“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික තේමාවට සමගාමීව, වාරියපොළ සතිපොළ භූමිය වඩාත් ඵලදායී හා ආදායම් උත්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම ඊයේ (14) පෙරවරුවේ සිදු කෙරිණි. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති වෙනුවෙන් පිරිනමන “කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන” (Performance-Based Capital Grants) යටතේ සහ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 39.27 කි.
මේ යටතේ ඉදිවන නවීන සාප්පු සංකීර්ණය ප්‍රදේශයේ ව්‍යවසායකයින්ට සහ ස්ථිර වෙළෙඳුන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂිතව හා විධිමත්ව පවත්වාගෙන යාමට නව වෙළඳ කුටි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය.
විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්, පිරිසිදු පානීය ජලය සහ නවීන සනීපාරක්ෂක පහසුකම් ස්ථාපනය කිරීම මගින් වෙළඳාම් කිරීමට සහ පහසුවෙන් මහජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි සතිපොළ භූමිය සංවර්ධනය කිරීමට නියමිතය.







