Sunday, May 5, 2024

ඔවුන් කොහෙද? ඔවුන් අතුරුදහන් කළේ කවුද? යුක්තිය සොයා නැගෙන පියසටහන්

Must read

new-web-481991 ඔක්තෝබර් 27 වැනිදාවේ 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සීදුව, රද්දොළුව මංසන්ධියේදී ඇරඹී අතුරුදහන්වූවන්ගේ සැමරුම මේ වන විට 29 වතාවක් අඛණ්ඩව සංවිධානය කර තිබේ. 2018 අගෝස්තු අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිකුත් කළ අතුරු වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි ඔක්තෝබර් 27 වැනි දිනය ජාතික අතුරුදහන්වූවන්ගේ දිනය ලෙස නම් කර තිබේ. මෙවර මෙම සැමරුම 30 වැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබුනද පවත්නා වසංගත තත්ත්වය හමුවේ සුපුරුදු රද්දොළුව ස්මාරකයෙන් ඈත්ව එය සමරන්නට සිදුව තිබේ. මෙම සටහන ඒ සැමැරුම වෙනුවෙනි.

“හැම කඳවුරක් ගානෙම ගියා. අද වෙනතුරු මගේ පුතා ගැන කිසිම ආරංචියක් නෑ. පුතා නැති දුක නිසා මගේ මහත්තයා වසබීලා මැරුණා” අතුරුදහන්වූ සිය ආදරණීය පුතා සොයා යන ඇය අපට ගාල්ලෙන් හමුවූ මවකි. මේ තවත් එවැනි ඛේදනීය කතාවකි. “කවුරුහරි අපේ තාත්තව අල්ලාගෙන ඉන්නවනම් නිදහස් කරන්න. මට ඉස්කෝලෙ යන්න බෑ. තාත්තා ආවොත් විතරයි මම ඉස්කෝලේ යන්නේ”. ඒ අපට වවුනියාවේදී මුණගැසුණු තාත්තා අහිමි කුඩා දරුවෙකි. ගාල්ලේ දයාවතීලා, වවුනියාවේ රාජේන්ද්‍රනීලා, මාතලේ රියාස්ලා සහ මඩකලපුවේ පරමේශ්වරීලා මුහුණදුන් මේ ඛේදනීය ඉරණමට සිංහල, දෙමළ, මුස්ලිම් හෝ උතුර, දකුණ, නැගෙනහිර කියා භේදයක් නැත. එකම අරගල බිමක ඔවුන් ඩාදිය කඳුළු හෙලනුයේ වෙනයම් දෙයක් සොයා නොව බලහත්කාරී අතුරුදහන්කිරීමට ගොදුරුවූ සිය ආදරණීයයාගේ ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමටත් ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරවා ගැනීමටත්ය.

ඉතිහාසය

බලහත්කාරී අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ අඳුරුතම ඉතිහාසයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී තිබෙන පරිදි පුද්ගලයින් බලහත්කාරී ලෙස අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් ලංකාව දෙවැනි වන්නේ ඉරාකයට පමණි. පුද්ගලයන් බලහත්කාරී ලෙස අතුරුදහන්කිරීම පිළිබඳව ලංකා රජයට චෝදනා එල්ලවූ පළමු අවස්ථාව වන්නේ 1971 කැරැල්ලයි. නමුත් එම කැරැල්ල තුළ සිදුව ඇති බලහත්කාරී අතුරුදහන්කිරීම් පිළිබඳව නිශ්චිත සංඛ්‍යාලේඛන සොයාගත නොහැකිය. ඉන් පසු රජයේ අනුග්‍රහය මත සිදුකළ බලහත්කාරී අතුරුදහන්කිරීම් පිළිබඳ තොරතුරු 1983 කලු‍ ජුලිය තුළත් 1989 තරුණ කැරැල්ල තුළත් වාර්තා වේ. අවුරුදු තිහකට ආසන්න කාලයක් ක්‍රියාත්මකවූ ජනවාර්ගික ගැටුම තුළ යුද අපරාද සහ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් සම්බන්ධයෙන් රජයටත් එල්ටීටීඊය සංවිධානයටත් යන පාර්ශ්ව දෙකටම චෝදනා එල්ලවී තිබේ. රජයේ හමුදාව සහ එල්ටීටීඊය සංවිධානය අතර සිදුවූ යුද ගැටුම තුළ හා එහි අවසාන අදියරේදී රජයේ ආරක්ෂක අංශවලට භාරවූ සටන්කාමීන්, ඔවුන්ගේ ඥාතීන් අතුරුදහන්වීමට හා ඝාතනයට ලක්ව ඇති බවට මේ සම්බන්ධව සොයා බැලීමට පත් කළ කොමිෂන් සභා වාර්තාවල සඳහන්ව තිබේ.

ජිනීවා යෑම

සන්නද්ධ ගැටුම 2009 වසරේ මැයි 19 දින යුදමය වශයෙන් අවසන් කිරීමත් සමඟ ලාංකිකයන් හා ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ සාමය හා ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ අපේක්ෂා දල්වා ගත්තද එය යථාර්ථයක් නොවීය. මන්ද යත් එවකට මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගූ මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාදරයින් බලහත්කාරී අතුරුදහන්කරවීම්වල ගොදුරක් බවට පත්වීමේ සුලබ වාතාවරණයක් ඇති විය. 1989 දකුණේ සිවිල් කැරැල්ල තුළ බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට විරුද්ධව සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් ආණ්ඩුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේද එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂය. අතුරුදහන්කිරීම් නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා සම්බාධක පනවමින් ශ්‍රී ලංකා රජයට බලකරන ලෙස ජාත්‍යන්තරය තුළ පෙනී සිටි ඒ මහතා බලය දැරූ ආණ්ඩුව ඉන් අවුරුදු තිහකට පසු අතුරුදහන්කිරීම්, පැහැරගැනීම් හා දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක්විය. අවස්ථාවාදී දේශපාලනය තුළ බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට සම්බන්ධ අපරාධකරුවන්ට සමාව දීම හෝ ප්‍රමාණවත් සාක්ෂි තිබියදී පවා වැරදිකරුවන් නීතියෙන් නිදහස් කර තැබීමට වරින් වර බලයට පත් පාලකයන් කටයුතු කර තිබේ. එමෙන්ම යුද අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් රජයේ ඉහළ තනතුරුවලට පත්කිරීම සහ හමුදාකරණය වූ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද වත්මන් රජයට විවේචනයට එල්ල වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලු‍තිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත්කිරීම යුද්ධයේ වින්දිතයින්ට කළ අගෞරවයක් බවයි.

කෙසේ නමුත් නැවත වතාවක් සිංහල බෞද්ධ ජාතිකවාදී පදනමෙන් බලයට පත් නව ආණ්ඩුව සත්‍යය, යුක්තිය, හානිපුරණය සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසම් ස්ථාපිත කිරීමේ යෝජනා ප්‍රතික්ෂේප කිරීමේ සහ නොතකා හැරීමේ ඉඟි පළකරමින් තිබීම කණගාටුදායකය.

ස්වාධීන යාන්ත්‍රණයක් ඉල්ලා සිටීම

1989 සිවිල් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම පිළිබඳ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සමාජ සංවිධාන ගෙනගිය අරගලයේ එක් ඉල්ලීමක් වූයේ අතුරුදහන්වූවන් පිළිබඳව විමර්ශනය කිරීමට ස්වාධීන යාන්ත්‍රණයක පවතින අවශ්‍යතාවයි. 1989 සිදුවීම් සම්බන්ධයෙන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි තැනැත්තන් සොයාගැනීමට ඇතැම් පවුල්වලට හැකිවූ අතර බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන් පිළිබඳව විමර්ශනය කිරීමට ආණ්ඩුවට කළ බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග රජය විසින් 1995 වර්ෂයේදී අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසම පිහිටුවන ලදී. හෝඩුවාවක් නොමැති වින්දිතයින්ගේ පවුල්වලට වන්දි සමඟින් මරණ සහතිකයක් නිකුත් කිරීමට එම කොමිසම කටයුතු කළේය. එහෙත් අතුරුදහන්වීමට ගොදුරුවූ සිය ආදරණීයයා පිළිබඳ හෝඩුවාවක් නොමැති පමණින් ඔවුන් ජීවතුන් අතර නොසිටීය යන්න පිළිගැනීමට ඇතැම් පවුල් අකමැති වුහ.

ජාත්‍යන්තර මැදිහත්වීම

විශේෂයෙන්ම සහමුලින් දේශීය වූ යාන්ත්‍රණයකින් තම අතුරුදහන් කරවූ ඥාතීන්ට සාධාරණයක් ඉටු වෙතැයි සැක පහළ කළ උතුරු නැගෙනහිර වින්දිත පවුල්වල ජනතාව ජාත්‍යන්තර විමර්ශනයක අවශ්‍යතාව 2012 වසරේදී ඉල්ලා සිටිනු ලැබීය. ඉන් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ බලහත්කාරී අතරුදහන් කිරීම් පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා රජය සතු ජාතික වගකීම සහ එක්සත් ජාතීන්ට ඇති බැඳියාවයි. එහෙත් වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා පැවති රජය අවංක කැපවීමක් පෙන්වීමට අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා රජයේ සම සහභාගීත්වයෙන් ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන 30/1 යෝජනාව සම්මත කරගන්නා ලදී. අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍යය හෙළි කිරීමට කාර්යාලයක් පිහිටුවීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීම, හානිපූරණය සඳහා කාර්යාලයක් පිහිටුවීම සහ නැවත සිදු නොවීම සහතික කිරීමට අවශ්‍ය වැදගත් ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු යෝජනා ගණනාවක් එහි අඩංගු විය. 30/1 යෝජනාවට ශ්‍රී ලංකාව සමදායකත්වය සපයමින් දේශීය වශයෙන් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ යම්තාක් දුරකට ගොඩනැගීමට යහපාලන රජය සමත් වුවත් එහි සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අප සමත් වූයේ නැත. මේ වන විට වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව 30/1 යෝජනාවේ සම දායකත්වයෙන් ඉවත්ව ඇත.

OMP හා 6000 අතුරු දීමනාව

අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍යය හෙළිකිරීම හා යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එවකට ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේ යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තු පනතක් මඟින් අතුරුදහන්වූ තැනත්තන් පිළිබඳ කාර්යාලය 2017 වසරේදී ස්ථාපිත ලදී. එහෙත් එමඟින් අපේක්ෂා කළ අන්දමින් ම ප්‍රතිඵල වින්දිතයින්ගේ පවුල්වලට නොලැබුණි. අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්වාධීනව පවත්වාගෙන යාමට පැවති යම් යම් බාධා සහ සත්‍ය සෙවීමේලා සැබෑ වුවමනාවක් නොමැතිවූ නිසා ආයතනික අරමුණු ඉටු නොවුණි. වත්මන් ආණ්ඩුව අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට දේශපාලනික වශයෙන් විරුද්ධ ස්ථාවරයක් දැරීම නිසා බලහත්කාරී අතුරුදහන්කිරීම්වලට ගොදුරුවූ වින්දිතයින් පිළිබඳ සත්‍යය හෙළිකිරීම හා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය තවදුරටත් මන්දගාමී කර තිබේ. දක්නට නොමැති බවට වූ සහතිකය ලබාගෙන ඇති පවුල් සඳහා රු. 6000ක මාසික අතුරු දීමනාවක් ගෙවීමට 2019 අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කළද ඉන් ගෙවා ඇත්තේ මිලියන 11ක් පමණි. මරණ සහතික නිකුත්කර තිබෙන පුද්ගලයන්ගේ පවුල් සඳහාද එම අතුරු දීමනාව ලබාදීමට රජය විසින් පසුව තීන්දු කළද එම පවුල් සඳහා අදාළ දීමනාව මෙතෙක් ලබාදී නොමැත. එසේනම් අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා වෙන්කළ මුදලින් ඉතිරි මිලියන 489ට සිදුවූයේ කුමක්ද යන්න බරපතළ ගැටලු‍වකි.

වසංගතය හමුවේ අභියෝගය

අතුරුදහන් කරවූවන් පිළිබඳ සත්‍ය සහ යුක්තිය සොයා සිදුකරන අඛණ්ඩ අරගලයේම කොටසක් වන ඔවුන් ස්මරණය කිරීම, මහජන සෞඛ්‍ය අර්බුදයක් රට තුළ මතුව ඇති වාතාවරණයක වඩාත් අභියෝගාත්මක වී තිබේ. ප්‍රජා සෞඛ්‍ය අර්බුදකින් එහා ගිය කොරෝනා වසංගතය සමාජ, ආර්ථික අර්බුදයක් බවට පරිවර්තනය වීම තුළ ආණ්ඩුව ජන ජීවිතයේ සැබෑ ප්‍රශ්න යටගසමින් සිටින බවක් පෙනෙන්නට ඇත. ඒ අතර අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍යය හෙළිකිරීම හා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය යටපත් කිරීමේ උත්සාහය සාර්ථකව ඇති බවක් පෙනේ.

මෙම අභියෝගය හමුවේ පුරා වසර 29ක් අඛණ්ඩව ඔක්තෝබර් 27 වැනි දිනට යෙදෙන අතුරුදහන් තැනැත්තන් පිළිබඳ ජාතික දිනය වෙනුවෙන් රද්දොළුව අතුරුදහන්වූවන්ගේ ස්මාරකය අභියස සිදුකළ අතුරුදහන්වූ ආදරණීයයන් ස්මරණය කිරීමේ 30 වැනි සැමරුම මෙවර සමරන්නට සිදුව ඇත්තේ, ඔන් ලයින් ක්‍රමයටය.

ඉතා අසීරු මොහොතක වුවද ඔවුන් ස්මරණය කරමින් අප ඔවුන් අමතක කර නැති බව සපථ කිරීමත් ඒ ඔස්සේ පාලකයන්ට කරන බලපෑම අත්නොහැර සිටීමත් අප සියල්ලන්ගේ වගකීමක් වන්නේ අතුරුදහන්වූවන් පිළිබඳ සත්‍යය හෙළිකිරීම හා යුක්තිය ඉටුකරවා ගැනීමේ අරගලයේ අවසාන අරමුණ ලෙස මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් වන බලහත්කාරී අතුරුදහන්කිරීම් නැවත සිදුවීම වළක්වා ගත යුතු බැවිනි.

 


මරීන් නිලාශනී සහ අසංක අබේරත්න


උපුටාගැනීම – www.samabima.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article