනිස්සු දැන් මේ ආණ්ඩුවේ ඉන්නවා. හොරු, කුඩුකාරයෝ, එතනෝල්කාරයො උන් ඔක්කෝමත් මේකේ ඉන්නවා. යූඇන්පිය විනාශ කරන්න , රනිල්ව ගෙදර යවන්න දත කාපු උන් ඉන්නවා. එක කාලෙකට ජෙනරාල්ව උඩදාගෙන රනිල්ට බැණ බැණ කුරුණෑගල ගම් ගාණේ ගිය මිනිස්සු ඉන්නවා. තව කාලයක් සජිත්ව අල්ලගෙන රනිල්ට බැණ බැණ රැස්වීම් කරලා අන්තිමේදී සිරිකොතට ගල්ගහපු මිනිස්සුත් දැන් නියෝජ්‍ය ඇමැතිවරු වෙලා ඉන්නවා. මේ කිසිදේකට සම්බන්ධ නැති ඔබතුමාට විතරක් ඇමැතිකම් වලංගු නැද්ද ?” අලවතුවලට කතා කළ බොහෝ දෙනෙකු කීහ. ”අපි කලබල නොවී තව ටිකක් බලමු. පක්ෂෙන් මට අසාධාරණයක් කරන එකක් නෑ. ”අලවතුවල තමාට කතා කළ හැම කෙනෙකුටම දුන්නේ එවැනි සාමකාමී පිළිතුරකි.

පළාත් සභා තනතුරු පොරය ජංජාලයක් වෙයි.

වයඹ පළාත් සභාවේ දැනට හිස්ව තිබෙන තනතුරු වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් අතර ඇතිව තිබෙන පොරය පසුගිය සතියේදී තවත් ටිකක් ඔඩු දිව්වේය. පෙර සතිවලදී මේ මේ මන්ත‍්‍රීවරුන් මේ මේ තනතුරු සදහා තරගවදින බව කියන්නට හැකි තත්වයක තිබූ නමුත් දැන් එවැනි තත්වයක් නැත. ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත‍්‍රීවරයෙකුම මේ වන විට සිටින්නේ තමන්ටද තනතුරක් ලැබිය යුතුය යන මානසිකත්වයෙනි. ඒ නිසාම සෑම මන්ත‍්‍රීවරයෙකුම පාහේ එකිනෙකා පසුපස වැටීගෙන දගලමින් සිටින්නේ කුමක් හෝ තනතුරක් ඩැහැගැනීම වෙනුවෙනි. මන්ත‍්‍රී සෝමසිරි ගුණතිලක පසුගිය සතියේ පුත්තලමේ සංචාරයක යෙදී තිබුණේ සභාපතිකම ලබාගැනීම සදහා පුත්තලම් දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරුන්ගේ සහය ලබාගැනීමේ අපේක්ෂාවෙනි. සෝමසිරි වෙනුවෙන් පුත්තලමේ මන්ත‍්‍රීවරුන්ට කපුකම කරන්නට භාරගෙන තිබුණේ මන්ත‍්‍රී පාලිත රෝහණ විසිනි. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යැයි කීවාක් මෙන් පාලිත රෝහණ විසින් සෝමසිරිට උදව් කරන බව කියැවෙන්නේ පළාත් සභාවේ සභානායක තනතුර ලබාගැනීමේ අරමුණින් යුතුවය. කොළඹ පිහිටි පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ටිකිරි අධිකාරිද පසුගිය සතියේ යළි නිවසට පැමිණි අතර සම්පූර්ණ සුවය ලබා නැතත් ටිකිරිද මේ වන විට ලෙඩ ඇදේ සිටිම සභාපති ධූරයට තරග කිරීම සදහා සැලසුම් සකස් කරමින් සිටී. ළිදෙන් වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩට ආ යුතු නිසාදෝ ඇමැතිකම අහිමි වූ ඞී. බී. හේරත්ද සභාපති තනතුර දිනාගැනීම වෙනුවෙන් මේ වන විට සටනක් ආරම්භ කර තිබේ. සභානායක ධූරය සම්බන්ධයෙන්ද කියැවෙන නම් ගණනාවකි. පියසිරි රාමනායක, ඉන්ද්‍රානි දසනායක, චින්තක මායාදුන්න, පියුමාල් හේරත්, අසංක නවරත්න ඇතුඵ මන්ත‍්‍රීවරුන්ගේ නම් ගණනාවක් සභානායක ධුරයට තරග කරන මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. තනතුරුවලට පොරකන බව කියන ඇතැම් මන්ත‍්‍රීවරුන්ගේ නම් අසද්දී සිනාපහළ වෙන අවස්ථාවන්ද නැත්තේ නොවේ. මන්ද කිසිදිනෙක විවාදයකදී කතා නොකළ, කිසිදාක ජනතා ප‍්‍රශ්නයක් ඉදිරිපත් නොකළ, පළාත් සභාව තුළ නිද්‍රාශීලී චරිත ලෙස නම් දරා සිටින මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම පළාත් සභාවේ ප‍්‍රධාන තනතුරු ඉල්ලා යුධ වැදී සිටීම හේතුවෙනි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ තනතුරු පොරය නිසාම එළැඹෙන 22 වැනිදා රැස්වෙන පළාත් සභා රැස්වීමේදී අදාළ තනතුරු පත්කිරීමේදී එජාපය ඇතුඵ විපක්ෂයෙන් ලැබෙන ඡන්ද අතිශය තීරණාත්මක ලෙස බලපානු ඇත.

උපුටාගැනීම – මව්බිම පුවත්පත

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article