ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව රැම්සා අභය භූමියට වෙනත් කාල වලදී මෙන් මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ඇති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
මෙරට දෙවන තෙත් බිම් රක්ෂිතය වන්නේ ආනවිළුන්දාව කුරුළු අභය භූමියයි. 2001 අගෝස්තු මස 08 වැනිදා තෙත්බිම් පිළිබදව ජාත්‍යන්තර සම්මුතියට (රැම්සා සම්මුතියට) අනුව හෙක්ටයාර් 1397 ක් වන මෙම ප්‍රදේශය රැම්සා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම කුරුළු අභය භූමිය තුළ වැව් 05 ක් පිහිටා ඇත.ආනවිළුන්දාව,මයියාව, සුරුවිල,පිංකට්ටිය සහ වෙල්ලවල එසේ පිහිටා ඇති වැව් වේ.රතඹලාඔයෙන් පෝෂණය වන මෙම වැව් පද්ධතිය එකට එකක් බද්ධව හෙවත් “එල්ලංගා පද්ධතියට” අනුව පිහිටා තිබීම විශේෂත්වයක් වේ.
මෙම ප්‍රදේශයේ පවුල් 2500 ක් පමණ ඉහත වැව් සමග විවිධ ජීවනෝපායන් සිදු කරමින් ජීවත් වන බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.ඇතමෙක් ගොවිතැන් කටයුතු සිදු කරන අතර,තවත් පිරිසක් ධීවර කර්මාන්තය සහ ඉස්සන් වගාවන් සිදු කරති.

මෙම වැව් ආශ්‍රිතව මත්ස්‍ය විශේෂ 47 ක්,උභය ජීවී විශේෂ 11 ක්,උරග විශේෂ 34 ක් මෙන්ම පක්ෂි විශේෂ 168 ක්ද සමනළුන් විශේෂ 78 ක් ජීවත් වන බව පරිසරවේදීන් විසින් හදුනා ගෙන ඇත.විදේශීය පක්ෂී විශේෂ 37 ක් වාර්ෂිකව මෙම ප්‍රදේශයට පැමිණ තම ප්‍රජනන කටයුතු සිදු කර දරු පැටවුන්ද සමග ආපසු සිය රටවල් බලා පිටත්ව යන බව පර්යේෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රදේශය තුළ ඇති වැව් පද්ධතිය සහ ඒ හා බැදී ඇති පරිසරය ඉහත කී පක්ෂීන් සහ සෙසු සත්ත්ව කොට්ඨාස වඩාත් ඇළුම් කරන බවක් දක්නට ඇත. මන්ද නියං සමයේදී වුවත් මෙම ප්‍රදේශය තුළ ඇති සිසිළස මෙන්ම ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියද එම සතුන්ගේ ජීවන කටයුතු වලට හිතකර වී ඇති බැවිනි.
නමුත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති දිට්වා සුළි කුණාටුවත් සමග ආනවිළුන්දාව වැව ඇතුළු තවත් වැව් තුනක් මහා ජල පහරට හසුවී බිදී ගියේය. බිදී ගිය එම වැව් මේ වන විට සිදී ගොස් ඉරි තලා ඇති ආකාරයක් දක්නට ඇත. සිදී ගොස් ඇති වැව් ආශ්‍රිතව පැස්තුඩුවන්,කොක්කුන් සහ දියකාවන් ඇතුළු පක්ෂී විශේෂ කීපයක් පමණක් සිටින බවක් එම ප්‍රදේශයේ සංචාරය කළ අපට දැක ගත හැකි විය.එම පක්ෂීන්ද යන එන මං නොමැතිව අසරණ වී සිටින්නේද යන සැකයක්ද ඇත.
“සාමාන්‍යයෙන් වසරේ මාර්තු මාසය මුල් කාලයේදී විදේශීය පක්ෂීන් මෙම ප්‍රදේශයට එනවා.ඒ එන පක්ෂීන් මාස 03 ක පමණ කාලයක් මේ ප්‍රදේශයේ කූඩු සාදා ගෙන ජීවත් වෙනවා.නමුත් මේ පාර නම් අපි විදේශීය පක්ෂීන්ව තවම දැක්කේ නෑ.ඒකට හේතුව තමයි වැව් වල ජලය නොමැති කම.ජලය නොමැති කම නිසා වැව් අවට සිසිලස අඩු වෙලා තිබෙනවා.ඒ නිසා ඇතැම් විට පක්ෂීන් එන්න නැතිව ඇති කියලයි අපි හිතන්නේ.
බිදී ගිය වැව් බැමි නැවත කඩිනමින් හදලා දෙන්න කියලා අපි බලධාරීන්ට කිව්වා.මොකද මේ වැව් පෝෂණය වන්නේ වැසි ජලයෙන් නොවෙයි. රතඹලාඔයේ ජලය ප්‍රමාණවත් තරම් තියනවා මෙම වැව් පෝෂණය කරන්න. නමුත් අපි කියපු දේ තවම සිදු වෙලා නෑ.ඒ නිසා වැව් පද්ධතියම සිදිලා ගිහිං තියෙන්නේ.මේ විධියට ගියොත් ලබන අවුරුද්දේ සංචාරක පක්ෂීන් ආනවිළුන්දාවට එයිද කියන සැකයත් අපිට තියනවා.එහෙම වුනොත් තෙත් බිමක් කියලා ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කරලා තියන මේ භූමිය වියලි බිමක් බවට වැඩි කාලයක් යන්න පෙර ප්‍රකාශයට පත් කරයි”.
අපට හමුවූ ගම්වැසියන් කියා සිටියේය. බිදී ගොස් ඇති වැව් බැමි කඩිනමින් ප්‍රකාශ කරන බව පසුගිය දින වල බලධාරීන් කියා සිටියේය.එසේ වැව් ප්‍රතිසංස්කරණය කරන විට මූලිකත්වය ලබා දිය යුතු ස්ථාන පිළිබදව අවධානය යොමු නොකිරීම වර්තමානයේ ආනවිළුන්දාව වැව් පද්ධතියට සිදුවී ඇති තත්ත්වය අනුව පෙනී යන්නේය. ආනවිළුන්දාව රැම්සා අභය භූමිය අප රැක ගත යුතුමය.මන්ද මෙම භූමිය අප රටට සම්පතක් වන බැවිනි.
ජුඩ් සමන්ත











