මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (15/08/2026) පෙරවරුවේ මීගමුව, දළුපත, පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, අධික තදබදය ඇතුළු බන්ධනාගාරය තුළ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම මාසය තුළ රස පරීක්ෂන වාර්තා 9000 ක් ලබා ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි. මෙම පියවර හේතුවෙන් රැඳවියන් විශාල පිරිසකට ඇප ලබා ගෙන නිදහස් වීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
අමාත්‍යවරයා බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් සමඟ සෘජුවම සාකච්ඡා කළ අතර, ඔවුන්ගේ ගැටලු, ආහාර සහ සනීපාරක්ෂක තත්ත්වයන් පිළිබඳවද සොයා බැලීමක් සිදු කලේය. එහිදී රැඳවියන් අමාත්‍යවරයාගෙන් ප්‍රධාන වශයෙන් ඉල්ලා ඇත්තේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කරන ලෙසයි.








