Sunday, May 19, 2024

ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්

Must read

12533364-6944119-image-a-69_1555837671146

ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ කටයුතු සම්බන්ධ නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මයිකල් මක්කෝල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ආගමික ස්ථානවලට රැස්ව සිටි අහිංසක ජනතාව ඉලක්ක කරගෙන සිදු වූ මෙම බියගුළු ක්‍රියාවෙන් පසක් වන්නේ රැඩිකල් අන්තවාදය මුළු ලෝකයටම තර්ජනයක් වී ඇති බව ද මයිකල් මක්කෝල් සඳහන් කර ඇත.

ඔහු නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

“පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර ඉන් බිලිගත් 2–00කට වැඩි ජීවිත සහ සිය ගණනක් තුවාල ලැබූ පුවත් අසා මම තැති ගත්තෙමි. අන්තර්ජාතික ප්‍රජාව එක්ව මෙම ත්‍රස්ත ක්‍රියා සහ ආගමික නිදහස ඉලක්ක කර එල්ල වන ඕනෑම තර්ජනයක් මුළුමනින්ම හෙළා දැකිය යුතුයි. මෙම ඛේදවාචකයට ගොදුරු වූ සියල්ලන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ඇමෙරිකානු පුරවැසියන්ට ද මගේ ශෝකය පළ කරමි. තොරතුරු ලැබෙන පරිදි අපි තත්ත්වය නිරීක්ෂා කරමින් සිටින්නෙමු.

දැනට ඇති තොරතුරුවලට අනුව ත්‍රස්ත සංවිධානයක් ඉතා සංවිධානාත්මකව මෙම ක්‍රියා සිදු කර ඇති බව පෙනී යනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ භයානක ප්‍රචණ්ඩකාරී අත්දැකීමකට මුහුණ දී  සිටින ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටිනවා. වෛරී ක්‍රියා සහ ත්‍රස්තවාදය ලොව කොතැනක සිදු වුවද එයට එරෙහිව මුහුණදීමට උරෙන් උර ගැටී එක්සිත්ව, ස්ථීරවම සිටිනවා” යනුවෙනි.

මේ අතර ජාතික තව්හීත් ජමාත් සංවිධානය (එන්.ටී.ජේ) සංවිධානය දේවස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන බව විදෙස් බුද්ධි අංශයක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනගෙන සිටි බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

එම බුද්ධි තොරතුරු මුලින්ම ලැබී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා ක්‍රමවේදයක් පවතී. ‘ද ෆයිව් අයිස්’ යනුවෙන් එය හඳුන්වන අතර ඕස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් ද කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article