Friday, May 17, 2024

මහින්ද, ශාන්ත බණ්ඩාර ගැන රහසක් හෙළිකරයි ! ( වයඹ අඵ යට ගිනි)

Must read

 

ayg_2017_04_27ජොනීගෙන් මහින්දට අලුත් අවුරුදු කේක් කටක් !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන කුරුණෑගල සිය හිතවතුන් සහ ආධාරකරුවන් සමග එක්ව අඵත් අවුරුද්ද සැමරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගලට ආවේ පසුගිය බදදාය. සුපුරුදු ලෙසම මහින්දගේ කුරුණෑගල අවුරුදු තේ මේසය සංවිධානය කරන්නට මුල් වී තිබුණේ මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුය. මහින්දගේ ඉදුම් හිටුම් වෙනුවෙන් මන්ත‍්‍රී ජොන්ස්ටන් විසින් වෙන්කර දී ඇති කුරුණෑගල, වැවරවුමේ පිහිටි නිවසේදී පසුගිය බදාදා තේ මේසයක් සූදානම් වී තිබුණේ ඒ අනුවය. පසුගිය වසරේදී මෙතැනදීම සංවිධානය කෙරුණු අඵත් අවුරුදු තේ මේසය ඉදුල් කිරීම සදහා මන්ත‍්‍රී සාලින්ද දිසානායක, සනත් නිශාන්ත පමණක් නොව අම්පාරේ විමලවීර දිසානායකත් මහින්ද සමග හවුල් වූ නමුත් ජොන්ස්ටන් හැරෙන්නට වෙනත් කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙවර ඊට එක්ව නොසිටීම විශේෂත්වයක් විය. සාලින්ද විදෙස්ගත වී සිටි බව කියැවුණු අතර අනෙක් මන්ත‍්‍රීවරුන් ගැනද හාවක් හූවක් නොවීය. මන්ත‍්‍රී නාමල් රාජපක්ෂද උත්සවයට එක්වුණේ එහි අවසන් භාගයේදීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ අඩුව පුරවන්නට මෙන් පළාත් සභා මන්ත‍්‍රීවරු සහ හිටපු පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු විශාල පිරිසක් තේ මේසය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියහ. උත්සවයට සහභාගිවී සිටි මහින්ද පිලේ සුපුරුදු මන්ත‍්‍රී මුහුණු අතරේ අලුත් මුහුණු දෙකක් පිළිබදවත් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබූ බවක් පෙණිනි. මේ දක්වා මහින්ද පිල පැත්තේ දැකගත හැකි නොවූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී අශෝක පේ‍්‍රමදාස සහ කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රැටික් කරුණාසිංහද මහින්ද සමග අඵත් අවුරුදු තේ මේසය ඉදුල් කිරීම සදහා එදින එහි පැමිණ සිටියහ. තේ මේසයට පෙර ජන හමුවක්ද සංවිධානය වී තිබූ අතර පොල්ගහවෙල හිටපු සභාපති ලිවේරා ගුණතිලක පිළිගැනීමේ කතාවත්, මන්ත‍්‍රී ඩී. බී. හේරත් මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් කතාවකුත් එහිදී සිදුකළහ. මහින්දට පෙර සභාව ඇමැතූ මන්ත‍්‍රී ජොන්ස්ටන් ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාරට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කිරීමට වගබලා ගත්තේය. ‘‘දැන් බලන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණට දාලා තියෙනවා නායකයෙක්. දවසක් මම දැක්කා රූපවාහිනි වැඩසටහනකට ගිහින් වයස අහපුවාම එයාගේ තරුණකම පැනලා හුගක් කල් ගිහිල්ලා. දැන් හතලිස් හතක්ද, හතලිස් නවයක්ද කොහේද ? වැඩසටහන මෙහෙයවන කෙනා වයස අහපුවාම කියන්නෙම නෑ. එයා දැන් කියනවා එයාව පැරැද්දුවේ අපිලු. එදා මහින්ද මහත්තයාට විරුද්ධව යද්දිත් මහින්ද මහත්තයා පළවෙනි රැස්වීමට ගියේ දඹදෙණියේ ශාන්ත බණ්ඩාර වෙනුවෙන්.’’ ජොන්ස්ටන් කියද්දී ඒ අසල වාඩි වී කතාවට සවන්දෙමින් උන් මහින්ද ජොන්ස්ටන්ට හූමිටි දුන්නේ ‘‘ලේ වලින් අත්සන් කරලා දුන්නේ. ලේ වලින් ’’යැයි කියමින් ශාන්ත බණ්ඩාර ගැන රහසක්ද හෙළිකරමිනි. මහින්දගෙන් ලැබුණු අනුබලයත් සමග ජොන්ස්ටන් සිය කතාව ඉදිරියට කරගෙන ගියේය. ‘‘නාරම්මල පොළේ තිබ්බ රැස්වීමේදි එතුමා ලේ වලින් කොලයක් අත්සන් කරලා දුන්නා යන්නේ නෑ කියලා. මහින්ද මහත්තයා ඉල්ලුවෙත් නෑ. අපි දෙන්න කිව්වෙත් නෑ. එයා දුන්නා. හැබැයි මිනිස්සු දැනගත්තා එයා මහින්ද මහත්තය දාලා යනවා කියලා. ඒ වගේම එයා මහින්දව දාලා ගියා. ඒකයි මිනිස්සු එයාව පැරැද්දුවේ. එහෙම මිසක් අපි එයාව පැරැද්දුවේ නැහැ. ’’ජොන්ස්ටන් කීය. ඉන් අනතුරුව මීතොටමුල්ලේ කුණු කන්ද කඩාවැටීම ගැනත්, අවුරුදු නැකැත්වල දෝෂයන් ගැනත් කතා කළ මහින්ද විසින් දෑත් එකතු කර අලුත් අවුරුද්දට සුබ පැතීමෙන් පසුව උත්සව සභාව අවසන් විය. අනතුරුව තේ මේසය විවෘත කිරීම සදහා ජොන්ස්ටන් විසින් මහින්දට ආරාධනා කළ අතර තේ මේසයේ පහන දැල්වුණේ මහින්දගේ අතිනි. බුලත් හුරුල්ලක රුව සහිතව තේ මේසය මත සූදානම් වී තිබූ කේක් ගෙඩියක්ද මහින්දගේ අතින් කැපුණු අතර මහින්ද විසින් කැපූ කේක් කැබැල්ලක් අතට ගත් ජොන්ස්ටන් මහින්දට එය කැවීය. මහින්ද තේ මේසය විවෘත කරමින් කිරිබත් කෑල්ලක් බෙදාගත්තේය. ප‍්‍රධාන තේ මේසයට අමතරව උත්සවයට පැමිණ සිටි පිරිස වෙනුවෙන් තවත් තේ මේස තුන හතරක්ම, තැන තැන එල්ලා තිබූ ඉදුණු කෙසෙල්කැන්ද සහිතව සූදානම් වී තිබිණි. කැවුම් කිරිබතින් සප්පායම්වීමෙන් අනතුරුව මහින්දට බුලත් හුරුඵ දී අඵත් අවුරුදු ආචාර සමාචාර දැක්වීමටද පැමිණ සිටි පිරිසට අවස්ථාව ලැබිණි.

පොල් වත්තයි, ගල් වත්තයි වෙනුවෙන් මහ ඇමැතියි , ගුණසේකරයි පැටලෙති.

අඵත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පළාත් සභාවට නිවාඩු ලැබීම හේතුවෙන් අපේ‍්‍රල් මාසයට නියමිත දෙවැනි සභා රැස්වීමද සුපුරුදු පරිදි නොපැවැත්වුණු අතර වයඹ පළාත් සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ මැයි දෙවැනිදාටය. පළාත් සභාවට නිවාඩු ලැබී ඇති නමුත් අඵත් තැනක ලියැවෙන පළමු අඵ යට ගිනි පිටුවෙන් පළාත් සභාවට ඉඩක් වෙන්කළ නොවුනහොත් එය අඩුපාඩුවක් වෙතියි ලියුම්කරු කල්පනා කරයි. අවුරුදු නිවාඩුවට පෙර පැවැති අවසන් පළාත් සභා රැස්වීමේදී ගල් වත්ත සහ පොල්වත්ත තෝරාබේරා ගැනීමට නොහැකිව මහ ඇමැති ධර්මසිරි සහ මන්ත‍්‍රී රංජිත් ගුණසේකර අතර ඇතිවූ ආරවුල පිළිබද සැකෙවින් සටහන් කෙරෙන්නේ එවැනි අඩුපාඩුවක් නොවනු පිණිසය. සුවිශේෂි යැයි කිවහැකි තරමේ කාරණාවක් එදින සභා රැස්වීමේදී සාකච්ඡා නොකෙරුණු නමුත් නාරම්මල ප‍්‍රදේශයේ කොටස් කර විකුණන ඉඩමක් එදින රැස්වීමේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්විය. ඒ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු විසින්ම අදාල ඉඩම පිළිබදව අවස්ථා දෙකකදී පළාත් සභා රැස්වීමේදී කරුණු දැක්වීම හේතුවෙනි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් නාරම්මල ප‍්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින මහා පරිමාණ කුඹුරු ඉඩම් ගොඩකිරීමක් ගැන මෙන්ම පොල් ඉඩම් කට්ටිකිරීමක් පිළිබදවත් කතා කළේය. තමන් ඉදිරිපිට අසුන්ගෙන සිටින විපක්ෂ නායක ශමල් සෙනරත්ගේ මුහුණටම චෝදනාවක් දමා ගසමින් සමන්ප‍්‍රිය කීවේ නාරම්මල ප‍්‍රදේශයේ සිදුවන කුඹුරු ඉඩම් ගොඩකිරීමට ශමල්ගේ ගෝලයෙකුත් හවුල් බවය. නාරම්මල ජනතාව නියෝජනය කරන දේශපාලකයෙකු ලෙස එම ප‍්‍රදේශයේ සිදුවන අකටයුතුකම් පිළිබදව ශමල් මීට වඩා සැලකිලිමත් විය යුතු බව කී සමන්ප‍්‍රිය ශමල්ට ජනතා නියෝජිතයෙකුගේ වගකීම පිළිබදව මතක් කරදෙන්නටද අමතක නොකළේය. ඊට පිළිතුරු දෙමින් ශමල් කීවේ සමන්ප‍්‍රිය අනවශ්‍ය කරුණු සම්බන්ධ කරන්නට උත්සාහ කරන බවත්, තමන් නොදන්නා සමන්ප‍්‍රිය දන්නා ගෝලයා කවුදැයි තමන් සොයන බවත්ය. ගෝලයින් තමන්ගෙන් විමසා එවැනි කටයුතුවලට සම්බන්ධවීමේ සිරිතක් නැති බවද ශමල් එහිදී කීවේය. දෙවැනි වතාවටත් නාරම්මල ඉඩම් ගැටලුව සභාවට ඇදුණේ වාචික ප‍්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේදීය. නාරම්මල මී වැව ප‍්‍රදේශයේ පිහිටි අක්කරයකට වැඩි පොල් ඉඩමක් කට්ටි කෙරෙනවාද , ඊට බලය දී ඇත්තේ කවුද, ඒ කුමන නීතිය යටතේද සහ එම ව්‍යාපෘතිය හේතුවෙන් පරිසර හානියක් සිදුවනවාද යනුවෙන් මහ ඇමැති ධර්මසිරිගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ප‍්‍රශ්නයක් යොමුකර තිබුණේ මන්ත‍්‍රී රංජිත් ගුණසේකර විසිනි. අනුප‍්‍රශ්න දොළහක් සහිතව මන්ත‍්‍රී ගුණසේකර විසින් මහ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණේ ප‍්‍රශ්නයකට වඩා ප‍්‍රශ්න පත‍්‍රයක් යැයි කීවත් එහි ඇති දොසක් නැත. මන්ත‍්‍රී ගුණසේකරගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ ඇමැති ධර්මසිරි කීවේ අදාළ ඉඩම කට්ටි කිරීමට අවසර ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් බවත්, ඒ පිළිබද පළාත් සභාවට වගකීමක් නැති බවත්ය. එබැවින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට දැනුම්දීමට කටයුතු කරන බවද ධර්මසිරි කීවේය. ධර්මසිරි විසින් මන්ත‍්‍රී ගුණසේකරගේ ප‍්‍රශ්නයේ සෙසු කොටස්වලටද පිළිතුරු දුන්නේ ඉහත පදනමේ පිහිටමිනි. මේ නිසාම ධර්මසිරිගේ පිළිතුරෙන් මන්ත‍්‍රී ගුණසේකර සෑහීමකට පත් වී තිබූ බවක් නොපෙණිනි. සිය අසුනෙන් නැගී සිටි ගුණසේකර මහ ඇමැති ධර්මසිරි වෙත අතුරු ප‍්‍රශ්න යොමුකරන්නට විය. අතුරු ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට වඩා මන්ත‍්‍රී ගුණසේකර කළේ අක්කර හතලිස් එකක පොල් ඉඩමක් වන අදාල ඉඩම කට්ටි කිරීම නීතිවිරෝධී කටයුත්තක් බවට දීර්ඝව කරුණු දැක්වීමය. ‘‘අද වෙනකොට කොළඹ පොල් ගෙඩියක් රුපියල් අසූවයි. ඒ නිසා අපි මේ වගේ කාරණා ගැන වැඩි අවදානයක් යොමුකරන්න ඕනෑ. නැත්තම් මේ අහිංසක ජනතාව රුපියල් අසූවක් දීලා පොල් ගෙඩියක් කන්නේ කොහොමද ? ’’රංජිත් සිය කරුණු දැක්වීම අතරේ කීවේය. මහ ඇමැති ධර්මසිරි ඊට දුන්නේ තරමක අමුතු පිළිතුරකි. ‘‘මේක පොල් ඉඩමක් නෙවෙයි මන්ත‍්‍රීතුමා, මේක ගල් ඉඩමක්. ගල් ඉඩමේ කොහොමද පොල් වවන්නේ ? ඔය ඉඩමේ පොල්ගස් තියෙන්නේ එහෙන් මෙහෙන්. ’’මහ ඇමැතිගේ එම ප‍්‍රකාශය මන්ත‍්‍රී ගුණසේකරගේ කට අවුස්සවන්නට සමත්විය. ‘‘පොල් ගස් එහෙන් මෙහෙන් තියෙන කතාවක් නෙවෙයිනේ මහ ඇමැතිතුමා මෙතැන තියෙන්නේ . ඉඩම රෙජිස්ටර් කරලා තියෙන්නේ පොල් ඉඩමක් කියලා නම් ඒක පොල් ඉඩමක් තමයි. ගරු මහ ඇමැතිතුමනි, ගස් දැකලා ඉවරවෙලා ඔබතුමා මේ සභාවේ කතා කරනවා නම් ඒක වැරදියි. එතකොට අපිට සැකයක් පහළ වෙනවා ඔබතුමාත් ඒ පැත්තේ කියලා. එහෙම කතා කරන්න එපා මහ ඇමැතිතුමා. ’’මන්ත‍්‍රී ගුණසේකරගේ ප‍්‍රතිචාරයත් සමග මහ අමැති ධර්මසිරිද සිය අසුනෙන් නැගිට අදහස් දක්වන්නට විය. ධර්මසිරි ආණ්ඩු පක්ෂය පැත්තේ සිටත් , ගුණසේකර විපක්ෂය පැත්තේ සිටත් අත් පා ලෙළවමින්, එකිනෙකා පරයමින් කතාකරන්නටවීම නිසා සභා රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්විය. ගුණසේකරගේ විරෝධය මැඩ ගනිමින් ධර්මසිරි උස් හඩින් කතාකළේය. ‘‘මන්ත‍්‍රීතුමා පොඩ්ඩක් ඉන්න. මම කිව්වනේ මේක පළාත් සභාවෙන් කරපු වැඩක් නෙවෙයි කියලා. මේක නාගරික සංවර්ධන අධිකාරියෙන් කරපු දෙයක්. ඒ නිසා අපිට ඒකට කෙලින්ම මැදිහත් වෙන්න බෑ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මධ්‍යම රජයෙන් පත්කරන්න ආවාම අපි ඒක නැවැත්තුවා. ඒ වගේ මේකත් මම එහාට දැනුම්දෙනවා. මම දෙතුන් සැරයක්ම ගියා ඕක බලන්න. තනිකරම ගල් ඉඩමක්. ගල් විතරයි ඒකේ තියෙන්නේ.’’මහ ඇමැති ධර්මසිරි කීය. එවර ආණ්ඩු පක්ෂය පැත්තෙන්ම මහ ඇමැති ධර්මසිරිට එරෙහිව හඩක් නැග ආවේය. ‘‘නෑ. මහ ඇමැතිතුමා. ඒ ඉඩමේ පොල් තියෙනවා.’’මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් සිය අසුනේ සිටම පැවසීය. සමන්ප‍්‍රියගේ වචන නොඇසුණා හෝ නොඇසුණා සේ සිටීම නිසා හෝ ධර්මසිරි විසින් සමන්ප‍්‍රියට පෙරළා උත්තර බදින්නට නොගියේය. රංජිත් ගුණසේකර යළි කතා කළේය. ‘‘ඔව් ඒ ඉඩමේ ගල් ටිකක් තියෙනවා තමයි. ගල් ටිකක් තිබුණා කියලා අක්කර 41 ඉඩමක් පොල් ඉඩමක් වෙන්නේ නැද්ද මහ ඇමැතිතුමනි ?’’ගුණසේකර ධර්මසිරිගෙන් ඇසීය. ‘‘හරි, ඔබතුමා උසාවි යන්නකෝ එහෙනම්. ’’යැයි කියමින් ධර්මසිරි වාදය අවසන් කළේය.

දවසින් දවස පැටව් ගහන ශ‍්‍රීලනිප දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු.

වයඹ දේශපාලනය නැවත වතාවක් රත්කරවමින් ගෙවුණු සති තුනේ, අවස්ථා තුනකදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ තනතුරු සංශෝධනය ලක්කෙරිණි. පිරිසකගේ තනතුරු ගැලැවීමටත්, තවත් අයට අලුතින් තනතුරු ලැබීමටත් හේතු වූ අදාල සංශෝධන පිටුපස සිදුවූ නොකියැවුණු සහ නොඇසුණු සිදුවීම් පිළිබදව අඵ යට ගිනි පිටුවේ ඉතිරි ඉඩකඩ වෙන්කෙරෙයි. මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගෙන් ගැලැවුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක තනතුර නියෝජ්‍ය ඇමැති ඉන්දික විසින් භාරගත්තේ මීට දින කිහිපයකට පෙරදීය. ඒ සිය මාමණ්ඩියගේ අවමගුල මෙන්ම එහි දානමානාදී කටයුතුද අවසන් කරෙ අස්වැසිල්ලක් ලබාගත් පසුවය. අලුතින් පත්වීම් ලැබූ සංවිධායකවරුන් කිහිපදෙනෙකුම අඵත් අවුරුදු නැකැත්වලටම තම තමන්ගේ ආසනවල වැඩඇලීමට කටයුතු කර තිබිණි. ඇමැති දයාසිරි ජයසේකර වැඩඅල්ලන නැකැතින් පඩුවස්නුවර වැඩ අරඹද්දී කුරුණෑගල නව සංවිධායක පළාත් ඇමැති ලක්ෂ්මන් වේඩරුවද කුඩාගල්ගමුව පන්සලේදී හිසතෙල්ගෑමේ නැකැතින් කුරුණෑගල ආසනයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබිණි. මෛත‍්‍රීගේ නායකත්වය යටතේ ආසන සංවිධායක තනතුරක අඩුපාඩුවත් පිරිමසාගත් මහ ඇමැති ධර්මසිරි දසනායක බිංගිරිය ආසනයේ රාජකාරි ආරම්භ කර තිබුණේද අඵත් අවුරුදු දිනවලදීමය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකවරුන්ට අමතරව දිස්ත‍්‍රික් සංවිධායකයින් ලෙසද තවත් පිරිසක් පත්වීම් ලැබූහ. ඒ අනුව අනුරාධ හේවගේ, එම්. එල්. එම්. ෆාහිම්, ගුණදාස දෙහිගම, සරත් රත්නායක, ඒ. ඒ. ඒ. ලතීෆ්, උපුලාගනී මාලගමුව, මොහොමඩ් සෆ්රාස් සහ සනත් පද්මසිරි වශයෙන් දිස්ත‍්‍රික් සංවිධායකවරුන් අටදෙනෙකුද මේ වනවිට පත්වීම් ලබා සිටිති. කුමන අරමුණකින් මෙම පත්වීම් ලබාදුන් නමුත්, පැටව් ගැසීමේ ස්වභාවයකින් නිර්මාණය වෙමින් පවතින දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු හරහා නැති අර්බුද ගණනාවක් හදාගැනීමට ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුවනු ඇති බවට පෙරමග ලකුණුද දැන් පහළවෙමින් තිබේ. උදාහරණයක් ලෙස දොඩම්ගස්ලන්ද ආසනයේ ශ‍්‍රීලනිප නව සංවිධායක ලෙස හිටපු මන්ත‍්‍රී නිමල් විජේසිංහ පත්වීම් ලබද්දී, දිස්ත‍්‍රික් සංවිධායකයින් ලෙස පත්වීම් ලැබූ ඒ. ඒ. ඒ. ලතීෆ් සහ මොහොමඞ් සෆ්රාස් යන දෙපළත් නියෝජනය කරනු ලබන්නේ දොඩම්ගස්ලන්ද ආසනයම වෙයි. ඒ අනුව දොඩම්ගස්ලන්ද ආසනය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් තිදෙනෙකු මේ වනවිට පත්වීම් ලැබ සිටිති. දොඩම්ගස්ලන්ද ආසනය වැනි කුඩා ආසනයක් තුල පවතින සීමිත ඡන්ද සංඛ්‍යාව වෙනුවෙන් මේ තිදෙනා කෙසේ තරගකරනු ඇතිදැයි ඉදිරි මැතිවරණවලදී දැකගත හැකිවනු ඇත. මේ අතර තමා විසින් පොල්ගහවෙල නගර මධ්‍යයේ සවිකර තිබූ ප‍්‍රචාරක පුවරුවක් වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩාගේ මෙහෙයවීමෙන් කපා දමා ඇති බව කියමින් තවත් දිස්ත‍්‍රික් සංවිධායකවරයෙකු වන අනුරාධ හේවගේටත් ටිකිරි බණ්ඩාට එරෙහිව පොලිසි යන්නට සිදු වී තිබිණි.

උපුටාගැනීම – ජනයුගය පුවත්පත , 2017 අපේ‍්‍රල් 27 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article