Tuesday, May 7, 2024

සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග දිගටම පවත්වාගැනීම එන්නත ලබාගත් පුද්ගලයෙකුට ලොකු වගකීමක්

Must read

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

776ddd1755c2ed7f1ae8cd68e936b8db_XL

එන්නත ලබාගත් පුද්ගලයෙකුට ලොකු වගකීමක් ඇති බවද, ඔවුන් එන්නත ලබාගැනීමෙන් පසුවද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග දිගටම පවත්වාගැනීම වැදගත් බවද ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද දින (19) ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ජාතික මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේදී කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය නමින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමිනි.

එන්නත මගින් සිදුවන්නේ රෝගය නිසා ඇතිවන සංකූලතා අඩුකිරීම සහ මරණයට පත්වීමේ ඉඩකඩ අඩුකිරීම බවත්, එන්නත ලබාගත් කෙනෙකුට වුවද රෝගය සෑදීමේ යම් ප්‍රවණතාවයක් ඇති නිසා ඔහුගෙන් වෙනත් කෙනෙකුට රෝගය සෑදිය හැකි බැවින් එන්නත ලබාගත් පසුවද දිගින් දිගටම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ වගකීමක් අදාල පුද්ගලයාට පවතින බව විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේය.

මේ මොහොතේ ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉතාමත් තීරණාත්මක අවධානම් අවස්ථාවක එනම් ලංකාවේ තවත් තදින් රෝගීන් වැඩිවිය හැකි අවස්ථාවක පවතින බවද, එබැවින් මෙය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග සියලුදෙනා එක්ව ගතයුතු බවද ඔහු පැවසුවේය.

වෛරසය බෝවීම වැළැක්වීමේ ක්‍රමවේද වශයෙන් නිසි ආකාරව සබන් යොදා දෑත් සේදීම, ඇල්කොහොල් අඩංගු පිරිසිදුකාරක දියරයකින් දෑත් නිසි පරිදි පිරිසිදු කිරීම, නිසි ආකාරව මුඛ ආවරණ පැළදීම, කෙළ බිදිති ආශ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වන නිසා දුරස්ථභාවය මනා ලෙස පවත්වාගැනීම, මිනිසුන් නිතර ගැවසෙන ස්ථාන හැකිතාක් මගහැරීම ආදිය වැදගත් බව ඔහු අවධාරණය කළේය.BOI 1

එමෙන්ම අද පවතින තත්ත්වය සදහා මීට සති තුන හතරකට පෙර ජනතාවගේ හැසිරීම බලපා ඇති බවද ඔහු පැවසුවේය.

ගැබිණි මවුවරුන්, 60ට වැඩි වයස් වල පසුවන්නන් සහ නිදන්ගත රෝග ඇති අය රෝගයේ අයදානම් ප්‍රභේද වශයෙන් හදුන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම කණ්ඩායම් වාශේෂයෙන් පරිස්සම් විය යුතු අතර එවැනි අය සිටින නිවෙස් වල පුද්ගලයන්ද සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරමින් රෝගය නිවෙසට රැගෙන නොයාමට වගබලාගත යුතු බවයි. කොවිඩ් මර්දන එන්නත් ලොව බොහෝ රටවල් වල ගැබිණි කාන්තාවන් සදහා මුලදී නිර්දේශ නොකළ බවද වර්තමානයේ සමහර රටවල එන්නත් ගැබිණි මාතාවන් සදහා නිර්දේශ කරන බවද, ඉදිරියේදී අපේ රට තුළද ගැබිණි කාන්තාවන් සදහා එන්නත ලබාදීමට නිර්දේශ කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද පැවසුවේය.

එමෙන්ම කිරිදෙන මවුවරුන් සදහා මෙම එන්නත ලබාගැනීමට හැකියාවක් ඇතැයිද, එන්නත ලබාගැනීමට පෙර සහ පසු දරුවාට කිරිදීම නැවැත්විය යුතු නැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ප්‍රතිශක්තීකරණය හොදින් පවත්වාගැනීම සදහා අමතරව කළ යුතු දෑ වශයෙන් නිතිපතා ව්‍යායාම වල නිරත වීම, දුම්පානය කරන්නෙකු නම් දුම් පානයෙන් වැළකීම වැදගත් බවද වෛද්‍යවරයා කියා සිටියේය.

යම් කෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය වුවහොත් එහි ප්‍රතිඵල ලැබෙන තෙක් දවස් කිහිපය පවුලේ අයගෙන් ඈත්ව සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් නිවසට වී වෙනමම ගතකිරීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

නියුමෝනියාවට ගොදුරු වන සියලු රෝගීන් මිය නොයන බවද, ඇතමුන් ප්‍රතිකාර සදහා යොමු වන්නේ ප්‍රමාද වී බවද, නියුමෝනියාව සම්බන්ධයෙන් නව ප්‍රතිකාර ක්‍රම පිළිබදව විවිධ පර්යේෂණ සිදුකරමින් පවතින බවද, ඒවා සාර්ථක වුවහොත් ඉදිරියේදී යොදාගැනීමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.

එමෙන්ම මේ දිනවල බොහෝ අයට ප්‍රශ්නයක්ව පවතින මාස්ක් නොහොත් මුව ආවරණ පැළදීමේ නිවැරදි ක්‍රමවේදය පිළිබදව පැහැදිලි කළ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ එන් 95 මාස්ක් එක ඉතාමත් හොද බවත්, සර්ජිකල් මාස්ක් එකක් සමග රෙදි මාස්ක් එකක් පැළදීම යෝග්‍ය බවයි. එනම් පළමුව සර්ජිකල් මාස්ක් එක පළදා දෙවනුව ඊට උඩින් රෙදි මාස්ක් එක පැළදීම සුදුසු වන බවයි.


news.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article