Monday, May 6, 2024

හැමිල්ටන් ඇලේ ඇති කඩා වැටුණ යකඩ ජල දොරටුව පිටතට ගනියි

Must read

19

නාත්තන්ඩිය සහ ඒ  අවට ප්‍රදේශ වැසි සමයේදී ජලයෙන් යටවීමට ප්‍රධනාතම හේතුව ලෙස හදුනා ගෙන ඇති හැමිල්ටන් ඇලේ තිබෙන කඩා වැටී ඇති යකඩ ජල දොරටුව පිටතට ගැනිම පසුගිය 11 දවසේදී සිදු කිරීමට හැකිවූ බව ආපදා කළමණාකරන ඒකකයේ පුත්තලම  දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා සදහන් කරයි.

කොළඹ සිට පුත්තලම දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීම සදහා ඕලන්ද පාලන සමයේදී මෙම ඇල ඉදි කර ඇත. හැමිල්ටන් නම් ඕලන්ද ජාතිකයෙකු විසින් එය කර ඇති බවත්,පසු කළෙක මෙම ඇල මාර්ගය ඔස්සේ පාරු උපයෝගී කරගෙන විවිධ භාණ්ඩ කොළඹ – පුත්තලම අතර ප්‍රවාහනය කර ඇති බවද කියති.

මෙම හේතුවෙන් මෙකී ඇලට ඇතමුන් ඕලන්ද ඇල කියාද,තවත් පිරිසක් හැමිල්ටන් ඇල යනුවෙන්ද හදුන්වති.ඒ අතර තවත් පිරිසක් පාරු ඇල ලෙසින්ද මෙම ඇල මාර්ගය හදුන්වති.

මෙම ඇල මාර්ගය හරහා නාත්තන්ඩිය – තුම්මෝදර ප්‍රදේශයෙන් විශාල ජල දොරටු දෙකක් ඉදි කර ඇත.තුම්මෝදර වෙල් යායට ජලය ලබා ගැනීම සදහා එය ඉදි කර ඇති බව ඇතමුන් පවසන අතර,හැමිල්ටන් ඇල දිගේ ඉහළට ලුණු ගලා ඒම වැළැක්වීම සදහා එය ඉදි කර ඇති බව තවත් පිරිසක් සදහන් කරති.

මෙම ජල දොරටු දෙකෙන් එකක් ලෑලි වලින් ආවරණය කර ඇති අතර,අනෙක් ජල දොර යකඩ වලින් නිෂ්පාදනය කර තිබී ඇත.ලෑලි දොර කලකට ඉහත ජලයේ ගසා ගෙන ගොස් ඇති අතර,යකඩ දොර වසර 30 කට පමණ පෙර හැමිල්ටන් ඇලට කඩා වැටී ඇත.

වැසි කාලයේදී නාත්තන්ඩිය සහ ඒ අවට ඇති ගම්මාන සහ මාර්ග ජලයෙන් යටවීමට ඇති ප්‍රධානතම හේතුව කඩා වැටී ඇති ජල දොරටුව බවට හදුනා ගෙන ඇත. නමුත් මෙම හැමිල්ටන් ඇල පාලනය කිරීමට කිසිදු වගකිව යුතු ආයතනයක් නොමැතිකම හේතුවෙන් කඩා වැටී ඇති එම ජල දොර ඉවත් කිරීමට කිසිදුවෙකුත් ඉදිරිපත් වී නැත.

පවතින තත්ත්වයට යෙදිය හැකි එකම පිළියම වන්නේ කඩා වැටී ඇත ජල දොර ඉවත් කිරීම බව පුත්තලම දිසා ලේකම් වරයා ඇතුළු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ කණ්ඩායමක් විසින් හදුනා ගෙන ඇත.ඒ අනුව හැමිල්ටන් ඇලට කඩා වැටී ඇති එම ජල දොර ඉහළට එසවීම පසුගිය 11 වැනිදා දවස පුරා සිදු කරන ලදි.

කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ කිමිදුම්කරුවන්,පුත්තලමේ පිහිටි 143 වැනි යුධ හමුදා බල සේනාවේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ද එම අවස්ථාවට එක්ව සිටියේය.

පැය කීපයක වෙහෙසකින් අනතුරුව කඩා වැටි ඇති ජල දොර ඉහළට එසවීමට හැකි විය.ඒ සමගම බැස නොගොස් ප්‍රදේශයේ නිවාස සහ මාර්ග යට කරගෙන තිබූ ජලයද බැස යන ආකාරයක් දක්නට ලැබුණි.

දැනට විවිධ ජලජ ශාඛ වලින් වැසී විනාශ වෙමින් පවතින හැමිලටන් ඇල ඉදිරියේදී විදිමත් ලෙස කිසියම් ආයතනයක් වෙත බාර දී නඩත්තු කටයුතු සිදු කිරිමට දිසා ලේකම්වරයා අදහස් කර ඇති බවද ආපදා කළමණාකරන ඒකකයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.09(4) 11(2) 18(2) 08(6) 02(17) 19 13(5)


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article