spot_img
spot_img
Wednesday, June 10, 2026
spot_img
spot_img

අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කරයි

Must read

අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කෙරේ

දීර්ඝ කාලයක සිට මෙරට ග්‍රාමීය ජනතාවට මෙන්ම වන අලි සම්පතට ද දැඩි තර්ජනයක්ව පවතින අලි-මිනිස් ගැටුමට ප්‍රායෝගික හා ස්ථිරසාර විසඳුම් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, නව රජයේ කඩිනම් මැදිහත්වීම මත මෙතෙක් අවහිර වී තිබූ ප්‍රධාන අලිමංකඩවල් (Elephant Corridors) තුනක් වන අලින්ගේ නිදහස් සැරිසැරීම වෙනුවෙන් වෙන් කිරීමට නව රජය පියවර ගෙන ඇත.

ඒ වෙනුවෙන් සිදු කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාව පසුගිය 07 වනදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ වනජීවී අංශයේ අතිරේක ලේකම් උදය කුමාර මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා සහ අධ්‍යක්ෂ යූ.ඒල් තවුෆික් මහතා සහභාගි වූහ.

වන අලින්ගේ මෙන්ම ගම්වැසියන්ගේ ද ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම මූලික කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ වැටහිරකන්ද, හදපානාගල සහ කොහොලංකල යන ප්‍රධාන අලිමංකඩවල් තුන මෙලෙස වන අලින් වෙනුවෙන් නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ. පසුගිය පාලන සමයන්හි ක්‍රියාත්මක වූ අක්‍රමවත් සහ අවිධිමත් සංවර්ධන වැඩසටහන් මෙන්ම, දේශපාලන හිතවත්කම් මත සිදුකරන ලද අත්තනෝමතික ඉඩම් ලබාදීම් හේතුවෙන් මෙම අලිමංකඩවල් වසර ගණනාවක් මුළුල්ලේ අවහිර වී පැවතුණි. එමඟින් වන අලින්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ග ඇහිරී ගොස් අලි-මිනිස් ගැටුම අතිශය දරුණු තත්ත්වයකට පත් වූ අතර, නව රජය විසින් එම සියලු නීතිමය, පරිපාලනමය සහ සමාජීය ගැටලු නිරාකරණය කරමින් මෙම ඉඩම් නැවතත් වන සතුන්ගේ අයිතිය වෙනුවෙන් නිදහස් කිරීමට තීරණාත්මක පියවර ගෙන ඇත.

මෙම ජාතික වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස, වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා වන රක්ෂිත තුළ”අලි සුපෝෂණ කලාප” ඇති කිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම කලාප තුළ වන අලින්ට අවශ්‍ය ස්වාභාවික ආහාර වන තණකොළ සහ වෙනත් ශාක බහුලව වගා කිරීමටත්, වියළි කාලගුණයේදී වන අලින්ට ජල අවශ්‍යතාව සපුරා ගැනීමට අවශ්‍ය වැව් සහ දියකඩවල් ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කෙරේ. මෙමඟින් අලින්ට තමන්ගේ වාසස්ථාන තුළම අවශ්‍ය ආහාර සහ ජලය උපරිමයෙන් ලැබෙන බැවින්, ඔවුන් ආහාර සොයා ගම්මාන කරා පැමිණීම විශාල වශයෙන් සීමා වනු ඇත.

මෙම අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා නව රජය කාල රාමු තුනක් ඔස්සේ ක්‍රියාත්මක වන පුළුල් ජාතික සැලැස්මක් දියත් කර ඇත. එහි කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ දැනට පවතින වන අලි වැටවල් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, අත්‍යවශ්‍ය ස්ථාන සඳහා නව විදුලි වැටවල් ඉදි කිරීම, වන අලි ගම්වැදීමේදී ගම්වැසියන් කඩිනමින් දැනුවත් කිරීමේ පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ වනජීවී නිලධාරීන්ගේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන ජංගම මුර සංචාර ශක්තිමත් කිරීම සිදු කෙරේ. මධ්‍යකාලීන වැඩපිළිවෙළ යටතේ ප්‍රජා සහභාගීත්වය ඇතිව ක්‍රියාත්මක වන “ගම්මාන වටා ඉදිවන විදුලි වැටවල්” ප්‍රචලිත කිරීමටත්, අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ලබාදෙන වන්දි ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම සහ ඉහළ අගයක් ගන්නා සේ සංශෝධනය කිරීමටත් පියවර ගැනේ.

දිගුකාලීන තිරසාර විසඳුම් ලෙස මෙරට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය (Land Use Policy) නැවත සමාලෝචනය කර වනජීවී කලාප සහ මානව ජනාවාස වෙන් කෙරෙන විද්‍යාත්මක මායිම් සලකුණු කිරීමටත්, ලංකාවේ සියලුම අලිමංකඩවල් නීත්‍යානුකූලව ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, Drone සහ චන්ද්‍රිකා තාක්ෂණය වැනි නවීන මෙවලම් උපයෝගී කරගනිමින් වන අලි ගහනය සහ ඔවුන්ගේ හැසිරීම් රටා නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීමටත් සැලසුම් කර ඇත.වන අපරාධ සම්බන්ධයෙන් 1995 ඒකාබද්ධ වන සුරැකුම මධ්‍යස්ථානය විවෘතව පවතී.

වන අලින්ගේ පැවැත්මත්, අපේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් යන දෙකම සමබරව ආරක්ෂා කරමින්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරමින් ඉදිරියටත් මෙවැනි ප්‍රායෝගික තීන්දු තීරණ ගැනීමට ඉදිරියේ දී ද නව රජය කටයුතු කරනු ලබයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article