Sunday, May 5, 2024

ඔස්ට්‍රේලියාව: පිටුවහල් කිරීමෙන් පවුලක් බේරාගත් දෙහැවිරිදි දැරියක්

Must read

_108557431_children - Copy
ගුවන් යානයක් ආපසු හැරවීමට මුල් වූ දෙහැවිරිදි ‘ධරුනිගා’ (Dharuniga)ළදැරිය(වමේ)

ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ගුවන් යානයකට පටවා මධ්‍යම රාත්‍රියේ එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දමිළ පවුලක් කිලෝමීටර් තුන්දහසක් (3000) තරම් දුරක් පියාසර කරමින් සිටියදී ආපසු කැඳවීමේ නියෝගයක් ලබා ගැනීමට එම පිටුවහල් කරනු ලැබීමට එරෙහි ක්‍රියාධාරයෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එරට දේශපාලන සරනාගතභාවය අයදුම් කරන ලද යුවළක් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එම දුර්ලභ අත්දැකීමට මුහුණ දුන්හ.

ඔස්ට්‍රේලියාවේ ‘ක්වීන්ස්ලන්ඩ්’ ප්‍රාන්තයේ පදිංචිව සිටි එම පවුල පසුගිය මාර්තු මාසයේ බලහත්කාරයෙන් රැඳවුම් මධ්‍යස්ථානයකට ගෙනයනු ලැබීමත් සමඟ එම පවුලේ ඉරණම ජාතික මට්ටමේ මහජන විරෝධයකට පවා හේතු වී තිබුණි.

එහෙත් එම දමිළ පවුල ‘සරණාගතයන් නොවන’ බව තීන්දු කළ ඔස්ට්‍රේලියානු බලධාරීහු ඔවුන් පිටුවහල් කරනු ලැබීම සිකුරාදාත් (අගෝස්තු 30) යුක්ති සහගත කළහ.

“අපේ රටේ රැකවරණ ලබන්නට එම පවුලට අයිතියක් නැහැ” ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු භාර ඇමති පීටර් ඩට්න් (Peter Dutton) එරට මාධ්‍යයට ප්‍රකාශ කළේය.

අදාළ දමිළ පවුලේ සරණාගත අයදුම්පත් පුළුල් සහ සවිතරාත්මක මට්ටමින් සලකා බලන ලද බවත්, ආගමන -විගමන නිලධාරීන් විසින් එම අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඇමතිවරයා පවසයි.

සිය සරණාගත අයදුම්පත් බැහැර කරනු ලැබීමට එරෙහිව අදාළ පවුලේ මව්පිය දෙපල සහ වැඩිමහල් දරුවා විසින් වරින්වර ඉදිරිපත් කරන ලද නෛතික අභියාචනාවන් ද මෑත අවස්ථා කීපයකදීම ප්‍රතික්ෂේප කරනු ලැබීමට ලක්ව ඇත.

නඩේසලිංගම් සහ ප්‍රියා_108556044_family

ඉහත කී පවුලේ පියා වන ‘නඩේසලිංගම්’ සහ මව ‘ප්‍රියා’ ශ්‍රී ලංකාවේ යුද සමයේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර, එහි දී දැන හැඳිනගත් ඔව්හු විවාහ වූහ. ඔවුන්ගේ හතර හැවිරිදි වැඩිමහල් දියණිය ‘ගෝපිකා’ (Kopika)) සහ දෙහැවිරිදි ‘ධරුනිගා’ (Dharuniga) උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේදීය.

නඩේසලිංගම් සහ ප්‍රියා ආපසු ශ්‍රී ලංකාවට යවනු ලැබුනහොත්, පැරණි දේශපාලන සබඳතා අනුව එම දෙපලට එරෙහිව නඩු පවරනු ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙණී සිටින ආධාරකරුවෝ කියා සිටිති.

පසුගිය මාර්තු මාසයේදී එම පවුල බලහත්කාරයෙන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ‘රැඳවුම් මධ්‍යස්ථානයකට’ යවනු ලැබීමට පෙර ඔවුහු වසර තුනක කාලයක් බිලෝලා (Biloela) නම් කුඩා ඔස්ට්‍රේලියානු නගරයක ජීවත් වී ඇත

එක්තරා උදෑසනක ඔස්ට්‍රේලියානු නිලධාරීන් විශාල පිරිසක් ඔවුන්ගේ නිවසට කඩා පැන ඇති අතර, එම ක්‍රියාව විශාල මහජන විරෝධයකට හේතු විය.

ඔවුන් ‘රැඳවුම් මධ්‍යස්ථානයෙන්’ ආපසු ගෙනෙන මෙන් ඉල්ලමින් ඉදිරිපත් කෙරුණ මහජන පෙත්සමකට එක් ලක්ෂ විසි දහසකට (120,000) අධික අත්සන් ප්‍රමාණයක් එක්ව තිබුණි.

මේ අතර මාර්තු මාසයේ එම පවුලට රටින් පිටවීම සඳහා සූදානම් වීමට බලධාරීන් විසින් දී තිබුණේ විනාඩි දහයක කාලයක් පමණි.

තහනම් නියෝගයක්

නඩේසලිංගම් පවුල වෙනුවෙන් නැගී සිටි ජනතාව
නඩේසලිංගම් පවුල වෙනුවෙන් නැගී සිටි ජනතාව

‘නඩේසලිංගම්’ පවුල මුහුණ දුන් පිටුවහල් අභියෝගය පිළිබඳ කතන්දරයේ නාට්‍යමය අවස්ථාව උද්ගත වන්නේ සිකුරාදා (අගෝස්තු 30) පාන්දරය.

එම තත්ත්වය ඇතිවුණේ ‘නඩේසලිංගම්’ පවුලේ බාලම දරුවා වන ‘ධරුනිගා’ (Dharuniga) පිටුවහල් කරනු ලැබීම තහනම් කරමින් ආණ්ඩුවට පනවා තිබුණ තහනම් ආඥාවක් (injunction) ලබන බදාදා වන තෙක් දීර්ඝ කිරීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයක් බ්‍රහස්පතින්දා තීන්දු කිරීමත් සමඟය.

එහෙත් එම අධිකරණ නියෝගය ‘ධරුනිගා’ගේ (Dharuniga) පවුලේ සෙසු සාමාජිකයන්ටත් අදාළ කරනු ලැබීමට ඔස්ට්‍රේලියානු ආණ්ඩුව ඉඩක් දෙනු ඇද්ද යන්න තවමත් පැහැදිලි නැත.

“ධරුනිගා’ (Dharuniga) දැරියගෙන් ඇයගේ පවුලේ සෙසු සාමාජිකයන් වෙන් කළොත් එය ඉතා අමානුෂික ක්‍රියාවක්” නීතිවේදිනී කරීනා ෆෝර්ඩ්(Carina Ford) මාධ්‍යය අමතමින් කියා සිටියාය.

පිටුවහල ගුවනේ දී ආපසු කැරකුන හැටි_108556046_daddu.png

බ්‍රහස්පතින්දා (අගෝස්තු 29) රාත්‍රියේ ‘මෙල්බෝර්න්’ ගුවන් තොටුපොළට විරෝධතාවාදීන් පිරිසක් ඒකරාශී වෙමින් සිටියහ.

එවැනි තත්ත්වයක් ඇති වුණේ ‘නඩේසලිංගම්’ පවුල පැය කීපයක් ඇතුළත ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බවට තොරතුරු පැතිර යාමත් සමඟය.

කෙසේවුවද, ඔස්ට්‍රේලියානු වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී එකොළහට (11.00) ‘නඩේසලිංගම්’ පවුල රැගත් යානය ගුවන්ගත කෙරුණි.

එහෙත් අන්තිම මිනිත්තුවේ සියල්ල කණපිට හැරුණේ, ‘නඩේසලිංගම්’ පවුලේ සාමජිකයන් රැගත් ගුවන් යානය පියාසර කරමින් තිබියදී වහාම ක්‍රියාත්මක වූ නීතිවේදීන් කණ්ඩායමක් දෙහැවිරිදි ‘ධරුනිගා’ (Dharuniga) පිටුවහල් කරනු ලැබීම අත්හිටුවීමේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අන්තිම මිනිත්තුවේ සමත් වීමත් සමඟය.

විනිසුරු දුරකතනය මගින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ඒ වනවිට කිලෝමීටර් තුන් දහසක දුරක් පියාසර කර තිබුණ යානය වහාම ගොඩ බෑමට නියෝග කෙරුණ අතර, නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් (Darwin) නගරයට එය ගොඩබස්වනු ලැබුණි.

ඒ වනවිට ඔස්ට්‍රේලියානු වේලාව අද සිකුරාදා (අගෝස්තු 30) පාන්දර තුන (03:00) විය.

අනතුරුව ආරක්ෂක නිලධාරීන් විසින් ‘නඩේසන්’ පවුල ගුවන් යානයෙන් පිටතට කැඳවා ගෙන යන ආකාරය අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති පින්තූර මගින් ලෝකයට දැකගත හැකි විය.

“ඔවුන් ඉතාම සංවේදී සහ ඉතා අසීරු මානසික මට්ටමක පසුවුණා ” පවුලේ මිතුරියක වන ඇන්ජෙලා ෆ්රෙඩ්රික්ස් (Angela Fredericks) බීබීසියට ප්‍රකාශ කළාය.

“ගුවන් යානය තුළ දී දැරියන් දෙදෙනා අඬමිනුයි – ගමන් ගනිමින් ඉඳල තියෙන්නේ. අම්මාට ඇයගේ දරුවන් එක්ක එකට වාඩිවෙලා යන්න අවසර දීලා නැහැ” ඇන්ජෙලා ෆ්රෙඩ්රික්ස් (Angela Fredericks) වැඩි දුරටත් සඳහන් කළාය.

Image copyright FR.ROD BOWER
Image caption නඩේසලිංගම් පවුල පිටුවහල් කරනු ලැබීමට එරෙහිව ආගමික ආයතන ඉදිරිපත් විය

සමාජ ඉල්ලීම

මහජන මන්ත්‍රීවරුන් ද ඇතුළුව අන්තර්ජාලයට අදහස් දක්වන බොහෝ ඔස්ට්‍රේලියානු ජාතිකයෝ, ආණ්ඩුව ‘නඩේසලිංගම්’ පවුලට සලකන ආකාරය සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කරන අතර, ‘සානුකම්පාවෙන්’ කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කරති.

‘විචාරශීලීව කටයුතු කරන’ ලෙස සංක්‍රමණ කටයුතු භාර ඇමති ඩේවිඩ් කෝල්මන්ගෙන් (David Coleman) ඉල්ලීමක් කරන ඔස්ට්‍රේලියානු විපක්ෂයේ මන්ත්‍රීවරු ‘නඩේසලිංගම්’ පවුලට එරට ජීවත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියහ.


උපුටා ගැනීම – බීබීසී සිංහල වෙබ් අඩවිය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article