Monday, May 6, 2024

සන්ධානයේ උපුල්ගේ අතින්, පොහොට්ටුවේ කමල් මාවතගම සභාපති වුණේ මෙහෙමයි.

Must read

 

mawatgama_ps_vote

ඇතැම් අවස්ථාවන්වලදී දෛවය විසින් ජීවිතයට කෙතරම් සරදම් කරන්නේදැයි මෙන්ම කවර අසීරු අවස්ථාවක වුවද වාසනාව ඵලදෙන බව පෙන්වන දුලබ සිදුවීමක් ඊයේ (03 දා) මාවතගම දී දැකගත හැකිවිය.

ඒ මාවතගම ප‍්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරාගැනීම වෙනුවෙන්, වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ. එම්. ආර්. පී. ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ උදෑසන මාවතගම ප‍්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැති මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමේදීය. එහිදී මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කමල් පෙරේරා මහතා සහ උප සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ආර්. බී. දිසානායක මහතා කුසපත් ඇදීම මගින් තේරීපත්වූහ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කමල් පෙරේරා මහතාගේ නමත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන උපුල් පෙරේරා මහතාගේ නමත් සභාපති තනතුර වෙනුවෙන් යෝජනා විය. උපුල් පෙරේරා මහතාගේ නම සභාපති තනතුර සදහා යෝජනා කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසින්වීම විශේෂත්වයකි. අනතුරුව පැවැති විවෘත ඡන්ද විමසීමේදී අපේක්ෂකයින් දෙදෙනාම ඡන්ද 12 බැගින් ලබා සම තත්වයට පත්වීම හේතුවෙන් කුසපත් ඇදීමක් මගින් සභාපතිවරයා තෝරාගැනීමට මුලසුන හෙබ වූ වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කළේය.

ඒ අනුව සභාපති ධූර අපේක්ෂකයින් දෙදෙනාගේ නම් ලියූ තුණ්ඩු කැබැලි දෙකක් ලිපි කවරයකට බහා ලූ පළාත් පාලන කොමසාරිස්වරයා, අදාල ලිපි කවරයෙන් තෝරාගන්නා තුණ්ඩුවේ නම ඇති අපේක්ෂකයා සභාපති තනතුරට පත්වන බව පැවසීය. ඒ අනුව සභාපති තනතුර සදහා පළමුව නම යෝජනා වූ උපුල් පෙරේරා මහතාට අදාල ලිපි කවරයෙන් තුණ්ඩුවක් තෝරා ගැනීමේ අවස්ථාව ලැබිණි. ඒ අනුව කොමසාරිස්වරයා ඉදිරියේ ලිපි කවරයට අත දැමූ උපුල් පෙරේරා මහතා ඉන් එක් තුණ්ඩුවක් ඉවතට ගත් අතර , ඔහුට වඩා ඔහුගේ ප්‍රතිවාදියාගේ දෛවය බලවත් බව පෙන්වමින් එහි සදහන්ව තිබුණේ කමල් පෙරේරා මහතාගේ නමය ! ඒ අනුව කුසපත් ඇදීමේ ජයග්‍රාහකයා ලෙස කමල් පෙරේරා මහතා නම් කෙරුණු අතර ඒ සමගම ඔහු මාවතගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ද තේරී පත්විය.

උප සභාපති තනතුර වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආර්. බී. දිසානායක මහතාගේ නම සහ ස්වාධීන මන්ත්‍රී සමරකෝන් ඒකනායක මහතාගේ නමත් යෝජනාවිය. එම තනතුර වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදීත් අපේක්ෂකයින් දෙදෙනාම ඡන්ද 12 බැගින් ලබා සම තත්වයට පත්වීම නිසා නැවතත් කුසපත් ඇදීමක් සිදුකෙරිණි. පෙර පරිදිම අදාල ලිපි කවරයෙන් තුණ්ඩුවක් තෝරාගැනීමේ අවස්ථාව සමරකෝන් ඒකනායක මහතාට ලැබුණු අතර ඔහු විසින් ද තෝරාගෙන තිබුණේ ප්‍රතිවාදී ආර්. බී. දිනාසායක මහතාගේ නම සහිත තුණ්ඩුවය. ඒ හේතුවෙන් ආර්. බී. දිසානායක මහතා මාවතගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්විය

.mawatgama_ps_vote_1

mawatgama_ps_vote_2

mawatgama_ps_vote_3

mawatgama_ps_vote_4

mawatgama_ps_vote_5

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article